නිධානයක් කරගන්න හැදූ නිධානයේ කතාව අතේ පත්තු වෙයි – උසාවි නියෝගයක් නොදුන් බව මහෙස්ත්‍රාත් කියයි : ආණ්ඩුවේ සම්බන්ධයක් නැතැයි ඇමැති කියයි !

Share post:

වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ නිධානයක් හෑරීමට අධිකරණයෙන් කිසිදු නියෝගයක් නිකුත් කර නැති බව අත්තනගල්ල මහෙස්ත්‍රාත් මංජුල කරුණාරත්න විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළේය.

මේ ස්ථානයේ කැණීම්වලට අදාළ ව පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් ලබාදුන් වාර්තාවකට අනුව පොළොව අභ්‍යන්තරයේ ඇති ලෝහමය ද්‍රව්‍ය පිළිබඳව විමර්ශනයක් කිරීම සඳහා පමණක් අධිකරණයෙන් නියෝග කළ බව ද අද (26) මහෙස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේදී පැවසීය.

කෙසේ වෙතත් මේ කැණීම් අධිකරණ නියෝග මත සිදු වන බව මාධ්‍ය මගින් වාර්තා කෙරිණි. මේ පිළිබඳව අසත්‍ය ප්‍රචාර සමාජගත වී ඇතැයි ද මෙහිදී මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස ඇමැතිවරයා අද (26) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවසුවේ මේ කැණීම්වලට ආණ්ඩුවේ කිසිදු සම්බන්ධයක් නැති බවයි. එය අධිකරණ නියෝග මත සිදුවූවක් බව ද ඇමැතිවරයා එහිදී සඳහන් කළේය.

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකෙරෙන ආසන්නයේ පිහිටි මේ ස්ථානයේ නිධානයක් ඇතැයි යන ප්‍රචාර නිසා විවිධ පුද්ගලයන් පසුගිය කාලයේ නීතිවිරෝධී ලෙස මෙහි කැණීම් සිදුකර තිබිණි. මේ නීතිවිරෝධී කැණීම් හේතුවෙන් මධ්‍යම අධිවේගී මාර්ගයේ පදම කොටසට හානි සිදුවීමේ අවදානමක් මතුව ඇති බව එහි ඉංජිනේරුවන් විසින් ද වාර්තා කර ඇත. මේ සම්බන්ධයෙන් වේයන්ගොඩ පොලිසිය මගින් අත්තනගල්ල අධිකරණයට කරුණු වාර්තා කළ අතර, එහිදී මහෙස්ත්‍රාත්වරයා විසින් නියෝග කර තිබුණේ එහි නිධානයක් තිබේදැයි සොයාබලන ලෙසයි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය, මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ භූවිද්‍යා හා පතල් කාර්යාංශය යන රජයේ ආයතනවල නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ පසුගිය 21 වැනිදා මේ ස්ථානයේ කැණීම් ආරම්භ කරන ලද අතර, එය දින 03ක් පැවතිණි. එම කැණීම්වලදී කිසිවක් සොයාගැනීමට නොහැකි වීම නිසා ඊට සම්බන්ධ වූ සියලු‍ රාජ්‍ය නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් කැණීම් අවසන් කරන ලදි.
ඒ පිළිබඳ අධිකරණයට දැනුම් දීම අද සිදු විය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මීට පෙර සඳහන් කර තිබුණේ සිය දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණවලට අනුව මේ ප්‍රදේශයේ නිධානයක් තිබිය නොහැකි බවයි. එසේම භූවිද්‍යා හා පතල් කාර්යාංශයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ කැණීම් සඳහා එම කාර්යාංශයෙන් විධිමත් අවසරයක් ද ලබාගෙන නොමැති බවයි.

ආණ්ඩුවේ අවශ්‍යතාව මත මෙහි කැණීම් කටයුතු සිදුකරන බවත්, ආණ්ඩුවේ නිදන් ගැනීමේ උත්සාහය අසාර්ථක වූ බවත් ඇතැම් පාර්ශ්ව විසින් මේ පිළිබඳව පළකළ වාර්තාවල දැක්විණි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...