ජාතික ක්‍රියාකාරී සැලැස්ම ඉදිරියට ගේන්නට තවත් ඇතුන් කීදෙනෙක් මිය යා යුතුද?

Share post:

කලාවැව ජාතික වනෝද්‍යානයේ සැරිසැරූ දීඝදන්තු 1 හස්තියා ද මරණයට පත්වීමෙන් පසුව හෝ අලි-මිනිස් ගැටුමට විසඳූම් සහිතව සකස් කළ ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමට ජනාධිපති කාර්යසාධක බලකායක් කඩිනමින් පිහිටුවන ලෙස පරිසරවේදීහු ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලා සිටිති.

ජ්‍යෙෂ්ඨ පරිසරවේදියකු වන ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දුගේ සභාපතිත්වයෙන් යුත් විශේෂඥ කමිටුවක් මගින් සිදු කළ දීර්ඝ අධ්‍යයනයකින් පසු මේ ක්‍රියාකාරී සැලැස්ම සකස්කරන ලදි. එම විශේෂඥ කමිටුවට ක්ෂේත්‍රයේ විශේෂඥයෝ, විද්වත්හු, අලි-මිනිස් ගැටුම සහිත ප්‍රදේශවල දිස්ත්‍රික් ලේකම්වරු ඇතුළු විෂය පිළිබඳ අත්දැකීම් ඇති පිරිසක් ඇතුළත් වූහ.

ඊයේ (28) කලාවැව ජාතික වනෝද්‍යානයට ආසන්නයේ පිහිටි ආඬියාගල, ගිගුරුවැව ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ඇද තිබූ අනාරක්ෂිත විදුලි වැටක ගැටීමෙන් දීඝදන්තු 1 හස්තියා මියගොස් තිබිණි. කලාවැව ජාතික වනෝද්‍යානයේ ජීවත් වූ විශාලත්වයෙන් වැඩි ම දළ යුගල සහිත වයසින් වැඩඩිම හස්තියා වූයේ දීඝදන්තු ය. කලාවැව සහ කහල්ලපල්ලකැලේ අභයභූමිය ආශ්‍රිත ව මේ හස්තියා සැරිසරන ලදි.

පසුගිය කාලයේ කලා වැව ආශ්‍රිත ව පිහිටුවන ලද කුඩා ජල විදුලි බලාගාර ව්‍යාපෘතියක් හේතුවෙන් වසර පුරා වැවේ ජලය පුරවා තැබීමට කටයුතු කෙරිණි. මේ නිසා කලා සහ බළළු වැවි ආශ්‍රිත කුඩා වන තීරුවේ සැරිසැරීමට අලින්ට සිදු විය. පරිසරවේදීන් පෙන්වාදෙන්නේ මේ නිසා පසුගිය වසර කිහිපයේදී මේ ප්‍රදේශයේ අලි-ඇතුන් ගම් වැදීම සීග්‍රයෙන් වැඩි වූ බවයි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියකු පැවසුවේ අනවසර සහ අනාරක්ෂිත විදුලි වැට පිළිබඳව ක්‍රියාත්මක වීමට තමන්ට නීතියෙන් ඇත්තේ අවම බලයක් බවයි. එහෙත් අලියකු ඝාතනය කිරීම පිළිබඳව තමන්ට පියවර ගත හැකි බවත්, ඊට ද ඇති උපරිම දඩය වන්නේ රුපියල් ලක්ෂ 03ක් බවත් පෙන්වා දුන් එම නිලධාරියා, ලංකාවේ අලි සම්පත රැකගැනීම සඳහා නව නීති සකස් කිරීමේ අවශ්‍යතාව ද පෙන්වා දුන්නේය. විදුලිබල මණ්ඩලය පවසන්නේ නිශ්චිත විදුලි මීටරයකින් විදුලිය ලබාගන්නේ නම්, එහි බරපතළ ගැටලුවක් නැති බවත්, නීතිවිරෝධී ලෙස විදුලිය ලබාගැනීමක් වන්නේ පොදු මාර්ගවල විදුලි කම්බිවලට කොකු දැමීමේ තත්ත්වයන් බවත් ය.

Related articles

හිස්බුල්ලා ත්‍රස්තවාදීන්ට පහරදුනහොත් ආසියාවට තෙල් නැහැ… ලෝකයට සාමය නැහැ

මොකක්ද මේ කියන කතාවෙ තේරුම? හිස්බුල්ලා (hezbollah) කියන්නෙ ලෙබනනයේ ස්ථානගතවුනු සටන්කාමී අන්තවාදී කණ්ඩායමක්. වසර ගණනාවක සිට ලෙබනනය අස්ථාවර...

ශානි පළිගන්නවද? – ගෝඨාගේ සම්පූර්ණ පෙත්සම මෙන්න !

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් තමන් අත්අඩංගුවට ගැනීමෙන් වළක්වන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනුකර තිබේ. පොලිස්පති...

නාවික හමුදාව අපරාධ සිදු කළ බවට සැක ‘ගන්සයිට්‘ සීඅයිඩියෙන් සීල් තබයි !

ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර තුළ පිහිටි ‘ගන් සයිට්’ නමින් හැඳින්වෙන භූගත රහසිගත සිරමැදිරි සංකීර්ණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් මුද්‍රා...

‘ඇය කිසිවක් නොකළාය’

මළගිය ඇත්තන් විටින් විට අප හදවතට බද්ධ කරන ලෙසින් ලොව ඇත්තේ යාම් ඊම් පමණි. නමුදු බහුතරයකට එය සිහිවන්නේ...