පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය හා අවට මාර්ග අවහිර කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද උල්ලංඝනය වන පරිදි උද්ඝෝෂණ පැවැත්වීම වළක්වාලමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙළ ඊයේ (07) තහනම් නියෝගයක් නිකුත් කළේය.
පාර්ලිමේන්තුව අවට උද්ඝෝෂණයක් සිදුකිරීමට සැලසුම් කර ඇති බවත්, අයවැය සම්බන්ධ වාද-විවාද පාර්ලිමේන්තුවේ පැවැත්වෙන මෙවැනි අවස්ථාවක අරගලකරුවන් එසේ ක්‍රියාකළහොත් පාර්ලිමේන්තු කටයුතුවලට බාධා ඇතිවිය හැකි බවත් වැලිකඩ පොලිසිය මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි. වැලිකඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චින්තක අනුරාධ සහ පොලිස් කොස්තාපල් හෂාන් යන නිලධාරීන් දෙදෙනා විසින් අධිකරණයට කරන ලද කරුණු දැක්වීම සම්බන්ධයෙන් සෑහිමකට පත්ව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
අපරාධ නඩු විධාන සංග්‍රහය
වැලිකඩ පොලිස් වසමේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රධාන මාර්ගය, සමනල පාලම අසල සිට පොල්දූව හන්දිය හරහා පාර්ලිමේන්තුව දක්වා වූ මාර්ගය අවහිර කරමින් එය භාවිත කරන මහජනතාවට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පීඩාවක් ඇති වන ලෙස උද්ඝෝෂණයේ යෙදීම වළක්වාලමින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 (1) වගන්තිය ප්‍රකාරව මෙම නියෝගය මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කර ඇත. මෙසේ නියෝග නිකුත් කරනු ලැබූවේ කම්කරු අරගල මධ්‍යස්ථානයේ ලේකම් දුමින්ද නාගමුවට සහ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින්ට ය.
BMICH තහනම
මේ අතර ජාත්‍යන්තර මානව හිමිකම් දිනය යෙදෙන දෙසැම්බර් 10දා කොළඹ, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වීමට නියමිතව තිබූ ‘නිදහස සහ යුක්තිය උදෙසා අරගලය නියතයක්’ සම්මන්ත්‍රණය සඳහා එම ශාලාව ලබාදිය නොහැකි බව එහි සංවිධායකවරුන්ට දැනුම් දී තිබේ. සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් කොටසේ පැවැත්වීමට නියමිතව තිබූ එම සම්මන්ත්‍රණය සංවිධානය කරන්නේ වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන මගිනි.
සංවිධායකයන් විසින් මෙම සම්මන්ත්‍රණය සඳහා මුදල් ගෙවා අදාළ ශාලාව වෙන්කරගෙන තිබුණේ පසුගිය 02දා ය. ඉන්පසු අද (08) BMICH කාර්යාලයෙන් සංවිධායකයන් අමතා පවසා ඇත්තේ අදාළ ශාලාව සඳහා ගෙවන ලද සම්පූර්ණ මුදල නැවත ලබාදෙන බවත්, සම්මන්ත්‍රණය සඳහා ඉඩ දිය නොහැකි බවත් ය.
‘පනතට අනුව බෑ’
මේ සම්බන්ධයෙන් thetime.lk බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ වෙන්කිරීම් අංශයේ ප්‍රධානී (Head of Event and Reservations) දෙවන්ති ඇඹුල්දෙනියගෙන් කළ විමසීමේදී ඇය සඳහන් කළේ සම්මන්ත්‍රණය සඳහා ඉඩ ලබාදිය නොහැකි නිශ්චිත හේතුව සංවිධායකයන්ට දැනුම් දුන් බවයි. BMICH ආරම්භයේ සිට ම, එහි පනතේ සඳහන් කරුණක් වන්නේ සෘජු දේශපාලන අරමුණු සහ දේශපාලන ඉලක්ක සහිත කටයුතු සඳහා එය ලබාදිය නොහැකි බව යනුවෙන් ද සඳහන් කළ ඇය, එම හේතුව නිසා මෙම අවස්ථාවට ඉඩ දිය නොහැකි බව පැවසීය.
එකමුතුවක් ?
මෙම සම්මන්ත්‍රණය සඳහා මුදල් ගෙවා, ශාලාව වෙන්කරගෙන ඇත්තේ නීතිය හා සමාජ භාරය මගින් වුවද, ඊට අදාළ ප්‍රචාරක කටයුතුවලදී භාවිත කරන්නේ වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව යන නම බවත්, මෙම නම් දෙකේ පරස්පරතාව මත මෙම තීරණය ගත බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය. එහිදී thetime.lk විමසුවේ එවැනි එකමුතුවක් තුළ සංවිධාන රැසක් තිබිය හැකි නිසා ඔවුන් සියල්ලන්ගේ නම්වලින් වෙන්කිරීම් කළ යුතුද යනුවෙනි. එහෙත් ආරම්භයේදී එවැනි එකමුතුවක් පිළිබඳ කිසිදු සඳහනක් නොකළ නිසා මෙය ගැටළු සහගත තත්ත්වයක් බව ඊට පිළිතුරු දෙමින් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ වෙන්කිරීම් අංශයේ ප්‍රධානී දෙවන්ති ඇඹුල්දෙනිය සඳහන් කළාය.
අනවශ්‍ය වාද
මීට පෙර එවැනි වෙන්කිරීම් සඳහා අවස්ථාව ලබාදී නොමැති බවට සහතික විය හැකිදැයි විමසීමේදී ඇය සඳහන් කළේ එසේ ප්‍රතික්ෂේප කරන ලද අවස්ථා රැසක් ඇති බවයි. අප දිගින්-දිගටම ඒ පිළිබඳව විමසීමට සූදානම් වීමේදී ඇය සඳහන් කළේ තමන් පනත අනුව කටයුතු කරන බව පමණක් පැවසිය හැකි බවත්, තමන් ද රාජකාරියක් කරන නිසා ඒ පිළිබඳ අනවශ්‍ය ලෙස වාද කිරීමට නොහැකි බවත් ය.
ව්‍යවස්ථාවේ 14 (1)(අ)
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(අ) ව්‍යවස්ථාවේ මෙසේ දක්වා ඇත. සෑම පුරවැසියෙකුට ම භාෂණයේ නිදහසට සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පළකිරීමේ නිදහසට හිමිකම් ඇත්තේය. එනම් ව්‍යවස්ථාවට අනුව එය පුරවැසියන්ට ඇති අයිතියකි.
14(1)(අ) ව්‍යවස්ථාවේ සීමාව
කෙසේ වෙතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15 ව්‍යවස්ථාවේ දක්වා තිබෙන්නේ ව්‍යවස්ථාවෙන් හිමිකර දී ඇති මූලික අයිතිවාසිකම් සීමා කළ හැකි අවස්ථා ය. එහි 15(2)ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස භුක්ති විඳිය හැක්කේ හෝ ක්‍රියාත්මක විය හැක්කේ ආගමික හෝ වාර්ගික සහයෝගිතාව තහවුරු කිරීම සඳහා හෝ පාර්ලිමේන්තු වරප්‍රසාද, අධිකරණයට අපහාස කිරීම, අපහාසය හෝ වරදකට පෙළඹවීම සම්බන්ධයෙන් නීතියෙන් නියම කරනු ලැබූ සීමාවන්ට යටත්ව බව ය.
එසේම 15(7) ව්‍යවස්ථාවේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස භුක්ති විඳිය හැක්කේ රාජ්‍ය ආරක්ෂාව ද, රටේ යථාපැවැත්ම ද තහවුරු කිරීම පිණිසත්, මහජන සෞඛ්‍ය හෝ සදාචාරය ආරක්ෂා කිරීම පිණිසත්, අන්‍යයන්ගේ අයිතිවාසිකම් හා නන්වැදෑරුම් නිදහස නිසි පරිදි පිළිගන්නා බවට සහ ඊට නිසි පරිදි ගරු කරන බවට වග බලාගැනීම පිණිසත්, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පොදු සුබසාධනය සඳහා යුක්ති සහගත අවශ්‍ය දෑ සපුරාලීම පිණිසත් නීතියෙන් නියම කරනු ලැබිය හැකි සීමාකිරීම්වලට යටත්ව බව ද සඳහන් ය.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු
ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස මූලික අයිතිවාසිකමක් ලෙස පිළිගනිමින් නඩු තීන්දු රාශියක් ලබාදී ඇත. ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දු ලබාදීමේදී ව්‍යවස්ථාවේ 14(1)(අ) ව්‍යවස්ථාව පමණක් හුදෙකලා කොට තීන්දු ලබා දී නැත. එම ව්‍යවස්ථාවෙන් සංස්ථාපනය කොට ඇති අයිතිය සලකා බැලිය යුත්තේ 15(2) සහ 15(7) ව්‍යවස්ථාවල සඳහන් තත්ත්වයන් සමග ය.
ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබාදුන් නඩු තීන්දු කිහිපයක භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ගැන මෙසේ දක්වා ඇත.
වනිගසූරිය එදිරිව පීරිස් (SC/FR/199/87)
දැනුම බෙදාදීම ද භාෂණයේ නිදහස තුළට ගැනෙන බව මෙම තීන්දුවේ දක්වා ඇත.
විජේරත්න එදිරිව පෙරේරා (SC/FR/379/93)
රාජ්‍යයේ ක්‍රියාකාරිත්වය විවේචනය කිරීම ද භාෂණයේ නිදහස යටතේ පිළිගත හැකි ක්‍රියාවක් බව මේ තීන්දුවේ දක්වා ඇත. මේ තීන්දුවේ මාර්ක් ප්‍රනාන්දු විනිසුරුවරයා මෙසේ සඳහන් කොට ඇත.
(Those who begin coercive elimination of dissent soon find themselves exterminating dissenters. Compulsary unfication of opinion achieves only the unanimity of grave yard. It seems trite but necessary to say that the first amendment was designed to avoid these ends by avoid these ends by avoiding these beginings.)
දේශප්‍රිය එදිරිව නගරාධිපති, නුවරඑළිය මහ නගර සභාව (1995(1)SLR/362)
මෙම නඩුවට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ මෙසේ දක්වා ඇත.
‘විධායක හෝ පරිපාලන ක්‍රියාවකින් සිදුවන 14(1)(අ) ව්‍යවස්ථාව උල්ලංඝනය වීමකදී එය විවිධාකාරයෙන් සිදුවිය හැකි අතර, සෘජුව හෝ වක්‍රාකාරයෙන් ද සිදුවිය හැකිය. රජය විසින් පාලනය කරනු ලබන ප්‍රවෘත්ති පත්‍රවල රජයට කෙරෙන විවේචනයන් පළනොකිරීම දේශපාලන මතය යන කාරණය මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වගන්තිය උල්ලංඝනය කිරීමක් ලෙස සැලකිය හැකි අතර, රජයෙන් පාලනය නොවන පුවත්පතක් (යුක්තිය) බලහත්කාරයකින් හෝ වෙනත් ආකාරයකින් සැඟවීම හෝ යටපත් කිරීම ද මූලික අයිතිවාසිකම් කඩකිරීමක් වන අතර, එය පෙර සඳහන් දෙවන වර්ගයට අයත් අතර වඩාත් භයානක වරදක් වේ.’
නුවරඑළිය නගරාධිපතිවරයා විසින් යුක්තිය පුවත්පත් 450ක් බෙදාහරින්නට පෙර, පැහැරගෙන යෑමෙන් තම අයිතිවාසිකම් කඩ වූ බවට පැමිණිලි කරමින් එහි කර්තෘ සුනන්ද දේශප්‍රිය විසින් මෙම නඩුව ගොනු කොට තිබූ අතර, ඔහුගේ අයිතිවාසිකම් කඩ කොට ඇතැයි තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය වින්දිතයාට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙස නගරාධිපතිවරයාට නියෝග කළේය.
අමරතුංග එදිරිව සිරිමල් සහ තවත් අය (1993(1)SLR/264) (ජනඝෝෂා නඩුව)
රට පුරා විනාඩි 15ක් විවිධ ශබ්ද ඇති කරමින් එවකට පැවති එජාප රජයට විරෝධතාව ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක් තීරණය කරනු ලැබූ අතර, නඩුවේ පෙත්සම්කරු ඉංගිරියේදී බෙරයක් ගසමින් එසේ විරෝධතාව දක්වන අතරතුර එය නවත්වන්නට දුන් අණ නොතකා බෙරය වැයීම නිසා පොලිස් පහරදීමකට ලක්වූ අතර, බෙරය ද පොලිසිය විනාශ කළේය. පසුව ඔහු පොලිස් අත්අඩංගුවට පත්විය.
මේ පූර්ණ ක්‍රියාවලියට එරෙහිව පැවරූ නඩුවේදී ඒ ආකාරයේ ප්‍රකාශනයක්ද මූලික අයිතිවාසිකම් යටතට ගැනෙන බව තීරණය කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කරුට රුපියල් 100,000ක වන්දියක් ගෙවන්නැයි නියම කළේය. එසේම එම තීන්දුවේ රජයට එරෙහි සටන් පාඨ නීතිය කඩකිරීමක් නොවන බව ද, එය පොලිස් ආඥා පනත යටතේ ගැනෙන වරද නොවන බව ද සඳහන් කෙරිණි.