සාකිර් හුසේන් : බෝම්බ නැතුවත් ලෝකය දිග්විජය කරන්න පුළුවන්…

Share post:

පෙරදිග නොයෙක් විදියට බටහිර එක්ක සම්බන්ද උණා. ඒ ගොඩක් සම්බන්දතා ඇතුලේ අපූරු දේවල් නිර්මාණය වෙලා තියනවා. ඒ නිර්මාණ ලෝකේ ගොඩක් සම්භාවනාවට පාත්‍ර වෙලා තියනවා.

මේ සම්බන්දතා බීට්ල්ස්, රෝලින් ස්ටෝන්, ජෝන් ලෙනන්, ජෝර්ජ් හැරිසන්, බෝය් ජෝර්ජ් සහ තවත් සිය දහස් ගණනක් මිනිසුන් සහ ගැහැණුන් වෙනුවෙන් සත්‍යයක් උණා. ඔවුනගේ නිර්මාණ වලට විතරක් නෙවෙයි පුද්ගලික කලාපයන්ට පවා බෙහෙවින් අදාල උනා. සමහර ඒවා ගැලවීගත නොහැකි තරම්වූ මහත් සම්බන්දතා.

බුද්ධාගම, හින්දු ආගම, ජෛනාගම විතරක් නෙවෙයි තවත් බොහෝ පෙරදිග අධ්‍යාත්මයන් බටහිර එක්ක සම්බන්දවුනා.
එක්කෝ අපි ඔවුන් සොයාගෙන ගියා. නැත්නම් ඔවුන් අප සොයා ආව. එක්කෝ අපි ඔවුන්ගේ අනන්‍යතාවට ආස කළා. නැත්නම් ඔවුන් අපේ අනන්‍යතාවට කැමති උනා. එහෙමත් නැත්නම් අතර මැද තැනක් හොයාගත්ත.
මේ අතරමැද තැන ගොඩක් වෙලාවට ඉතාම සුන්දර දේ නිර්මාණය කරන්න හේතු උනා.

සමහරු මේක අලකලංචියක් හැටියට දැක්කත් සාකිර් වගේ කෙනෙක් මේකේ නිර්මාණශීලි ගුණය දැක්ක. ඒ එක්ක ඔහු ලස්සන සංකලන සංගීතයක් (fusion music) තමන්ගේ සංගීත දිවිය ඇතුලේ උපුටාගත්ත.

ඔහු බටහිරට ගියා. හිරු බැස යන දිහාවට ගියා. පෙරදිග තබ්ලාවේ හඬ බටහිර ගිටාරය, සැක්සපෝනය එක්ක මිශ්‍ර කළා.
තබ්ලාව සැක්සපෝනය එක්ක මිශ්‍රකරපු සාකිර් හුසේන් (1951-2024) නම් අසහාය තබ්ලා වාදකයාගේ ඇඟ හිරිවැටෙන සංගීත ඛණ්ඩයක් මම ඇහුවේ හනිෆ් කුරේෂිගේ My Son the Fanatic (1997) චිත්‍රපටය ඇතුලේ. ඒ සංගීත ඛණ්ඩය එක්ක තියන දෙබස තවමත් මට මතකයි.

බටහිර කුඩුපට්ටම් කරන්න බෝම්බ බඩේ බැඳගන්නවා වෙනුවට ලන්ඩනයේ තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ටැක්සි එළවන පර්වේස් සහ ගණිකාවක් වෙච්ච බෙටිනා අතර යම් ආදරයක් ගොඩ නැගෙනවා. එහෙම වෙලා එක්තරා තැනකදී සිද්දවෙන සංවාදය ඇතුලේ බෙටිනා මෙහෙම අහනවා.
”මම ආසයි ඔයාගේ ගෙදර යන්න. ඔයා ඉපදිච්ච ගම බලන්න. මාව එහෙ එක්ක යනවාද?” මේක ඇතුලේ බෙටීනා පොඩි අතීතකාමී ෆැන්ටසි එකක් පර්වේස් තුල ඇතිකරනවා.

පෙර්වෙස් මෙහෙම කියනවා. ”ආයේ එහෙ යන්න තැනක් නැහැ. මට යන්න සල්ලිත් නැහැ. ඔයාට එහෙ හරියන්නෙත් නැහැ. මට දැන් තියෙන්නේ මේ ලන්ඩන් නගරයයි ඔයයි විතරයි. මෙන්න මෙහෙ ඉම්මු….”
එතනින් කතාව ඉවරයි. ආයේ ආපසු යාමක් නැහැ. මේකම කාගෙන ඉන්නවා මිසක්.

කුරේෂි මේ සංවාදය අතරට ගේන ඒ පෙරදිග නොස්ටැල්ජික් සංගීත ඛණ්ඩය අනර්ගයි. මුල් විනාඩි කීපයේ ඒ සංගීතය ආපහු අපිව පෙරදිගට, ගමට අරන් යන්න තරම් ශක්තිමත් උනත් සැක්සපෝනයේ සහ ගිටාරයේ හඬ විසින් තබ්ලා හඬ තරමක් යටපත්කරලා අපිව නැවත ඒ නාගරික ලෝකය ඇතුලේ තියා ගන්නවා. ඒත් නොස්ටැල්ජියාව සම්පුර්ණයෙන් නැතිවෙන්නේ නැහැ. මෙහෙම තමයි අපිට ඉන්න වෙන්නේ.
සාකිර් ආපහු ආවේ නැහැ. සැන් ෆ්‍රැන්සිස්කෝ වලම අවසන් ගමන් ගියා. නමුත් ඔහුගේ ඉන්දියානු බව නැත්තටම නැති උනෙත් නැහැ.
බෝම්බ නැතුවත් ලෝකය දිග්විජය කරන්න පුළුවන්…ඒ තමයි මම සාකිර්ගෙන් ඉගනගත්ත පාඩම.
සුබගමන්!

මහේෂ් හපුගොඩ

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...