දිවි සැරිය නිමා කළ පියදාස වැලිකන්නගේ

Share post:

පියදාස වැලිකන්නගේ දිවි සැරිය නිමා කළ පුවත ලැබුණේ ඊයේය. මේ වියපත් තරුණයා ගේ නික්ම යාම සොබා දහමට අනුකූල වුවද ඉන් දැනෙනුයේ සියුම් දුකකි.

ඔහු මගේ දිවියට දෙයාකාරයකින් සම්බන්ධය.
එක් සම්බන්ධයක් ලේඛකයෙකු ලෙසිනි. මා ලිවීම කෙරේ සිත යොමුකල යොවුන් විය වන විට හේ පරසිදු ලේඛකයෙකි. මා ඔහුගේ සුදු සෙවනැලි සහ පුන්සඳ වන් පුතු කියවූවේ විසල් ගෞරවයක්ද සමගිනි. ඒ අකුරු මතින් වූ සම්බන්ධය දිගු කලක් විවිධ තලයන්හි පැවතුණි.

පසු කලෙක මා විවිධ සාහිත්‍ය උත්සවයන්හි දේශන සඳහා මාතලේයන විට ඔහු එහි සංවිධායක මඩුල්ලේ ප්‍රධානියෙකි. සත්කාරකයෙකි. ඔහු මට සමතන්හි ලා සලකන විට මම පෙර පරම්පරාවේ සද්දන්තයෙකුට හිමි ගරුසරුවෙන් ඔහු පිදුවෙමි. වාමවාදී මූලයන් තිබුණද ඇතැම් විටෙක ඔහු දැරූ ආස්ථානයන් හා මා එකඟ නොවූවද ඔහු සැමවිටම මගේ ගෞරවයට හේතුවිණි.

අප අතර දෙවන සම්බන්ධය අයිති අසූව දශකයටය. ඒ අපේ සරසවි දිවියයි. ජේ ආර් ගේ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය හා ප්‍රේමදාසගේ අති සුපිරි මැරතන්ත්‍රවාදය අත්වැල් බැඳ අප සොයා ආ යුගයයි. එවක සරසවි අර්බුද, විශේෂයෙන්ම පුද්ගලික වෙද විදුහල් අර්බුදය සහ රටේ දේශපාලන මැදිහත්වීම් හමුවේ සරසවි සිසුන් මුහුණ දෙමින් සිටි අනාරක්ෂිත තත්වයට මුහුණ දීමට බහුජන සංවිධාන ගොඩ නැංවීමේ අවශ්‍යතාවක් අප හමුවේ සාකච්ඡාවට ගැනුණි.
සරසවි සිසු දෙමව්පිය සංවිධානය ගොඩ නංවනු ලබන්නේ ඒ අනුවය. අපි රට පුරා එහි ශාඛා ගොඩනැංවීමු. මම කළුතර සංවිධානයෙහි කටයුතු වල නිරතවෙමින් මවු සංවිධානය සමගද වැඩ කලෙමි.

පියදාස වැලිකන්න මේ මවුපිය සංවිධානයේ ප්‍රමුඛ නායකයෙක් ලෙස බිහිසුණු වකවානුවක ඉතා වැදගත් මෙහෙයක් ඉටුකලේය. එකල එම සංවිධානය සිසුන්ගේ ජීවිතාරක්ෂාව පිණිස විසල් මෙහෙයක් ඉටු කලේය.

වැලිකන්නගේගේ මේ මැදිහත්වීම මා ඔහු හා සම්බන්ධ කල දෙවන පුරුකයි. ඔහුගේ ඒ කැපවීම සම්බන්ධයෙන් අපේ ගෞරවය සැමදා ඔහුට හිමිය.

චූලානන්ද සමරනායක

Related articles

ඩිල්ශානි චතුරිකා දාබරේගේ – ‘මව්වත් හදවත්’

මිග්‍රේන් කඳු පුපුරලා ඔළුව පුරා වේදනාවෙ කියත් ඒ මේ අතට හැරෙද්දි පැනඩෝල් පෙත්තකට එහා ගිය සහනයක් ගෙනල්ලා දෙන්න...

බානුගේ කතා ආවෙ කොතැනින්ද? – Heart Lamp ගැන නිරීක්ෂණ කිහිපයක්

බානු මුෂ්ටාක් කර්නාටක වැසි, කන්නඩ සුහුරු ලේඛිකාවක්. බානුගේ දෙපා තිබුණේ, භූගෝලීය වශයෙනුත් සාහිත්‍යයික වශයෙනුත් විචිත්‍ර බිමක වුණත් ඇය...

රසිකා, මායාකාර කිවිඳියක්

කවියෙ හි ජීවය ලෙස සලකන්නේ එහි උපයුක්ත බස. කවිය ඍජු ලෙස නැගී සිටින්නාවූ සැකිල්ල වන්නේ එහි ආකෘතිය. නමුත්...

‘ඊස්ට්‍රජන්’ – සුරේඛා සමරසේන

ස්ත්‍රී ආශාව විවිධ අවස්ථාවල, විවිධ පරිසරයන් හා විවිධ සමාජ පංති තුළ වර නැගෙනුයේ එකම ආකාරයට නොවේ. එහෙත් එය...