“වියළි” ටෙලි නාට්‍යය ගැන අසම්පූර්ණ සටහනක්

Share post:

වියළි ටෙලි නාට්‍යය බොහොම දෙනකුගෙ හිත් අරගෙන… අපේ ජීවිතවල, අපේ සංස්කෘතියෙ, අපේ ජනසමාජයේ රිද්මය කැටිවුණු අපූර්වතම ප්‍රතිනිර්මාණයකට රසිකයා ආකර්ෂණය වීම පුදූමයක් නෙවෙයි.

කතාපුවතේ වැදගත් ම සංසිද්ධිය වූ, තමාට දාවූ පුතු ලෙස සරණපාල සිතා සිටි සුනිමල් නොව, වෙනෙකෙකුගේ යයි සිතා සිටි කළුවා, සැබැවින් ම සරණපාලගේ පුතු වීමත්, සුනිමල් සැබවින්ම වෙනෙකෙකුගේ පුතු බව ප්‍රේක්ෂකාගාරයෙන් මෙන් ම සරණපාල ඇතුළු සෙසු පාත්‍ර වර්ගයාගෙන් ද සඟවා කතාව ගොඩනැගීම “වියළි” හි අපූර්වත්වයයි. එහෙත් මේ රහස ප්‍රේක්ෂකයා දැන සිටියේ නම් වින්දනය වඩා තීව්‍ර වන්නට තිබිණි යයි හැඟෙන්නේ, මේ පුතුන් දෙදෙනාගේම මව්, ලෙස පළිඟු චරිතය ගොඩනැගීමේදී ඒ තුළට කවා ඇති මව්වත් ගුණය සහ උපේක්ෂාසහගත ඇවතුම් පැවතූම්, විශිෂ්ට ලෙස රූපණය කරන්නට, මාධනී මල්වත්තගේ, අපේ ජ්‍යෙෂ්ඨ රංගවේදිනිය දැක්වූ සමත්කම නිසාමයි. එසේම ඒ රහස ප්‍රේක්ෂකයා දැන සිටියේ නම් නිරන්තර කළු චරිතයක් ලෙස පෙනුණු රළු සරණපාල දෙස ද වෙනත් උපේක්ෂා සහගත මානයකින් බලන්නට, ඒ භූමිකාවේදී සරත් කොතලාවල විදාරණය කළ ශක්‍යතාවන් ද සමඟ රසිකයා පෙළඹෙන්නට තිබුණා.

ටෙලියෙහි තීරණාත්මක පාර්ශ්වයක් වූ නයෝමිගේ පවුල, සරණපාල පවුල හා අවසානයේදී එක් වුව ද මාලාගේ භූමිකාව හරහා හෝ වෙනත් ආකාරයකින් සහසම්බන්ධතාවයක් ගොඩනගා ගත්තේ නම් මැනවැයි හැඟුණා.
කෙසේ වුවත් අපේ ප්‍රවීණ ලේඛිකා ශාන්ති දිසානායකගේ නවකතාවව ඇසුරෙන් විශ්වසනීය ආකාරයෙන් තිර රචනය ගොඩනගන්නට සමන්ත කුමාර ගමගේ තිබුණු කුසලතාව ප්‍රශංසනීයයි.

එසේ ම, මාලා- තරින්දි ප්‍රනාන්දු
කරුණාපාල – සරත් කොතලාවල
පළිඟු- මාධනි මල්වත්තගේ
නයෝමි- නිම්මි මනෝහාරි
රණවීර- සනත් විමලසිරි
සුනිමල්- අංජන ප්‍රේමරත්න
කිරිනෝනි- සිළිඳු රන්වල
හීනා- එස් අයි සමරක්කොඩි
කාන්ති- චන්දිමා කරුණාදාස
අබේරත්න – සමන්ත කුමාර ගමගේ
කිරිහාමි- මිල්ටන් පෙරේරා
අකිල- තිලාන් වර්ණජිත්
චාලට් -නයනා හෙට්ටිආරච්චි යන නිරූපණයන් ඉහළයි .

ඒ අතරින් තරින්දි , නයනා, සිළිඳු, සනත් සහ නිම්මි මෙන් ම සියල්ල දෙස උපේක්ෂාවන් බලා සිටින මහල්ලා, අපේ ජ්‍යෙෂ්ඨ රංගනවේදී මීල්ටන් පෙරේරා වඩාත් කැපී පෙනුණා. “හීනා” ජෝකරයකු නොකළා නම් වටිනවා .
නිරන්තර පුළුල් දුර රූප භාවිතය හා ඒ රූපය වැඩි වේලාවක් පවත්වාගැනීම අදාළ පරිසරය පිළිබඳ සිහිකැඳවීමක් බඳුයි. චන්දන ජයසිංහ ගේ කැමරාකරණය පරිණතයි . චන්දනලා දෙන්නා එක්ව මවන රූප රචනය ආකර්ශනීයයි . කැමරාකරණය මෙන් ම වියළි ආධ්‍යාත්මය නිවාලන තෙත් සංගීත සංරචනය “වියළි”
එහි ප්‍රධානතම භූමිකා ද්විත්වයක් තරමට ප්‍රබලයි. තීරණාත්මකයි . දුලබයි .
දර්ශන රුවන් දිසානායක විසින් සංගෘහිත එහි සංගීත නිර්මාණය වෙත මේ සඳහන් අනෙකුත් අනුශාංගික අංශ තරමටම අපේ අවධානය යොමු කළ යුතු බවයි මගේ අදහස.

විශේෂයෙන්ම එහිදී ‍තේමා ගීතයේ නැවුම් බව සහ එහි නිර්මාණාත්මක ගුණය මෑතකදී අපේ වේදිකාවේ, ටෙලි නාට්‍යයේ සහ සිනමාවේ යන අංශත්‍රයේ ම දක්නට නොලැබුණු ඉහළ නිර්මාණාත්මක ප්‍රවේශයක් බවයි මගේ අදහස. හැරවුම් ලක්ෂ කිහිපයක් හරහා ඇදී යන මේ ගී තනුවට ඉන්දියානු රාගධාරී සංගීතයේ එන මල්හාර රාග කුලයේ ස්වර ඇසුරු කරන බව පෙනුනත් එකී රාග ලක්ෂණ මතු නොවන අයුරින් ඉතාම නිර්මාණාත්මක ලෙස ඉදිරිපත් කෙරෙනවා. රචනය විචිත්‍රයි. ගැයුම රහයි . මේඝ මල්හාර රාගය නිසි ලෙස ගැයෙද්දී වැසි වැටෙන බවට ඉන්දියානු ජනවහරේ ද කියවෙන නිසා එම රාගය මේ ගීතය සඳහා යොදාගැනීම ඉතාම ප්‍රශංසනීයයි.

දැවෙන පිළිස්සෙන වියළි චරිත කිහිපයක අධ්‍යාත්මය තුළ පවතින තෙත් බව මතු කෙරෙන මේ ගීතය ගැන ඔබේ අවධානය වැඩි වශයෙන් යොමු විය යුතුයැයි මා සිතනවා . චරිතවල මනෝභාවයන් කැටිකර ගත් අනෙකුත් පසුබිම් සංගීත කණ්ඩ ද ඉතාම ඉහළ නිර්මාණාත්මක අගයක පවතිනවා.
චන්දන ඉරුගල්බණ්ඩාරගෙ “වියළි” ටෙලි නාට්‍යය බොහොම ප්‍රශස්ත නිර්මාණයක්. ශාන්ති දිසානායකගේ නවකතාව පසුබිම් කරගත් එහි සාධනීය තිරරචනය, රංගනය සහ අධ්‍යක්ෂණය පිළිබද අපේ ප්‍රශංසාව පිළිගන්න.

වියළි ටෙලි නාට්‍යයේ සාරාර්ථය කැටි කොට ගත් කොට ගත් මේ දෙබසට මම අතිශයින් ඇලුම් කරනවා.
“අපි මිරිකල අල්ලගන්න හදපු කිසිම දෙයක් අපිට හරියට අහු උනේ නෑ “

පුෂ්කර වන්නිආරච්චි

Related articles

2025 වසරේ නිර්මාණය වුනු හොඳම චිත්‍රපටයක් ලෙස Sentimental Value (2025) නම් කළ හැකියි

මෙම චිත්‍රපටය නැරඹීමට ප්‍රධාන හේතුවක් වූයේ අධ්‍යක්ෂක Joachim Trier සහ මෙහි ප්‍රධාන චරිතය රඟ දක්වන Renate Reinsve. Trier...

කතා කළ යුතු තැන සහ නැති තැන, හෙවත් වැඩසටහනක් මෙහෙයවන විදිය, ෂෆාක්ගෙන් ඉගෙනගන්න

පොතක ප්‍රධාන චරිතයට තමන්ගේ භූමිකාව හොඳින් කරගෙන යන්න දායක වන, අප්‍රධාන, සුළු සහ සෙසු චරිත ගැන කවදත් මගේ...

නතාෂා : ඊයේ සහ අද !

2023 ජූලි මාසයේදී දේවගැතිවරයකු ලෙස හඳුන්වාගන්නා ජෙරොම් ප්‍රනාන්දු සිංගප්පූරුවේ සිට එක්සත් රාජධානිය බලා පිටත්ව ගොස් තිබිණි. ඔහු මෙසේ එක්සත්...

කාබුල්හි අරුම කතන්දර කියන්නා; කාබුල් දස්තාන්

පොඩිහිටියාගේ සිට වැඩිහිටියා බවට එළඹුණු හැරවුම් කාලයේ දි, මාමා කෙනෙක් මට පොතක් ගෙනැවිත් දෙනවා. එහි නම, 'ලේ හුරු...