සම්මානී ගේ සිහිනලන්තය යනු ළමා වියේ පරිකල්පනය අවදි කරන්නට භාවිතා කල හැකි යතුරකි

Share post:

‘සිහිනලන්තය’ – සම්මානී විජේසිංහ

මගේ පැටි වියෙහි මුල්ම මතක සැබෑ සිදුවීම් නිසා ඇතිවූවක්ද නැතිනම් ඒ මගේ පරිකල්පනීය ලෝකය තුළ තැන්පත්ව ඇති සිතුවම්දැයි මම තවමත් කල්පනා කරමි. එහෙත් පැටි විය යනු සිහින සමගින් ජීවත්වීමට වැඩි නැඹුරුවක් ඇති සමයක් බවත් අප තොතෙක් වැඩුනද ඒ පුරුද්දේ ශේෂයන් ජීවිතය පුරාම රැඳෙන බවත් අපි අමතක කරමු. වයසින් වැඩීමත් සමග ඇති වන වෙනස වනුයේ පැටි වියෙහි දකිනා සිහිනවල අහිංසකත්වය මැකී ගොස් ඒ වෙනුවට මේ බහු භාණ්ඩික ලෝකයෙහි ඇති හඹායාම් වෙත යොමුවන සිහිනයන් කේරේ අප වේගයෙන් ඇදී යාමයි. එතැන් පටන් සිහින අහිංසක නැත. සිහින දකින්නාද අහිංසක නැත.

නමුදු අපි කවර වයසක දී වුව පැටි වියෙහි දුටු සිහින සිහිපත් කරමින් ආශ්වාදයක් ලබන්නෙමු. හරියට ජීවිතයට ඉතිරිව ඇත්තේ එය පමණක් බව හඟින්නාක් මෙන් ඒ ගැන සංකා සහගතව කතා කරමු. ඒ අතරම අපේ දරුවන්ට සිහින දකින්නට ඇති අයිතිය ද අහිමි කරන්නෙමු. හිමිදිරි පාන්දර බලහත්කාරයෙන් අවදි කරවා අජීවී වස්තුවක් මෙන් අණ විධාන යටතේ පාසැල් වාහනයට නග්ගවන තැන සිට යළි රැයෙහි නින්දට වැටෙනා තුරුම ළමයා සිටිනුයේ බියකරු එමෙක්ම ඒකාකාරී යුදබිමකය. එහි පරිකල්පනයට ඉඩ නැති. පාඩමට පිටින් යමක් හඟිනා දරුවකු සාමාන්‍ය දරුවෙකු නොවන්නේය යනුවෙන් කල්පනා කරනා තරමටම වැඩිහිටියෝ නරුමයන් බවට පත්ව සිටිති.

සම්මානී විජේසිංහ සිහිනලන්තය කැටුව එන්නේ එවන් වැඩිහිටියන් සහ දරුවන් වෙතය. ඇය තමන්ගේ සිහින ලෝකය අවියෙන් තබා ගන්නී එය වඩාත් හැඩ කර ළමා පරපුර වෙත පුදන්නීය.

මම ජීවත් වුනේ මහලු වීදියක. ඒ විතරක් නෙවෙයි, ඒක පුරා ආලේපන බොඳවෙලා, වේලිලා ගිය වීදියක් බව කාටත් පැහැදිලිව පේන්න තිබුණා. ඒ හැමතැනකම නැවුම් අරමුණු තිබුණෙ නෑ. කොටින්ම හිතන්න ඕන වුනේ නෑ. වීදි කෙලවර රාත්‍රියට නිදිවරන පහන් කනු බොහොම විඩාපත්ව උන්නා. ඔවුන් හැමෝම බොඳවුනු ආලෝකයක් වීදියට ගෙනාවා. මේ හැම දේම එක්ක මට ජීවත්වෙන්න වුනා.

සම්මානී තම සිහිනලන්තය පටන් ගන්නෙ ඒ අයුරිනි. ඒකාකාරී බවින් හෙම්බත්වුන සිහින දකින්නියක් ලෙසිනි. ඇය සිහින වෙත පිවිසෙන්නෙ මෙවන් පරිසරයකිනි. මේ අපේ දෛනික ජීවිතයම බව කියවන්නාට වැටහෙන්නට ගනනේද ඇගේ ඇරඹුම කියවන්නට ගන්නා විටමය. ඉදින් මේ කතාවේ එන දැරිය වැසිබර සන්ධ්‍යාවක සිහින අවදි කරන්නීය. වැස්ස සමගින් ඇය තම සිහින චාරිකාව අරඹන්නී දේදුන්නේ පැහැයෙන් අලංකාරවත් වෙමිනි.
අපේ ළමා වියෙහි දේදුන්නට ඇත්තේ විශාල ඉඩකි. එය තාර්කිකත්වය නොතකන එහෙත් කාලාන්තරයක් පැවති විශ්වාසයන් සමග බැඳුනකි. දේදුන්නට ඇඟිල්ල දිගු කරන්න එපා, ඒක එතකොට මැකෙනවා. වැඩිහිටියෝ කියති. එවිට ළමයා එය පිලිගනියි. එහෙයින් එ දෙස ඇඟිල්ල දිගු නොකර සිටින්නට වගබලා ගනියි. ඒ අර තරම් ලස්සන දේදුන්න අහිමි කරගැනීමට ඇති දැඩි අකමැත්ත හේතුවෙනි. එහෙත් මේ දේවල් හී සත්‍ය අසත්‍යතාව ළමයා වැඩෙන්නා හා සමගම වටහා ගනී. මෙහි ඇති විකෘතිය වනුයේ වැඩෙන්නා හා සමගම අහිංසක සිහින තුළ වන ව්‍යාජය වටහා ගන්නා පුද්ගලයා සැබෑ ලෝකය තුළ ඊට වඩා බෙහෙවින් දරුණු සිහින ශඹන්නට පටන් ගැනීමය.

ළමා වියෙහි දී අපට පවසනු ලබනා ඇතැම් දේවල් වැටහීමකින් තොරව අප හිංසනයෙන් මුදවා තබන්නට දරනු ලබනා උත්සාහයන් බව අපට වැටහෙනුයේ හිංසාව සහ අහිංසාව හොඳින් වැටහෙන් වැඩිහිටි වියට ආ පසුවය. කණාමැදිරියා අල්ලන් එපා, කෑවොත් අහසෙ තරුයි මුහුදෙ මඩයි ගේන්න වෙනවා. වැඩිහිටියෝ කියති. ඒ අසා ඉන් වැලකෙන දරුවා වැඩිවියට පැමිණි පසුව එය ව්‍යාජ අදහසක් බව තේරුම් ගන්නේ සතුනට හිංසා කිරීම නොහොබි බව වටහා ගනියි. එහෙත් මේ අවදියෙහිදී ඔවුන්ගේ වැඩි ඉලක්කය අනෙකා පරදවා ලීම පිණිස හොඳින් හෝ නරකින් කටයුතු කිරීමය. මිසයිල් කතා කරන්නට ගන්නේ එවිටය.

සම්මානී සිය කතාව තුළින් වැඩිහිටි සහ ළමා යන දෙපිරිසම අරුමැසි ගමනක් කැටුව යන්නීය. එය දැනුම, අවාබෝධය පරිකල්පනය, විනෝදය, යන මේ සියල්ල සම්පාදනය කරනා ගමනකි. මේ සිහින දකින්නියට අතරමගදී කියවන්නට ලැබෙනා පොතක කොටසකි.
සදා සතුට සහ ආදරේට එක ලෙස පවතින්න නොදෙන නපුරු රාස්සයන් රාස්සියන් බොහොමයක් අපිට වරින් වර හමුවෙනවා. ඒ අය පැමිණෙන්නේ නොකියාම, කිසිම දෙයක් නොදන්වා. ජීවිතය එහෙම තමයි. එහෙත් හැම මොහොතක්ම ඔබ සතුටින් සහ විමසිල්ලෙන් පසුවන්න….
සඳ තරු හිම කුමරියන්,සින්ඩරෙල්ලා, මුතු ඇට, කුහුඹු රාජධානිය මේ සිහිනගමනේ එක් එක් නැවතුම් පලවල් වෙයි. ඒ සෑම තැනකම සිහින දකින්නිය සිය සිහිනය තුළින් ජීවිතය උගනියි. ඒකාකාරී ජීවන රටාවෙන් ගැලවී විචිත්‍ර පරිකල්පනයේ මහිමය අත් විඳියි. මේ සම්මානී සෘතු වෙනස ළමයාට සමීප කරවන අයුර ය.

වසන්ත සෘතුව මුදුව ඇවිදිමින් උන්නා… සරත් සහ සිසිරය එන නිසා බියපත් පත්‍ර හැංගී සිටියා. බොහෝකාලයක් ඇත්තටම ඒ ගස්වල කොළ බියපත්වයි උන්නෙ… දැන් ඒ හැම කොළයක්ම එකින් එක හිස ඔසවනවා මං දැක්කා….
සෘතු වෙනස ප්‍රබලව නොදැනෙන අප රටේ දරුවන්ට ඇය ඒ වෙනස ගැන කුතුහලය දනවන අයුරින් කියන්නීය. එය කියවන දරුවා සමග වැඩිහිටියන් එක් වන්නේ නම් දෙදෙනාටම අධ්‍යාපන චාරිකාවක් ඇරඹිය හැකිය. එහෙත් අවාසනාවට අප ඉන්නේ එක්ව නොව තනිව පවා නොකියවන සමාජයකය. බොහෝ දෙමවුපියන් බිය වන්නේ තම දරුවන් පොත් නොකියවීම ගැන නොව කියවීමේ ඇබ්බැහියට වැටීම ගැනය.

සම්මානී ගේ සිහිනලන්තය යනු ළමා වියේ පරිකල්පනය අවදි කරන්නට භාවිතා කල හැකි යතුරකි. ඒ කතාව තුළ සුරංගනා කතාවක ලක්ෂණ මෙන්ම සැබෑ ලෝකයේ අත්දැකීම්ද මුහු කර ඇති අතර දරුවන්ගේ ආකර්ශණය දිනාගත හැකි අයුරින් සිය කතාව ගොඩනගන්නට කතුවරිය සමත්ව සිටින්නීය.
මනෝ විශ්ලේෂණය තුළ සිහින විග්‍රහ කිරීම වැඩිහිටියන්ගේ කාරියකි. සිහින දැකීම දරුවන්ගේ අයිතියකි. සුන්දර සිහින පිරි ළමා වියක උරුමකරුවෙකු යනු නිර්මාණශීලී දරුවෙකි. සම්මානී ගේ කතන්දරය මගකියන්නේ එවන් නිර්මාණශීලී දරුවකු තැනීම පිණිසය.

චූලානන්ද සමරනායක

Related articles

‘මන්දාකිණී තිබේ හැන්දෑවකදි හමුවන’ – චම්පිකා විජේසිංහ

කවියක සියුම්බව නිසි මාත්‍රාවෙන් සංතෘප්ත කරන්නට හැකිවීම යනු නිර්මාණකරුවෙකුගේ මෙන්ම පාඨකයකුගේද ලෝකය විචිත්‍රවත් කරන්නට හේතුවන්නකි. එවන් කවියක් කියවන...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කාගේ ද?, ඉතිහාසයේ පාඩම් දැන, අරමුණු ජය ගමු ද?

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ක්‍රියාත්මක කිරීමට මේ රජය විසින් සැලසුම් සකස් කොට ඇතැයි අධ්‍යාපන ඇමැති ලෙස කටයුතු කරන අග්‍රාමාත්‍ය...

ට්‍රම්ප් දිගට හරහට නෙලයි…

යුරෝපා සංගමයට, මෙක්සිකෝවට, 30% යි. කැනේඩියානු භාණ්ඩ වලට 35% යි.. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමරිකාවේ විශාලතම වෙළඳ හවුල්කරුවන් දෙදෙනෙකු...

ටෙස්ට් ඉතිහාසයේ අපූරු අත්හැරීම

සිම්බාබ්වේට එරෙහි දෙවෙනි ටෙස්ට් මැච් එකේදී 367ක් ගහපු දකුණු අප්‍රිකාවේ වයන් මල්ඩර් (Wiaan Mulder) තීරණය කරනවා ඉණිම එතනින්...