නිධානයක් කරගන්න හැදූ නිධානයේ කතාව අතේ පත්තු වෙයි – උසාවි නියෝගයක් නොදුන් බව මහෙස්ත්‍රාත් කියයි : ආණ්ඩුවේ සම්බන්ධයක් නැතැයි ඇමැති කියයි !

Share post:

වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ නිධානයක් හෑරීමට අධිකරණයෙන් කිසිදු නියෝගයක් නිකුත් කර නැති බව අත්තනගල්ල මහෙස්ත්‍රාත් මංජුල කරුණාරත්න විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළේය.

මේ ස්ථානයේ කැණීම්වලට අදාළ ව පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් ලබාදුන් වාර්තාවකට අනුව පොළොව අභ්‍යන්තරයේ ඇති ලෝහමය ද්‍රව්‍ය පිළිබඳව විමර්ශනයක් කිරීම සඳහා පමණක් අධිකරණයෙන් නියෝග කළ බව ද අද (26) මහෙස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේදී පැවසීය.

කෙසේ වෙතත් මේ කැණීම් අධිකරණ නියෝග මත සිදු වන බව මාධ්‍ය මගින් වාර්තා කෙරිණි. මේ පිළිබඳව අසත්‍ය ප්‍රචාර සමාජගත වී ඇතැයි ද මෙහිදී මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස ඇමැතිවරයා අද (26) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවසුවේ මේ කැණීම්වලට ආණ්ඩුවේ කිසිදු සම්බන්ධයක් නැති බවයි. එය අධිකරණ නියෝග මත සිදුවූවක් බව ද ඇමැතිවරයා එහිදී සඳහන් කළේය.

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකෙරෙන ආසන්නයේ පිහිටි මේ ස්ථානයේ නිධානයක් ඇතැයි යන ප්‍රචාර නිසා විවිධ පුද්ගලයන් පසුගිය කාලයේ නීතිවිරෝධී ලෙස මෙහි කැණීම් සිදුකර තිබිණි. මේ නීතිවිරෝධී කැණීම් හේතුවෙන් මධ්‍යම අධිවේගී මාර්ගයේ පදම කොටසට හානි සිදුවීමේ අවදානමක් මතුව ඇති බව එහි ඉංජිනේරුවන් විසින් ද වාර්තා කර ඇත. මේ සම්බන්ධයෙන් වේයන්ගොඩ පොලිසිය මගින් අත්තනගල්ල අධිකරණයට කරුණු වාර්තා කළ අතර, එහිදී මහෙස්ත්‍රාත්වරයා විසින් නියෝග කර තිබුණේ එහි නිධානයක් තිබේදැයි සොයාබලන ලෙසයි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය, මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ භූවිද්‍යා හා පතල් කාර්යාංශය යන රජයේ ආයතනවල නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ පසුගිය 21 වැනිදා මේ ස්ථානයේ කැණීම් ආරම්භ කරන ලද අතර, එය දින 03ක් පැවතිණි. එම කැණීම්වලදී කිසිවක් සොයාගැනීමට නොහැකි වීම නිසා ඊට සම්බන්ධ වූ සියලු‍ රාජ්‍ය නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් කැණීම් අවසන් කරන ලදි.
ඒ පිළිබඳ අධිකරණයට දැනුම් දීම අද සිදු විය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මීට පෙර සඳහන් කර තිබුණේ සිය දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණවලට අනුව මේ ප්‍රදේශයේ නිධානයක් තිබිය නොහැකි බවයි. එසේම භූවිද්‍යා හා පතල් කාර්යාංශයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ කැණීම් සඳහා එම කාර්යාංශයෙන් විධිමත් අවසරයක් ද ලබාගෙන නොමැති බවයි.

ආණ්ඩුවේ අවශ්‍යතාව මත මෙහි කැණීම් කටයුතු සිදුකරන බවත්, ආණ්ඩුවේ නිදන් ගැනීමේ උත්සාහය අසාර්ථක වූ බවත් ඇතැම් පාර්ශ්ව විසින් මේ පිළිබඳව පළකළ වාර්තාවල දැක්විණි.

Related articles

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...

ස්ත්‍රී පැවැත්මකින් ‘ශ්‍රාවය වූ කතා’

මේ වසරේ ගොඩගැසුණු පොත් කන්ද ටිකින් කියව ගන්න උත්සහ කරද්දී ඒ පොත් කන්ද බරක් සේ නොව ආස්වාදයක් සේ...

රාජන් හූල් නම් මහා පොත සොයා ගියෙමි

ඇත්තම කියන්නේ නම් මට හිතෙන්නේම මගේ දෛවය විසින් මම යාපන අහසට තියා ඇණ ගසා ඇති වගකි. යාල් පානම්...

කොස්ගොඩ සුජීගේ සහ කරන්දෙනියේ සුද්දාගේ ඝාතන කොන්ත්‍රාත්තුව කළ සැකකරුවන් හිටියේ දේශබන්දුගේ නිවසක – පොලිසිය තවම ප්‍රකාශයක් අරන් නෑ !

පළාත් පාලන මැතිවරණයේදී අම්බලන්ගොඩ නගර සභාව සඳහා සමගි ජන බලවේගය පක්ෂයෙන් කණ්ඩායම් නායක ලෙස ඉදිරිපත් වූ හිරාන් කෝසලට...