ගගනගෙ පොත කියවන්න ගත්ත ගමන් මට සිහිපත් වුනේ නමසිය අසූ ගණන් වල කොටුවේ දුම්රිය නැවතුම් පල ඉදිරිපිට මගී ගුවන් පාලමේ තිබුණ බෝඩ් එක. ඒ ප්‍රේමදාස ජනපතිගෙ ගම් උදාව වෙනුවෙන් හයි කරපු එකක්. ඒකේ මුල් අකුරු හැලිලා ඉතිරි වුනේ මෙන්න මේ වගේ දෙයක්.
….ට ම….ල් රටට …..වල්
මේක සම්පූර්ණයෙන් ගත්තහම තිබුණ පාඨය මේක. ඔබට මුදල් රටට ගෙවල්.
අකුරු හැලීම නිසාම අපිට පරණ බෝඩ් එකෙන් වෙනම අරුතක් මතුවෙලා තිබුණා. ඒ කාලෙ අපි අතර මේක මරු විහිලුවක්. හැබැයි ඒ විහිළුවටත් තේරුමක් තිබුණා.
ගගන කාලයක් තිස්සෙ කරපු සෙවීම් එක්ක අපිට ශේෂ කවි අරගෙන එනවා. ඔහු මේ අරගෙන එන්නෙ found poetry නැතිනම් blackout poetry/erasure poetry/ redacted poetry යනුවෙන් හඳුන්වන කාව්‍යාකෘතිය. කවිය වේගයෙන් හෑල්ලු වදන් කැටි කිරීම දක්වා පසුබසින, අනෙක් අතින් කවි ගැන විමසුම් වෙනුවට කවි කුලක සහ මධු බඳුන් උත්කර්ෂයට නැගෙන වකවානුවක ගගන වගෙ තරුණයෙක් කරන මේ විමසුම් සහ මැදිහත්වීම ඉතා වටිනවා. අපි ගගනව කවියෙක් හැටියට දන්නෙ මීට පෙර පල කළ ඒ සමනලුන් මිය ගියේ මා නමින් නම් යන කාව්‍ය කෘතියෙන්. ඊට වඩා ගගන පිට කවර හා අපට සමීපයි. ඒත් මේ සියල්ල අතරේ ගගන නමින් වෙහෙස නොබලා කවිය ගැන ගැඹුරු සෙවීමක නිරත තරුණයෙක් ඉන්න වග මේ නව කෘතිය අපට පවසනවා.
ශේෂ කවිය- ඒ ගගන ඊට දෙන සිංහල නාමය. එහි අරුත කිසියම් පඨිතයක කොටස් ඉවත් කිරීමෙන් පසුව ශේෂ වන වදන් හරහා කරන සන්නිවේදනය. ඒ සඳහා කවියාට තෝරා ගැනීමක් කළ හැකියි. පළමුව අදාල පඨිතය තෝරා ගැනීම සහ ඉන්පසුව ඉවත් කිරීම කෙතරම් දුර යනවාද යන්න තීරණය කිරීම. මෙහි අවසන් පලය වෙන්නෙ නව අරුතක් සහිත නිර්මාණයක් බිහිවීම. එය තෝරා ගන්නා ලද පඨිතයට වඩා බෙහෙවින් සංක්ෂිප්තයි. එහි රටාව තීරණය කිරීම කවියාට බාරයි. ඒ තීරණය අනුව පාඨක පරිකල්පනයට ඉඩ සැදෙන නව නිමවුමක් ඉතිරි වෙනවා.
සම්ප්‍රදායික කාව්යා කෘති වලට හුරු කරන ලද ඇස් සහ මනසට එක්වරම මෙය වෙහෙසක් දනවන්නක්. ඒ වගේම කවියාගේ රටාව සමහර විට පාඨකයාට දුරවබෝධ වෙන්න තියෙන ඉඩත් වැඩියි. ඒත් රචකයා හා සමානවම පාඨකයාත් වෙහෙසවන්නෙක් සහ උග්‍ර කියවන්නෙක් නම් හෙමිහිට ඔහුටත් මේ නව නිර්මාණය තුළින් තවත් ඉසවු පාද ගන්න බැරි වෙන්නෙ නෑ.
Blackout poetry නැතිනම් cut up හෝ remixed poetry වශයෙනුත් වෙනස් ආකාර ගන්නා ශේෂ කවි අන් රටවල ප්‍රචලිත වුනත් අපේ රටේ එවැන්නක් තවම ආගන්තුකයි සහ පාඨකයාට දුරස්තයි. ඒ නිසාම මේ පිළිබඳ හොඳ සාකච්ඡාවකුත් කවිය සමගම අවශ්‍ය වෙනවා. ගගන මෙහිදී ශේෂ කවි ගැන සැලකිය යුතු හැඳින්වීමකුත් කරන එක වටිනවා. එය එක්තරා ආකාරයකින් මේ කවි ගැන සොයන්න සිතන කෙනකුට මගපෙන්වීමක්. ඔහු තමන් පරිශීලනය කළ මූලාශ්‍රත් ඉදිරිපත් කරන්න තරම් ශික්ෂිත නිසා වැඩේ තවත් පහසු වෙනවා.
ගගනගේ මේ මැදිහත්වීම ලංකාව තුළ ඉතා සීමිතව භාවිතා වුන සංයුක්ත කවිය ගැන ආයෙම අවධානය යොමු කරන්න මට පෙළඹවීමක් ඇති කළා. ඒ වගේම මේ කාව්‍යාභ්‍යාසය හරහා ගගන කරන මැදිහත්වීම ලාංකීය කවියේ නව්‍යතාවන් අපේක්ෂා කරන්නන් හට උත්තේජනයක් සපයනු ඇති.
මේ ගගනගේ ශේෂ කවි අතරින් මගේ සිත ගත් කවි කිහිපයක්.
1.
තිබුණි
මුහුදු වෙරළේ
වසන්ත කාලයක මල
සිරුර
2. ෂෙප් උණ්ඩ පුපුරා ගිය පසුව
බිස්කට් රසකැවිළි සහ
අමු මිරිස්
විවෙක ගනිමින් සිටි යහ
- දූතයන්
නිදා සිටිනා
කන් ද
උදෑසන
පැමිණි විට
යක්ෂයා
උදෙසා වෙන් කර තිබිණි
ඔහු මේ කවි සඳහා තෝරා ගන්න පිටු අයත් වෙන්නෙ අතිභය අභ්‍යන්තර පරීක්ෂණය කෘතියට.
මකා හැරීම සිත්තමක් විලාශයෙන් කරමින් ශේෂ කිරීම හරහා නව කවියක් මතු කිරීමේදී ඒ කියවන්නා හට ලැබෙන අත්දැකීම වඩාත් පොහොසත් වෙනවා.
මිනිස්සු
සිමෙන්ති ගොඩවල් සරුව පිත්තල
දකිද්දිත් මට මතක් වෙන්නෙ උන්දැව
ලොකු හාමුදුරුවො එක්ක
දිය සෙවල බැඳුන පන්සල
ඔහු මේ කවියට ගන්නෙ තක්ෂිලා ස්වර්ණමාලිගෙ ඉක්බිති ඔවුහු බුදියගත්හ කෘතිය.
ශේෂ කවියක් කියන්නෙ නිර්මාණකරුවගෙ පරිකල්පනය වගේම ඔහුගේ කියවීමත් පරීක්ෂාවට ලක්වෙන ව්‍යායාමයක්. පඨිතයකින් මකාහැරීම හරහා තෙවන අරුතක් මතුකිරීම වෙන වැඩක්. ඒක කවියා වගේම පාඨකයාත් අභියෝගයට ලක් වෙන තැනක්. ඒ වගේම කවියා සිය නිර්මාණයේ නිශ්චිත අරුතක් මතු නොකර දෙන නිදහසේ උපරිම පල අරගෙන පාඨකයාට මුල් කවියේ පෙල බිඳගෙන තමන්ට රිසි ආකාරයට වදන් පෙල ගස්වමින් නව කවියක් සහ නව අරුතක් මතු කරගන්නත් මෙ හරහා ඉඩ ලැබෙනවා.
ගගනගේ ශේෂ කවි මෙහිදී උදාහරණයට ගන්න බැරි බාධකයක් තියෙනවා. ඒ කවිය සහ ඒ සමග නිර්මාණය කෙරෙන සිතුවම උපුටන්න නොහැකි කම. ගගනගෙ කවි කියවන විට මට දැනුන එක් දුකක්ද තියෙන බව සඳහන් කල යුතුයි. ඔහුගෙ විෂය සත්ව විද්‍යාව. ඔහු ජයවර්ධනපුර සරසවියෙ සිසුවෙක්. ඒත් සරසවිය කියන නම භාවිතා වුනාට මේ කවි නෙවෙයි සම්ප්‍රදායික ආකෘති වලින් ලියවෙන කවි පවා සරසවියට බෙහෙවින් දුරයි. ඒ නිසාම ගගනගෙ මේ කවි සරසවිය තුළ අවධානයට, සංවාදයට ලක් වෙන්න තියෙන ඉඩ ඉතාම අවමයි.
ගගන ශේෂ කවි හරහා තමන් තුළ නිර්මාණකරනයට ඇති නොසිඳෙන පවස කෙතරම්දැයි අපට පවසනවා. ඔහුලේ ඉරේසරීය ඊරාවකින් ඉක්බිතිව ඉතිරිව කෘතිය ලංකාවේ කවි සංවාද තුළ සාකච්චාවට බඳුන් විය යුතු කෘතියක්.