වසර 19ක් තිස්සේ ක්‍රියාත්මක නොකළ නීතියක් නිසා ව්‍යසන කබලෙන් ළිපට වැටුණු ජනතාව !

Share post:

රට ම ඇත්තේ තවදුරටත් ව්‍යසන තත්ත්වයක ය. අධික වර්ෂාව හේතුවෙන් ගංවතුර ඇති වීම ඕනෑම තැනකදී සිදුවිය හැකිය. එහෙත් අක්‍රමවත් පරිසර කළමනාකරණය, සංවර්ධන ව්‍යාපෘති ඇතුළු මිනිස් ක්‍රියාකාරකම් නිසා එය බිහිසුණු ව්‍යසනයක් බවට පත්විය හැකිය. පසුගිය කාලය පුරා මෙන්ම මේ දිනවල ද ලංකාවේ පවතින තත්ත්වය මූලික වශයෙන්ම මිනිස් ක්‍රියාකාරකම් නිසා තීව්‍ර කරගත් තත්ත්වයක් බව පැහැදිලි ය. ෆෙන්ගල් නමින් නම් කර ඇති මේ දිනවල පවතින සුළු කුණාටුව ලංකාවේ මධ්‍යම කඳූකරයේ පිහිටීමේ ස්වභාවය සහ නැගෙනහිර මුහුදේ ඇති ගල්පරවල බලපෑම් වැනි ස්වභාවික තත්ත්වයන් නිසා රටට ඇතුළු නොවනු ඇතැයි ඉන්දීය කාලගුණික මධ්‍යස්ථානය අනාවැකි පළකර තිබිණි. එය තරමක් සාර්ථක අනාවැකියක් බව ඊයේ (28) වන විට පෙනෙන්නට ද තිබිණි. වර්ග කිලෝමීටර් හැට පන් දහසකට වැඩි භූමි ප්‍රමාණයක් සහිත, මධ්‍යම කඳූකරයේ සිට රට පුරා ගලන ගංගා 103කින් පෝෂණය වන ලංකාවට මෙසේ වූයේ ඇයි? නිවැරදි සැලසුම් කෙසේ වෙතත් නිවැරදි ව්‍යසන කළමනාකරණයක් හෝ අපට නැත්තේ ඇයි?

දැවැන්ත ජල කඳක් මෙසේ කඩාවැටීමෙන් පසුව වුවද, මාස දෙකක් ගතවන විට ලංකාවේ ඇතැම් ප්‍රදේශවලට ජලය පිළිබඳ අර්බුදවලට මුහුණදීමට සිදු වේ. ලෝකයේ විශිෂ්ඨ වාරි ශිෂ්ඨාචාරයක් සහිත රටක් වුවද, එම වාරි ශිෂ්ඨාචාරයෙන් බිහිවූ වැව් 13,000කට අධික ප්‍රමාණය රැකගැනීමට නොහැකි වීමත්, මහා වැව්වල සිට කුඩා වැව් දක්වා ජලය කළමනාකරණය කෙරෙන එල්ලංගා පද්ධතිය පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්ති සකස්කරන්නන්ට අවබෝධයක් නොමැති වීමත් හේතුවෙන් මේ ප්‍රශ්නයට අපි මුහුණදෙමින් සිටිමු. මේ එල්ලංගා පද්ධතිය ජාතික උරුමයක් බවට පත්කරන්නැයි පරිසරවේදීන් ඇතුළු විවිධ පාර්ශ්ව සෑම ආණ්ඩුවකට ම ඉල්ලීම් කළත්, එය මෙතෙක් ඉටු වී නැත. වර්තමාන ආණ්ඩුව එම පියවර ගතහොත් ජාතික උරුමයකට ලැබෙන නීතිමය රැකවරණය එම පද්ධතියට ලැබෙන්නේය.

ව්‍යසන පිළිබඳව අවධානය යොමුකිරීමේදී මේ දිනවල පවතින සුළිකුණාටු සහ වර්ෂා තත්ත්වය නිසා ඇති වූ ව්‍යසනය හුදෙකලා කොට ගත නොහැක. නිවැරදි රාජ්‍ය ප්‍රතිපත්තියක් නොමැති වීමේ අඩුව මේ සමස්ත ව්‍යසන සම්බන්ධයෙන් කතා කිරීමේදී කැපීපෙනෙන්නකි. මෙතෙක් කල් පරිසරවේදීන් ඇතුළු විවිධ පාර්ශ්ව මගින් කරන ලද තීරණාත්මක ඉල්ලීමක් ඉටුකිරීමට වර්තමාන ආණ්ඩුව කටයුතු කර ඇත. මෙතෙක් පරිසර ක්ෂේත්‍රයට අදාළ විෂයයන් සහ ආයතන පැවතුණේ ඇමැතිවරුන් කිහිපදෙනකු යටතේ ය. මේ නිසා හදිසි සහ අත්‍යවශ්‍ය තීරණ ගැනීමේදී බරපතළ ගැටලු මතු විය. මෙවර ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පරිසර අමාත්‍යංශය යටතට පරිසර, භූවිද්‍යා, වනජීවී සහ වන සංරක්ෂණ, දැව සංස්ථාව ඇතුළු එම ක්ෂේත්‍රයට අදාළ සියලු ආයතන පවරා තිබේ. එම නිසා ඉදිරියේදී පෙර ගැටලුව මතුනොවනු ඇතැයි උපකල්පනය කළ හැකිය. කෙසේ වෙතත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඇත්තේ ජනාධිපතිවරයා යටතේ ය. ලංකාවේ ව්‍යසන වැඩි වන ආකාරය බැලූ විට මේ ආයතන දෙක එක්කොට වෙනත් අමාත්‍යංශයක් පිහිටුවීම වුවද ඉදිරියේදී වැදගත් වනු ඇත.

2004 දෙසැම්බර් 26 වැනිදා සිදු වූ සුනාමි ව්‍යසනය ලංකාවේ මෑත ඉතිහාසයේ සිදු වූ බරපතළ ම ව්‍යසනයයි. ඉන්පසු 2005 අංක 13 දරන ව්‍යසන කළමනාකරණ පනත එවකට පැවැති ආණ්ඩුව පාර්ලිමේන්තුවේදී සම්මත කරගත්තේය. එහි පූර්විකාවේ මෙසේ සඳහන් වේ.

‘ලංකාවේ භූමිය ඇතුළත සිදුවන්නා වූ ඇතැම් ව්‍යසන නිසා ලංකාවේ මනුෂ්‍ය ජීවිත, දේපොළ ඇතුළු සමස්ත පරිසරය විනාශ වීමේ අනතුරකට ලක්වී ඇති හෙයින්ද, එම ව්‍යසනවලින් ඒවා ආරක්ෂා කරගැනීම සඳහා ද ජාතික ප්‍රතිපත්තියක් සහ සැලැස්මක් ස්ථාපිත කොට ක්‍රියාත්මක කිරීම සඳහා…’

මේ පනත යටතේ ව්‍යසන කළමනාකරණය සඳහා ජාතික සභාවක් පිහිටුවා තිබේ. නිල බලයෙන් ම එහි සභාපතිවරයා වන්නේ ජනාධිපතිවරයා ය. අගමැතිවරයා, අදාළ ඇමැතිවරුන්, අමාත්‍යංශ ලේකම්වරුන්, විපක්ෂ නායකවරයා, කතානායකවරයා විසින් පත්කරන නියෝජිතයන්, පළාත් නියෝජිතයන් ඇතුළු පක්ෂ – විපක්ෂ නියෝජිතයන් මේ කමිටුවට ඇතුළත් ය. කොවිඩ් ව්‍යසනය අවස්ථාවේදී ද මේ සභාව රැස්කරන ලෙස ඉල්ලීම් සිදුකෙරුණද, එය සිදුවූයේ නැත. මේ දිනවල පවතින ව්‍යසනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් සියලු අංශ රැස්කොට උපදෙස් ලබාදී තිබේ. ඔහුට තවමත් ව්‍යසන කළමනාකරණ සභාව පිහිටුවීමට කාලයක් ලැබුණේ නැති බව සත්‍යයකි. එහෙත් අනාගතය වෙනුවෙන් එය කළ යුතුය.

මේ ව්‍යසන කළමනාකරණ පනත යටතේ ඊට අදාළ ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතුය. එහි අරමුණ ලෙස දැක්වෙන්නේ ව්‍යසන කළමනාකරණය කිරීමයි. එනම් යම් ව්‍යසනයකින් පසු කටයුතු කරන්නේ කෙසේද යන්න සහ යම් ව්‍යසනයක් වළක්වාගන්නේ කෙසේද යන්න මේ ප්‍රතිපත්තියට ඇතුළත් විය යුතුය. මෙතෙක් කාලයක් පැවැති ආණ්ඩු මගින් එවැන්නක් සිදුවූයේ නැත.

පනතට අනුව ව්‍යසන කළමනාකරණ ජාතික සභාවේ නිශ්චිත ඉලක්කය විය යුත්තේ යම් ව්‍යසනයකින් පීඩාවට පත් ජනතාව සහ ප්‍රදේශ නැවත නගාසිටුවීමයි. ලංකාවේ සිදුනොවන්නේ ම එයයි. පසුගිය කාලයේ සිදු වූ ගංවතුර අවස්ථා ඊට හොඳ ම උදාහරණ වේ. ගංවතුරක් පැමිණි පසු ඒ ගැන යම් සංවාදයක් මතු වේ. ඊට අදාළ වන්දි ගෙවීමක් සිදු වේ. එපමණකි. මීට අමතරව ව්‍යසන සඳහා පෙර සූදානම් කිරීම ද මෙහි වගකීමකි. ජනතාව ඒ වෙනුවෙන් පුහුණු කිරීම ද කළ යුතුය. අවදානම් අවස්ථාවලට මුහුණදීමේ හැකියාව පිළිබඳව ජනතාව සමග එක්ව විවිධ ව්‍යාපෘති සකස් කිරීම ද ඔවුන්ගේ වගකීමකි. ව්‍යසනවලින් පසු සහන ලබාදීමේ කටයුතුවලට විධිවිධාන සැලසීම ද ඔවුන් කළ යුතුය. ආයතන සම්බන්ධීකරණය ද ඔවුන්ගේ වගකීමකි.

මේ ආකාරයට රජයේ වගකීම ඉටුවී නැති තත්ත්වයක ජනතාව තවදුරටත් එක ම පීඩාව විඳීමින් සිටී. ව්‍යසනවලට මුහුණ දීමට ශක්තිමත් ක්‍රමයක් නැති අතර ම, අවිධිමත් සංවර්ධන ව්‍යාපෘති නිසා ජනතාව කබලෙන් ලිපට ඇද දමා තිබේ. උමා ඔය වැනි දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති සඳහා පරිසර තක්සේරු වාර්තා සකස් කර තිබුණේ දින කිහිපයකින් ය. එය මේ වන විට තහවුරු වී තිබේ. එසේ ම 5/2001 වැනි වනාන්තරවල ආරක්ෂාවට දීර්ඝ කාලයක් තිස්සේ පැවැති චක්‍රලේඛ කඩිමුඩියේ වෙනස් කිරීම ද එවැනි තවත් උදාහරණයකි. 5/2001 මගින් සිදුවූයේ අවශේෂ වනාන්තර යැයි හඳූන්වනු ලබන රක්ෂිත නොවන වනාන්තර කොටසක් යම් ව්‍යාපෘතියක් සඳහා පැවරීමේදී ඊට අදාළ සියලු ආයතනවල අනුමැතිය ගැනීමයි. එහෙත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් මත 2020 වසරේදී එවකට වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම් බන්දුල හරිශ්චන්ද්‍රගේ අත්සනින් ඉදිරිපත් කළ 01/2020 චක්‍රලේඛය මගින් සිදු වූයේ ඒ සියලු ආයතන යන්න අහෝසි කොට අදාළ ඉඩම් කොටස් පැවරීමේ තනි බලය ප්‍රදේශීය ලේකම් හෝ දිස්ත්‍රික් ලේකම් යටතට පැවරීමයි.

මේ චක්‍රලේඛයෙන් පසු මොනරාගල සහ අනුරාධපුර දිස්ත්‍රික්ක දෙකේ ගොවීන්ට හා වන සතුන්ට අයත් අක්කර 75,000ක් පමණ ගිවිසුම් මගින් අත්පත් කරගෙන සිටින පෞද්ගලික සමාගමකට කන්තලේ ප්‍රදේශයේ බඩඉරිඟු‍ වගාවට අක්කර 2,000ක්, අම්පාර, පොල්ලෙබැද්ද-රඹකැන්ඔය ඉඩම් අක්කර 5,426ක් සමාගම් 15කට බඩඉරිඟු‍ වගාවට, මොනරාගල, අනුරාධපුරය හා බදුල්ල දිස්ත්‍රික්ක තුනේ වනාන්තර ඉඩම් අක්කර 80,000ක් බඩඉරිඟු‍ වගාවට, පැල්වත්ත සීනි සමාගම සඳහා දෙමළිය හා වන්දම ප්‍රදේශයෙන් වනාන්තර අක්කර 7,000ක් උක් වගාවට, මාගම්පුර වරාය ආශ්‍රිත වනාන්තර අක්කර 15,000ක් චීන කර්මාන්ත ශාලාවක් තැනීමට, උක් වගා ව්‍යාපෘතියක් සඳහා බිබිල ප්‍රදේශයේ අක්කර 62,500ක්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ අක්කර ලක්ෂයක් කෝමාරිකා ව්‍යාපෘතියක් සඳහා ලබාදීම ආදී ව්‍යාපෘති රැසක් සිදු විය. නැවතත් කිව යුතුය. සංවර්ධනය සහ මෙවැනි ව්‍යාපෘති මගින් ආර්ථික ඉලක්ක වෙත යා යුතුය.

එහෙත් ඒ සඳහා විධිමත් නීතිමය ක්‍රමවේදයක් තිබිය යුතුය. ගැටලුව ඇත්තේ එතැන ය.

ලංකාවේ දැනට ක්‍රියාත්මක වන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම සහ මූලික යුතුකම් කොටසේ 27 (14) උප ව්‍යවස්ථාවට අනුව ජනතාවගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කරමින් සුරක්ෂිත කොට වැඩිදියුණු කළ යුතු බව දැක්වේ. එනම් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුතුය. එය ජනතාවගේ යහපත තකා විය යුතුය. එය ණය ගැනීමේ හෝ කොමිස් අරමුණු කරගත් ව්‍යාපෘති නොවිය යුතුය. ව්‍යසනයක් සිදු වූ විට ඒ ගැන සංවාද කර වෙනත් මාතෘකාවලට යනවා වෙනුවට, ව්‍යසනවලට මුහුණ දීමේ ශක්තිමත් වැඩපිළිවෙලක් සකස් කිරීමේ දැවැන්ත වගකීමක් ආණ්ඩුව සතු ය.

  • ශාලික විමලසේන

Related articles

මෛත්‍රී ඝාතන උත්සාහයේ සැකකරුවන් වසර 15ක් රක්ෂිත බන්ධනාගාරයේ – ඊයේත් ඇප ප්‍රතික්ෂේපයි !

2008 වසරේ බොරලැස්ගමුව ප්‍රදේශයේදී එවකට ඇමැතිවරයකු වූ මෛත්‍රිපාල සිරිසේන ගමන් කළ රථ පෙළට පැන ඔහු ඝාතනය කිරීමට තැත්...

ජාතික ක්‍රියාකාරී සැලැස්ම ඉදිරියට ගේන්නට තවත් ඇතුන් කීදෙනෙක් මිය යා යුතුද?

කලාවැව ජාතික වනෝද්‍යානයේ සැරිසැරූ දීඝදන්තු 1 හස්තියා ද මරණයට පත්වීමෙන් පසුව හෝ අලි-මිනිස් ගැටුමට විසඳූම් සහිතව සකස් කළ...

‘ජීවිතය කුඩා ගල් කැටයක් තරමි බරද?’ – Good One(2024)

ජිවිතයේ තමන් ඇතුළේ තියෙන හැඟීමි තවත් කෙනෙක් එක්ක බෙදාගන්න උවමනාව ඇතිවෙන්නේ ඒ හැඟීමි කන්දරාව හුඟක් බරට දැනෙන කොට....

‘මරකත නිම්නය’ – නෙතිඳු වරාපිටිය

කවුද හිතන්නේ ශර්ලොක් හෝම්ස් + බැට්මෑන් + මොරියාටි + ජෝකර් වගේ පිස්සු මික්ස් එකකින් සයිෆයි ඩිටෙක්ටිව් ත්‍රිලර් නවල්...