රුක්මල් නිරෝෂ්ගේ ‘අවාලූ පැහැ වලාකුලක්’ සහ ඉලංගෝ රාම් ගේ ‘නෙළුම් කුළුණ’

Share post:

දෙරණ සිනමා සම්මාන උළෙලට සමාන්තරව පැවැත්වුණු Cinema of Tomorrow වැඩසටහන තුල තිරගත කෙරුණු චිත්‍රපට හතරෙන් දෙකක් නැරඹීමේ අවස්ථාව ලැබුණා. ඒ රුක්මල් නිරෝෂ්ගේ ‘අවාලූ පැහැ වලාකුලක්’සහ ඉලංගෝ රාම් ගේ ‘නෙළුම් කුළුණ’. මේ චිත්‍රපටි දෙකම නවක අධ්‍යක්ෂකවරුන් ලෙස ඔවුන් කෙරෙහි මතු බලාපොරොත්තු තබා ගත හැකි හොඳ නිර්මාණ. (මෙයින් අදහස් කෙරෙන්නේ නැහැ. අනිත් නිර්මාණ දෙක නරකයි කියා. ඒවා බලන්නට හම්බවුණේ නැහැ.)

රුක්මාල් ගේ චිත්‍රපටය ‘මිනී මැරුමක්’ ගැන කියැවෙන ට්‍රැජික් කතාවක්. ඉලංගෝ ගේ චිත්‍රපටිය ‘මරණයක්’ ගැන කියැවෙන කොමඩියක්. චිත්‍රපටි දෙක වෙනස් ශානර යටතේ නිමවුනු චිත්‍රපටි දෙකක් නිසා එකක් අනිකට එරෙහිව සන්සන්දනාත්මක ඇගයීමක් කිරීම යෝග්‍ය නොවෙයි. එම චිත්‍රපට ඇගයිය යුත්තේ එම චිත්‍රපටවලම ප්‍රශස්ත මට්ටම සලකා බලායි.

ඒ උනාට මේ චිත්‍රපටි කරුවන් දෙදෙනාම මට පුද්ගලිකව වැදගත් වෙනවා. රුක්මල් කියන්නේ මාත් එක්කම හැදුණු වැඩුණු කෙනෙක් බව කවුරුත් දන්නවා. ඒ නිසා මං එයා ගැන වැඩිය කියන්නේ නැහැ.

ඒත් ඉලංගෝ ගේ ඉතිහාසය ගැන කවුරුත් වැඩිය දන්නේ නැහැ. ඔහු ඇමෙරිකාවේ සිනමා අධ්‍යාපනය නිම කරලා ලංකාවට ඇවිත් ප්‍රායෝගික අත්දැකීම් ලබන්නට මා හමුවන්නට ආවා. එතකොට අපි අක්ෂරය රූපගත කරන්න ලෑස්ති වෙනවා. ඒ 2004 අවුරුද්දේ අග. අපේ අවසරය ඇතිව ඔහු දිගටම Shooting බලන්නට ආවා. එදා ඉඳන් 2024 Cinema of Tomorrow එකේ නෙළුම් කුළුණ පෙන්නනකම්, අවුරුදු විස්සක් කාලය ගතවෙලා. මේ ගතවුණු කාලය පුරාම ඔහු අත්දැකීම් එකතු කරගත් බවක් පෙනෙනවා. ලංකාවේ අංක එකේ TV කොමර්ෂල් නිර්මාණකරුවෙක් , ඉලංගෝ.

කොමඩි ශානරයේ චිත්‍රපටියක් කරන්නේ කොහොමද කියන නිලය ඔහුට හරියටම අහුවෙලා. කොමඩි නළු නිළියන් වෙනුවට සීරියස් චරිතාංග නළු නිළියන් එකතු කරගෙන (රඟපාන අය හිනා නොවී) ඕඩියන්ස් එක හිනා ගස්සනවා. ට්‍රැජික් අත්දැකීමක් කොමඩි එකක් බවට රූපාන්තරණය කරගන්නවා. ලංකාවේ කොමඩි ශානරයේ චිත්‍රපටි වලට වෙනස් ප්‍රමිතියක් ගෙනෙනවා.

ස්වාභාවික මරණයක් ගැන කියවෙන ඉලංගෝ ගේ චිත්‍රපටයේ කතා වස්තුවෙන් ‍ ඛේදාන්ත (tragedy )චිත්‍රපටියක් කරන්නත්, අහම්බ මිනීමරුමක් මත පදනම් වුණු රුක්මල් ගේ චිත්‍රපට කතා වස්තුවෙන් කොමඩියක් ( comedy) කරන්නත් ඕන නම් පුළුවන්.
ලඟදීම මේ චිත්‍රපටි දෙකම තිරගත වේවි. අනිවාර්යයෙන් නැරඹිය යුතු චිත්‍රපටි දෙකක්.

අසෝක හඳගම

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...