දිවි සැරිය නිමා කළ පියදාස වැලිකන්නගේ

Share post:

පියදාස වැලිකන්නගේ දිවි සැරිය නිමා කළ පුවත ලැබුණේ ඊයේය. මේ වියපත් තරුණයා ගේ නික්ම යාම සොබා දහමට අනුකූල වුවද ඉන් දැනෙනුයේ සියුම් දුකකි.

ඔහු මගේ දිවියට දෙයාකාරයකින් සම්බන්ධය.
එක් සම්බන්ධයක් ලේඛකයෙකු ලෙසිනි. මා ලිවීම කෙරේ සිත යොමුකල යොවුන් විය වන විට හේ පරසිදු ලේඛකයෙකි. මා ඔහුගේ සුදු සෙවනැලි සහ පුන්සඳ වන් පුතු කියවූවේ විසල් ගෞරවයක්ද සමගිනි. ඒ අකුරු මතින් වූ සම්බන්ධය දිගු කලක් විවිධ තලයන්හි පැවතුණි.

පසු කලෙක මා විවිධ සාහිත්‍ය උත්සවයන්හි දේශන සඳහා මාතලේයන විට ඔහු එහි සංවිධායක මඩුල්ලේ ප්‍රධානියෙකි. සත්කාරකයෙකි. ඔහු මට සමතන්හි ලා සලකන විට මම පෙර පරම්පරාවේ සද්දන්තයෙකුට හිමි ගරුසරුවෙන් ඔහු පිදුවෙමි. වාමවාදී මූලයන් තිබුණද ඇතැම් විටෙක ඔහු දැරූ ආස්ථානයන් හා මා එකඟ නොවූවද ඔහු සැමවිටම මගේ ගෞරවයට හේතුවිණි.

අප අතර දෙවන සම්බන්ධය අයිති අසූව දශකයටය. ඒ අපේ සරසවි දිවියයි. ජේ ආර් ගේ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය හා ප්‍රේමදාසගේ අති සුපිරි මැරතන්ත්‍රවාදය අත්වැල් බැඳ අප සොයා ආ යුගයයි. එවක සරසවි අර්බුද, විශේෂයෙන්ම පුද්ගලික වෙද විදුහල් අර්බුදය සහ රටේ දේශපාලන මැදිහත්වීම් හමුවේ සරසවි සිසුන් මුහුණ දෙමින් සිටි අනාරක්ෂිත තත්වයට මුහුණ දීමට බහුජන සංවිධාන ගොඩ නැංවීමේ අවශ්‍යතාවක් අප හමුවේ සාකච්ඡාවට ගැනුණි.
සරසවි සිසු දෙමව්පිය සංවිධානය ගොඩ නංවනු ලබන්නේ ඒ අනුවය. අපි රට පුරා එහි ශාඛා ගොඩනැංවීමු. මම කළුතර සංවිධානයෙහි කටයුතු වල නිරතවෙමින් මවු සංවිධානය සමගද වැඩ කලෙමි.

පියදාස වැලිකන්න මේ මවුපිය සංවිධානයේ ප්‍රමුඛ නායකයෙක් ලෙස බිහිසුණු වකවානුවක ඉතා වැදගත් මෙහෙයක් ඉටුකලේය. එකල එම සංවිධානය සිසුන්ගේ ජීවිතාරක්ෂාව පිණිස විසල් මෙහෙයක් ඉටු කලේය.

වැලිකන්නගේගේ මේ මැදිහත්වීම මා ඔහු හා සම්බන්ධ කල දෙවන පුරුකයි. ඔහුගේ ඒ කැපවීම සම්බන්ධයෙන් අපේ ගෞරවය සැමදා ඔහුට හිමිය.

චූලානන්ද සමරනායක

Related articles

සලේ JMO හමුවට – පාස්කු නඩුවේ තීරණාත්මක සාක්ෂිකරුවන්ට බලපෑම් !

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවට ඉදිරිපත් කර තිබේ. පාස්කු ඉරිදා...

ප්‍රමාණවත් සාක්ෂි තිබියදීත් රනිල්ට අධිචෝදනා ප්‍රමාද ඇයි? – මහේස්ත්‍රාත් නීතිපතිගෙන් අසයි !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ වුල්හැම්ප්ටන් උපාධි ප්‍රදානෝත්සවය සඳහා සහභාගි වීමට රජයේ මුදල් යොදාගැනීම...

බොහෝ බැංකු දැනටමත් “ප්‍රායෝගිකව බංකොලොත්” – බියකරු අනාගතයක සේයාවක් ද?

සමහර පුවත් තියෙනවා එය ඇසූ සැණින් හදවත ගැස්සෙන, අද අපේ අසල්වැසි බංග්ලාදේශයෙන් ඇසෙන්නේ එවැනිම ඉතාමත් කණගාටුදායක සහ බියකරු...

Walk For Peace එකේ හැටි!

මේ තියෙන්නෙ සාම පා ගමනේ නිල ෆේස්බුක් පිටුවෙ පළ කළ රූප කීපයක්. මේ තියෙන්නෙ සාම පා ගමන, ලෝකයේ...