‘මන්දාකිණී තිබේ හැන්දෑවකදි හමුවන’ – චම්පිකා විජේසිංහ

Share post:

කවියක සියුම්බව නිසි මාත්‍රාවෙන් සංතෘප්ත කරන්නට හැකිවීම යනු නිර්මාණකරුවෙකුගේ මෙන්ම පාඨකයකුගේද ලෝකය විචිත්‍රවත් කරන්නට හේතුවන්නකි. එවන් කවියක් කියවන පාඨකයා මෙතෙක් අත් නොවිඳි නව්‍ය සංවේදනයක් අත්විඳිද්දී පාඨක අවධානය ලබනා කවියෙහි සාර්ථකත්වය දැක නිර්මාණකරුවා හෝ කාරියටද නිහඬ සතුටක් අත්විඳිය හැකිය. චම්පිකා විජේසිංහ කිවිඳිය සිය දෙවන කාව්‍ය සංග්‍රහයේදී මේ ඉසවුව කරා ළඟාවෙයි. සුලබ කාව්‍යෝක්තීන් වෙනුවට ඇය සාමාන්‍ය වාමසුමකට හසුනොවනා පැති ග්‍රහණය කරගනිමින් ඒ ඇසුරින් ගැඹුරු අරුත් දනවන කවි සම්පාදනය කරයි. එවන් කවියක් රස විඳුමට දුම්රියක බස්රියක තදබදය බාධාවක් නොවේ. ඒ වෙනුවට එවන් කවියක් එකී දුෂ්කර ගමන පහසු බවට හරවයි. මට මේ දැනුනේ ඇගේ පංකා චණ්ඩින්ය මැයෙන් එන කවිය කියවද්දීය.

පංකා චණ්ඩීන්
සුළඟ ඔසවා
හිස මතින් කරකවා
දුරට වීසි කරනතර

ඉසියුම් දූලි බිඳිති
පෙමින් වෙලී
ඒ චණ්ඩ ළමැද
හිස් හොවා නිදත්

මේ අප නිරතුරු දකින දසුනකි. නිවෙකට සිහිල ගෙනෙනා පංකාවේ තටු මත සහ කවරයේ බැඳෙන දුහුවිල්ල යනු නිතර පවිත්‍ර කරන්නට සිදුවන හිරිහැරදායී අත්දැකීමකි. නෙකතරම් සුළඟ ගෙන හැමුවද පංකාවෙහි සැමවිටම දූලි තට්ටුය. ඒ සමහර විට ඉතා ගනය. චම්පිකා මේ නිරීක්ෂණය කවියට ගෙනෙයි. එහෙත් එහි වටිනාකම වනුයේ ඇය මෙය සිද්ධියක් ලෙස ඉදිරිපත් කිරීමෙහි නොවේ. ඒ යටින් ඇය මතු කරනා පුළුල් ජීවන අරුතයි. එය නිසි ලෙස කියවාගැනීමට පාඨකයාද සමතෙක් විය යුතුය.

ඇගේ කවිය ප්‍රසන්න අත්දැකීමකි. ඇය ගෙවුන වසර කිහිපයක විරාමය අපතේ යවා නොමැති බවට ඇගේ කවිය සාක්ෂි සපයයි. මෙහි එන වැඩි හරියක් කවි පරිණත කිවිඳියක බවට පත්වන නිර්මාණකාරියකගේ පරිකල්පනීය ලෝකයේ හැඩතල, දිග පලල කියයි. මිරිසවැටිය අභියස නමින් වන කයිද මෙපරිදිම බොහෝ දෑ නොකියා කියන ව්‍යංගාර්ථවත් කවියකි. සංක්ෂිප්ත බව මනාව රකිමින් ඒ සංක්ෂිප්ත බවම පෙරලා කවියෙහි පුළුල් බවට හරවමින් ඇය කරනා වදන් ක්‍රීඩාව අපූරුය. පුරාවිදු වටිනාකමින් යුත් බිමෙක නව ඉදිකිරීමක් උදෙසා වන බැකෝ මෙහෙයුමකි. එහිදී මතුවන පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් සාක්ෂියක් ඇගේ කවියට විෂය වෙයි. මේ කවියෙහි ඇය කාව්‍යාත්මක යෙදුම් නිපදවන ආකාරය පාඨක ආශ්වාදය වර්ධනය කරයි.

බිම්ගත තටාකයකට දියත කැණෙමින් පවතී
බැකෝ දැත්තක දැවටී හඩ නගන දැඩි යමකි
කෙමෙන් හිස ඔසවන ඉපැරණි ගඩොල් බිතකී
දුටු සැණින් මගහැර වසා යා යුතු තැනකී

ඉතිහාසය යනුම කරදරකාරී කටු ලැහැබකි. එහෙයින් වඩා පහසු එය මගහැර යාමය. නැතිනම් අමතක කරදැමීමය. එසේ නැතිනම් අපට ගෝචර ඉතිහාසය නිර්මාණය කරගැනීමය. මේ වර්තමානයේ බොහෝ කොට දක්නට ලැබෙන සත්‍යයයි.

සියවස් ගණනකට එපිට මිහිදන් වුණ
පන්හිඳක පැටලී තඹ පතක නොඇලුණ
නෙතු පහස නොලදුව නිහඩවම සැතපෙන
යළි ගොඩ නොගත යුතු රහස් ඇති අපමණ

ඇය තම කවියට සමකාලීන කුටුම්භගත ජීවිතය ගෙන එන්නීය. පිටතින් සියුම් මෙන්ම සන්සුන් ලෙස පෙනෙනා නූතන පාරිභෝජනවාදී එමෙන්ම නිමක් නැති සිහින පසුපස ඉව බවක් නැතිව දිවයන මධ්‍යම පංතික ජීවිතයේ අඳුරු සිතුවම ඇය වදන් කිහිපයකින් නිරූපනය කරන්නීය. ඒ ඇගේ කවියෙහි සමත්කම විදහන් තැනකි. ඇය ඒ කවිය නම් කරනුයෙ කිසිත් නොඅසමි යනුවෙනි.

පෙර රිසි සේ
නිදහස් සුව විඳි
අත් බණුව
මෑතක සිට නිති
අත් අඩංගුවෙහිය

එහෙයින්දෝ එය
මැදි රැයේ හඬන්නේද
ඇසෙන නෑසෙන සරිනි

හැඩු සැනින් ඩැහැගෙන
දුර අඳුරට ඇදෙන
රුව දෙස බලා ඉමි
කිසිත් නොඅසමි

මේ කවියට මාතෘකා අනවැසිය. පවුල් ඒකකයේ ව්‍යාජ බොල් නද මේ කවිය තුළ ප්‍රතිරාව නැංවෙයි. ඒ සියුම් වදනිනි. සිත රිදවනා සිහින් කටු අනිමිනි. ඇය පවුලක අර්බුදය විදහන්නට ජංගම දුරකථනය රූපකයක් කරගන්නා ආකාරය අගනේය.

ඇගේ කවියෙහි ඇති තවත් විශේෂත්වයක් වනුයේ ජීවිතයෙහි ඇතැම් නිමේෂයන් අල්ලා ගන්නට දරනා සමත්කමයි. අපේ ජීවිතවල මෙවන් නිමේෂයන් බොහෝය. එහෙත් ඒ නිමේෂය මුළු ජීවිතයටම ඉතිරි කරනා හැඟුම කිසිදා මැකී යන්නේ නැත. එය සුන්දර හෝ කටුක මතකයක් විය හැකිය. කහට පැල්ලමක් මෙන් එය දිවියෙහි ඇලී යළි යළි මතුව එයි. සන්තෝෂ වෙරළ නම් කවිය එවන් අත්දැකීමක් විදහන්නකි. කිසිවකු නොදුටු මොහොතකි කිසිවකුට නොකී රහකි මැයෙන් එන කවියද එවැන්නකි. පියගැටපෙලක එකිනෙකා අහම්බ නිමේෂයක හමුවන ගැටෙන නිමේෂයක් ජීවිත කාලය පුරාම අමතක නොවන මතක එළි සුඟක් දල්වන ආකාරය ඇය මෙහිදී අපට ගෙන එයි. මේ වදනින් විස්තර කරන්නට අසීරු හැඟුම් සමුදායකි, මතක පෙලකි. කිවිඳිය ඉතා කදිමට එය කවියෙහි බහාලයි. හමුවීම සහ එසැණ වෙන්වීම ජීවිතයට ඇති කරන බලපෑම මෙන්ම ඒ ක්ෂණික ස්පර්ශයක ඇති බලවත්කම මෙන්ම මිනිස් හැඟුම්හී විචිත්‍රවත් බව මේ කවියෙහි මනාව නිරූපිතය.

බෙලිහුල් ඔය මැයෙන් වන කවියද මෙලෙසම අවධානයට ලක්විය යුතු නිර්මාණයකි. මානව සම්බන්ධයන්හී නියම් අනියම් බව සොයන ලෝකයට මගහැරෙන මිනිස් සබඳතාවන්හී සංකීර්ණත්වය මේ කවියෙහි ගැබ්ව තිබේ. බෙලිහුල් ඔය යනු ආදරය, ලිංගික සම්බන්ධතා පිලිබඳ රූපකයකි. එහි යන යුවළකගේ අත්දැකීම හරහා කිවිඳිය ජීවිතය කියවයි. ඒවනාහී ප්‍ර මෝදයේ, ආහ්ලාදයේ ආදරයේ මොහොතයි. එකට වෙලෙනා යුවලකට ඇවැසි සියළු දැයින් පරිසරය සම්පූර්ණය.

පැතිරෙත්ම සුවදායී සිහිලසක්
කවුළු පියන්පත්
ගනකම් තිර රෙදි
හෙමිහිට වැසුනා
ඉහ ඉද්දර
ළා රත් පැහැ එළි දැල්වී
හැඩතලවලට ඉහුණා

සම්භෝගයට සියල්ල සූදානම්ය. ඇත්තේ ජීවිතයේ මිහිර විඳින්නට ඉවුරු බිඳ හැඟුම් ගලන්නට ඉඩ හැරීමය. එහෙත් කිවිඳිය තියුණු හැරවුමක් ගන්නීය.

පාන්දර ගෙදර රණ්ඩුව නිසා
දුරදිග නොබලා මේ ගමන ආවට
චූටි දූ මාව හොයනවැ‘ති
හිත හදාගන්න බෑ අනේ … සොරි

ඇගේ කවි අතර බිඳී ගිය ස්ත්‍රී පුරුෂ සබඳතාවන් විමසන්නට උත්සුක වන නිර්මාණ ගණනාවකි. ඒ සෑම කවියකම පලවන සංයමය කිවිඳියගේ අභ්‍යාසයන්හී මෙන්ම මනුෂ්‍ය ජීවිතය කනින්ට ඇය තුළ වන උනන්දුවෙහිද ගැබ් වන පරිණත බවක ලකුණු කියා පායි. ඇගේ කෘතියෙහි එන බොහෝ කවි කියවා අමතක කරනු වෙනුවට යලිත් කියවන්නැයි ඇරයුම් කරනා ආකර්ශණයකින් යුක්තය. ඇගේ කවිය පසන් අත්දැකීමකි. ඔබද ඇගේ කවියෙහි රුව ගුණ විඳිය යුතුය.

චූලානන්ද සමරනායක

Related articles

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කාගේ ද?, ඉතිහාසයේ පාඩම් දැන, අරමුණු ජය ගමු ද?

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ක්‍රියාත්මක කිරීමට මේ රජය විසින් සැලසුම් සකස් කොට ඇතැයි අධ්‍යාපන ඇමැති ලෙස කටයුතු කරන අග්‍රාමාත්‍ය...

ට්‍රම්ප් දිගට හරහට නෙලයි…

යුරෝපා සංගමයට, මෙක්සිකෝවට, 30% යි. කැනේඩියානු භාණ්ඩ වලට 35% යි.. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමරිකාවේ විශාලතම වෙළඳ හවුල්කරුවන් දෙදෙනෙකු...

ටෙස්ට් ඉතිහාසයේ අපූරු අත්හැරීම

සිම්බාබ්වේට එරෙහි දෙවෙනි ටෙස්ට් මැච් එකේදී 367ක් ගහපු දකුණු අප්‍රිකාවේ වයන් මල්ඩර් (Wiaan Mulder) තීරණය කරනවා ඉණිම එතනින්...

පක්ෂ දෙක බිඳින්න එලොන් මස්ක්ගෙන් අලුත් පක්ෂයක්

පුරාණ ග්‍රීක උපාය මාර්ගයකින්, රිපබ්ලිකන්-ඩිමොක්‍රටික් පක්ෂ දෙක බිඳින්න එලොන් මස්ක්ගෙන් අලුත් පක්ෂයක් …. එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ one...