පරෙවි මිනිසා

Share post:

මම කැමරා බෑගයද කරේ දමාගෙන ලිවර්පූල් නගරය හරහා ඇවිද යමින් සිටියෙමි. අළුතෙන් මිලදී ගත් සෝනි කැමරාවෙන් නගරයේ උනන්දුව දනවන දෙයක් ඡායාරූපගත කිරීම, මගේ අරමුණ විය. එය සීත සෘතුව පෙරමග කියන අඳුරු දිනයක් වුවද, ජැන්ඩියට හැඳි ඇඳුමට උඩින් සීත කබා දමා ගත් ගැහැණු පිරිමි හැල්මේ එහෙට මෙහෙට යමින් නගරයට කාර්ය බහුල පෙනුමක් ගෙන දුන්නේය. නගරයේ තැන් තැනවල තිබූ ගස් වල පත්‍ර සම්පූර්ණ කහ පැහැයට හැරී තිබුන අතර බිම හැළුණු වියැළි පත්‍ර සෙමෙන් මද පවන සමග බැලේ නැටුමක යෙදුනාය. මේ සියල්ල විසින් කළබලයට පත් කරමින් සිටි මගේ ඇස්වලට අසාමාන්‍ය දසුනක හැඟීමක් එකවරම දැනිණි. ඉදිරියට පියවර තබමින් මම පැත්තකට ඔළුව හරවා වට පිට බැලුවෙමි. මගේ ගමන් මගෙන් තරමක එහායින් වූ බංකුවක් මත නගරයේ සුප්‍රකට පරෙවි රංචුව කුඩා කන්දක් මෙන් එකතු වෙමින් සිටින බව සෙනග අතරින් පෙනුනි. මම මොහොතක් නැවතී එදෙස බලා සිටියේ අසාමාන්‍ය බවක් එම දසුන තුල දැනුනු බැවිනි. එහෙට මෙහෙට පියාඹන පරෙවියන් අතරින් වූ හිඩසින්, එකවරම මිනිස් මුහුනක්දැයි හඳුනාගත නොහැකි වූ වයොවෟද්ධ මුහුණක් අතරින් මතුවිය. ඒ පරෙවියන් විසින් වසාගත් මිනිසෙකි. මම බෑගය විවෘතකර කැමරාව අතට ගන්නා අතර ඒ දෙසට ඇවිද ගියෙමි.

නගරයේ ඇතැමුන්ට අනුව ඔහු පිස්සෙකි, යාචකයෙකි හෝ අමුතු මිනිසෙකි. අසල ඇති වෙළඳ සැලේ ආරක්ෂක නිලධාරියාට අනුව ඔහු විකාරරූපී මිනිසෙකි. තවත් සමහරුන්ට ඔහු “පරෙවි මිනිසාය”. එහෙත් ඔහු තමාව හඳුන්වන්නේ “මයිකල් ලෙසය”.

ඔහුටම යාන්තමින් මතක හැටියට මයිකල් නැතහොත් මෙතැන් පටන් පරෙවි මිනිසාට වයස අවුරුදු හැට අටකි. සැතපුම් අටක් පමණ ඊසානට වන්න ඇති කර්ක්බි නම් උප නගරයේ සිට ඔහු දිනපතාම බසයෙන් ලිවර්පූල් නගරයට එන්නේ පරෙවියන් සඳහා පිරුණු කෑම බෑගයක්ද ඔහුගේ සැහැල්ලු සාප්පු ට්‍රොලිය තුල දමා⁣ගෙනය. ඔහු ඒ සඳහා රජයෙන් ලැබෙන වැඩිහිටි සුභ සාධන දීමානාවෙන් කොටසක් වෙන් කරයි. අද ඔහු බසයක නැග නගරයට ඒම සඳහා මර්සි ප්‍රවාහන සේවයෙන් නිකුත් කල වැඩිහිටි නිදහස් ගමන් බලපත්‍රය බාවිතා කලද, වසර විසිදෙකකට එහා මුල්ම වරට පරෙවියන්ට කෑම දැමීම අරඹන විට ඔහුට එම පහසුකම නොතිබිනි. චෙස්ටර් නගරයේ සිටියදී ආරම්භ කල පරෙවි මිත්‍රත්වය සහ පුරුද්ද, පසුව නිව්බ්‍රයිටන් නගරයේද අවසානයේ ලිවර්පූල් නගරය දක්වාද අද ඔහු ගෙනවිත් ඇත. දිනපතාම ඔහු එන තුරු බලා සිටින සැරිසරන පරෙවියන් රෑන නගර මධ්‍යයට ජීවයත් සෞන්දර්යය සමග සාමදායී හැඟීමක් නගර වැසියන්ට ගෙන දුන්නේය.

“අවට මිනිසුන් කියනවා ඔබ ඇවිත් හැමදාම පරෙවියන්ට කෑම දාන බව. ඇයි සර් ඔබ එසේ කරන්නේ ?” නගරයේ දින චර්යාව නිම වී තම නිවස කරා යාමට ලිවර්පූල් නගරයේ බස් නැවතුම් පලේ සිටි “පරෙවි මිනිසා” සමග මම දොඩමළු වීමි. ඔහු මගේ දෙස මොහොතක් බලා සිටියේ ප්‍රශ්ණාර්ථ දනවන මුහුණකින්ය. “මම ඇවිත් කෑම දැම්මෙ නැත්නම් වෙන කවුද කරන්නෙ?” පෙරලා ප්‍රශ්ණයකින්ම පිළිතුරු දෙමින් ඔහු මා සමග දොඩමළු විය. “මේ නගරවල පරෙවියන්ට කෑම හොයා ගන්න අමාරුයි. ඔවුන් මගේ දරුවො වගෙයි. මම නගර මධ්‍යට එන විට දුරදිම මාව අඳුරගෙන ලඟට පියාඹල එනව.”
“පරෙවි මිනිසා” මයිකල් තමන් ගැන කියන්නෙ මෙහෙමයි. “මගෙ අම්මයි තාත්තයි මැරිල ගොඩක් කල්. මට අයියල දෙන්නෙක් ඉන්නව. මම කසාද බැඳල හෝ දරුවොවත් නැහැ තනියෙම ඉන්නෙ. අවුරුදු විසි දෙකකට විතර පෙර චෙස්ටර් නගරයේ ජීවත්වෙන කාලෙ මම තනිකම යන්න නගරයෙ අවිදින්න යනව. ඇවිදන ගමන් පාරෙ තියෙන බංකුවක වාඩිවෙලා මොනව හරි කනව. එවිට අවට ගැවසෙන පරෙවියන් මගේ ළඟට ආව. එවිට මගේ කෑම වලින් කොටසක් මම එයාලට දුන්න. දවස් කීපයක් එහෙම දෙනකොට මම ඒ පැත්තෙන් යනව්ට පරෙවියන් මාව හඳුනගෙන ළඟට එන්න පටන් ගත්ත. ඒ නිසා පසුව මම හැමදාම ඒ බංකුවට ගිහින්, පරෙවියන්ට කෑම දෙන්න පුරුදු වුනා. පසුව චෙස්ටර් වලින් නිව්බ්‍රයිටන් නගරයට පදිංචියට ගියා එහෙදීත් මට කෑම දෙන්න පරෙවි රංචුවක් හමුවුනා. අවසානයේ නගරයට පැමිණි පසු මට මේ පරෙවි රංචුව මුන ගැසුන”.

තරඟකාරී සංකීර්ණ නාගරික ජනජීවිත අතර, කාරුණික හදවතක් සහිත මිනිසෙකුගේ කුඩා ක්‍රියාවක් සම්මත ලෝකය තුල විකාර රූපී ලෙස කෙනෙකුට දැකිය හැකිය. එහෙත්, මයිකල්ගේ ක්‍රියාව ඔහුගේ ආත්මය සමවැදී ඇති යම්කිසි භාවනාවක ගැඹුරක් අපට හඟවයි. එම ක්‍රියාව තුල ඇත්තේ සාමය, කරුණාව සහ ත්‍යාගශීලි බවය.

“අපි මේ ජීවත් වෙන්නෙ පිස්සු ලෝකයක. හැම තැනම යුද්ධ මිනිස්සු එකිනෙකා මරා ගන්නව. ඒත් මම ඒව ගැන හිතන්නෙ නැහැ. මගේ හිතට සැනසීමක් දැනෙනව මේ පරෙවියො වටකරගෙන ඉන්නකොට.” මට පිළිතුරු දීමේදී ලෝකයේ යුධ ගැටුම් ගැන සඳහන් කල මේ පරෙවි මිනිසා, සාමයේ පණිවිඩකරුවන් සහ සංකේත ලෙස සලකනු ලබන පරෙවියන් පෝෂණය කිරීමට වසර විසිදෙකක් ගත කර ඇත. එම වසර දෙක පුරා ලෝකය යුද්ධයන් සඳහා කොතරම් ධනයක් වියදම් කරමින් කී දහසක් මිනිසුන් මරා දමා ඇත්දැයි, ජීවිතයේ අපරභාගය පෙන්වන වැරහැළි ඇඳුම් සහිතව පරෙවි අසූචි හිස මත රැඳි මයිකල් මට නොකියූ කතාවයි ඒ. මයිකල්ගේ මේ ජීවන පුරුද්ද ⁣සමග ඔහු සිතන අයුරු සළකා බලන විට, ඔහු පරෙවියන්ව පෝෂණය කරනවා නොව පරෙවියන් විසින් ඔහුගේ ආත්මය පෝෂණය කර ඇති බව මට සිතේ.

write and photograph / Anuruddha Lokuhapuarachchii

Related articles

පාර්ලිමේන්තු ඉතිහාසයට නව පිටුවක් – කාන්තාවන් 22ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ලෙස දිවුරුම් දෙති !

හෙට (21) ආරම්භ වන දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදී පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩි ම මන්ත්‍රීවරියන් පිරිසක් දිවුරුම් දීමට නියමිත...

ජුලම්පිටියෙ අමරෙගේ මරණ දඬුවම අභියාචනාධිකරණයෙන් ස්ථිර කරයි – මහ මොළකරුවන් නිදොස් කොට නිදහස් ද?

2012 වසරේ හම්බන්තොට කටුවන ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ගීගනගේ ගමගේ...

BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ කළමනාකරණ කුසලතා සංවර්ධන වැඩසටහන දියත් කරයි !

BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ එක් වී පිරිනමන නවතම අධ්‍යාපන වැඩසටහන වන කළමනාකරණ කුසලතා සංවර්ධන...

දුර්ගා යන්නම ගිහින්! Uma Dasgupta (1940-2024)

සත්‍යජිත් රායි අධ්‍යක්ෂණය කළ Pather Panchali චිත්‍රපටයේ අපට හමුවන සුවිශේෂී ස්ත්‍රී චරිතයක් දුර්ගා. දුර්ගා යනු මෙහි ප්‍රධාන චරිතය...