ලාංකීය දේශපාලන ඉතිහාසයේ මෑත භාගය වෙසෙසින්ම හැත්තෑ හතෙන් පසු කාලය යනු රටෙහි එතෙක් පැවති අර්ථක්‍රමය මුළුමනින්ම වෙනස් මගකට යොමු කල විපරිවර්තනයක පිලිකුල් සහගත සාක්ෂියකි. රටෙහි ධනවාදය ස්ථාපිත කිරීම සහ රට සංවර්ධනයේ මගට යොමු කිරීම පිලිබඳව ඇතැමුන්ගේ පැසසුමට ලක්වන ජේ අර් විසින් එතෙක් පැවති සංවෘත ආර් ථිකය විවෘත කිරීමත් සමග ක්ෂණිකව ඇතිවු පිබිදීම අවසන් වූවේ රටේ පාදඩ දේශපාලන පද්ධතියක් ලෙහෙසියෙන් ආපසු හැරවිය නොහැකි අයුරින් ස්ථාපිත වීමය. තමන් විසින් දියුණු දේශපාලන සම්ප්‍රදායක් හඳුන්වා දෙන්නේ යයි පාරම් බාමින් ඇතුලත්මුදලි, ගාමිණී රනිල් වැනි සිය හිතෛෂිවන්තයන් අනුප්‍රාප්තික භූමිකාවට ගෙන ඒමට සැරසුන ජේ ආර් සිය දේශපාලන ගමන සැබැවින්ම ගෙන ගියේ ලොකුගේ වැනි දේශපාලකයන් ගේ දෑත් ශක්තිමත් කිරීම මගිනි. එදිරිවීර සරත්චන්ද්‍ර වැනි බුද්ධිමතුන්ට පහර දීම විනිසුරන්ගේ නිල නිවෙස් ඉදිරිපිට හූ කීම, ක්‍රිස්ටෝපර් වැනි මැරයන්ගේ අවමගුල් වලට සහභාගිවීම වැනි සැබෑ භාවිතාව හරහා ජේආර් විසින් සහ ඉන්පසුව ප්‍රේමදාස විසින් එය ඉදිරියට ගෙන යාම තුළින් බිහි කරන ලද මජර ක්‍රමයේ අපුල තවදුරටත් තහවුරු කරමින් සිටිනුයේ මෑත කාලය තුළ දියුණු දේශපාලකයකු ලෙසින් අභිසෙස් ගන්වන ලද රනිල් වික්‍රමසිංහ විසින්ම වීම උත්ප්‍රාසජනකය.
එක් අතෙකින් රටෙහි එතෙක් පැවති ග්‍රාමීය ආර්ථිකය බිඳ දැමීමත් ඒ වෙනුවට ඇඟලුම් කම්හල් වැනි නූතන වෙළඳපල මත පදනම් වූ ශ්‍රම සූරා කෑමේ මධ්‍යස්ථාන බිහි කිරීමත් වඩා තරගකාරී සේවයක් උදෙසා යයි කියමින් හඳුන්වාදුන් පුද්ගලිකකරණය පැවති සේවාවන්ද බිඳ දමන සාධකයක් බවට පත්වීමත් ඒ සියල්ල අතරේ තම හෙංචයියන් විසල් ධනපතියන් බවට පත් කිරීමත් අතින් බලන විට ජේ ආර් ගේ සංවර්ධනය අප ගෙනගොස් ඇත්තේ බරපතල අඝාධයකට බව පැහැදිලි වෙමින් පවතී. එහි එක් සාක්ෂියක් වනුයේ චොප්පේ වැනි නම් වලින් හඳුන්වන ලද මැරයන් වෙනුවට සංවිධානගත මාෆියාවන් ස්ථාපිත වීමයි. මේ විකෘත පද්ධතිය යනු පත්ලක් නොමැති අගාධයක් බව පෙන්වමින් එය තවත් ඉදිරියට ගෙන යාම පිලිබඳව මෙතෙක් අප පාලනය කළ සියළු විධායක ජනපතිවරුන් සහ වරියන්ගේ පාලනයන් අප හමුවේ තිබේ. එහිදී එය අන්තයටම ගෙන යාම පිලිබඳව රාජපක්ෂ පාලන සමයන් වෙසෙසින්ම වගකිව යුතුව තිබේ.
කසුන් සිය බොහෝ කෙටිකතාවන්ට විෂය කරගන්නා කාල පරාසය අයත්වනුයේ ජේ ආර් ගේ ඊනියා සංවර්ධනයේ පළමු දෙවන සහ තෙවන දශකයන්ටය. එක් පසෙක උතුරේ අරගලයත් අනෙක් පසින් දකුණේ අරගලයත්, මරණය සහ භිෂණය සාමාන්‍යකරනය වීමත් ඒ සියල්ල අතරේ නාගරික, අර්ධනාගරික මෙන්ම සීග්‍රෙයන් වෙනස් වෙමින් පැවති ග්‍රාමීය සමාජයත් කසුන්ගේ නිර්මාණ උල්පත් පාදන කලාපය බවට පත්වෙයි. එහිදීද දක්නට ලැබෙනා විශේෂත්වය වනුයේ ඔහු ඒ සමාජයන්හී පීඩිතයන් කෙරේ දක්වන සැලකිල්ලයි. ඔහුගේ බොහෝ කතාවන්හී කේන්ද්‍රීය චරිත වනුයේ ඔවුන්ය.
කසුන් ගේ කෙටිකතාවන්හී සාර්ථකත්වයට ඔහු විසින් භාවිතා කරනා භාෂා උලක්‍රමයන් බෙහෙවින් ඉවහල් වෙයි. විශේෂයෙන්ම දෙබස් රචනයේදී ඔහු චරිතවල සැබෑ ස්වරූපය මෙන්ම ඒවායේ සංකීර්ණත්වය මෙන්ම ගැඹුරද පාඨකයා හට දැනී යන ආකාරය දෙබස් හසුරුවන්නට සමත් වෙයි. සමාජයේ පවත්නා ආකල්ප, සීමාවන්, සම්ප්‍රදායන් බිඳුවකට නොතකන හේ ඉතා සෘජු ලෙස සිය භාෂා භාවිතය හරහා චරිතය තියුණු ලෙස මතු කරගන්නට වෑයම් කරයි. කසුන්ගේ කෙටිකතාවන්හී සාර්ථකත්වයට මේ උත්සාහය බෙහෙවින් ඉවහල් වෙයි.
රථගාය යනු අප ඉහත කිවු සමාජ විපරිණාමයේ ගොදුරු බවට පත් මිනිසුන්ගේ බුන්වත්වූ ආත්මයන්ගේ දෝංකාරය අපූරුවට ප්‍රතිනිර්මාණය කිරීමකි. අද අප වසනුයේ කසුන්ගේ කෙටිකතාවේ එන චරිතයන්ට අඩුවැඩි වශයෙන් පණ දෙමිනි. කෙසේවත් ගැලවිය නොහැකි හඹායාමකට ගොදුරුව සිටිනා සමාජය වරෙක තාවකාලික ජයක් ලබමින් ඒ සමගම ඊටත් වඩා දරුණු පරාජයන් වැලක් ලබමින් එහෙත් නොනැවතී තරගයෙහිම ගිලී පවතී. කසුන්මේ කෙටිකතාව හරහා මවන සිත්තම පාඨකයාට දැනෙනුයේ තමන්ද අයත් ජීවන අත්දැකීමක් විභාග කිරීමක් ලෙසිනි.
පොලවෙන් මතුවන (මිණිකැට) ඇට කටු යනුවෙන් රචිත කෙටිකතාවද කසුන්ගේ කෙටිකතා අතර කැපී පෙනෙන නිර්මාණයකි. චෙකෝෆ්ගේ හයේ වාට්ටුව සිහි කරවන එය ඊට බෙහෙවින් වෙනස් එහෙත් මානසික රෝහලක අත්දැකීමක් හරහා වර් තමාන අසංවේදී සමාජයට සියුම් කම්පනයක් දනවන්නට තැත් දරයි. කසුන්ගේ කෙටි කතා අතර සෑම අතින්ම පරිපූර්ණ නිර්මාණ කිහිපයෙන් එකක් සේ එය කැපී පෙනෙන බව කිව යුතුය.
ඔහුගේ කෙටිකතා සමුච්ඡයට නම සදනා සීනි මුරුක්කු කතාවද එලෙසින්ම පාඨකයා තිගස්සවන කතාවකි. එය මෑත දශක කිහිපයක අප ආ වේගවත් ගමනේ ශේෂ පත්‍රයක් වැනිය. එසේම එය පිය දරු සෙනෙහස, දරුවන්ගේ ලෝකය උදෙසා මව්පියන් තුළ වන ස්වප්නයන් සහ එහි බිඳවැටීමෙහි ක්ෂිතිමය අත්දැකීම වැඩිහිටියන්ට බලපාන ආකාරය සමගින් ස්ත්‍රී පුරුෂ ස්නේහයේ අසිරිමත්බවද අපට ගෙන එයි. පහේ ශිෂ්‍යත්වයෙන් ඇරඹී ඉදිරියට තල්ලු වන විෂම පද්ධතියක ගොදුරු බවට පත් පරම්පරා දෙකක් විමසුමට ලක්වන එය කලු සුදු සිතුවමක් වෙනුවට වඩා බුද්ධිමත් එළඹුමකට මග සලසයි. මේ කතාවෙහි එන පියා තම දරුවන්ට තබන ලද නම් පසුපස ඇති කතාව කියවාගෙන යන විට ඉන් ව්‍යංගයෙන් ඇඟවෙන මානව ඛේදවාචකය නූතන යයි සැලකෙන සමාජයෙහි මධ්‍යම පංතික ජීවිතවල බිඳ වැටීම මැනවින් මතුකරගන්නට පාඨකයාට හැකියාව ලැබෙයි.
යථාර් තවාදයත් අධියථාර් තවාදයත් අතර දෝලනය වෙමින් රචිත කසුන්ගේ කෙටිකතාවන් අතරේ මුකුණුවැන්න නමින් රචිත කෙටිකතාවද විමසුමට ලක්විය යුත්තකි. එහිදී ඔහු ගර් හිත ජීවිත සියුම් ලෙස ප්‍රතිනිර් මාණය කරන්නේ සිය වියමන මගින් සමාජයේ පත්ලෙහි සැඟවුන ජීවිතවල වැසී ඇති නැතිනම් බැහැර සමාජයේ කටකතා, විවිධ මාධ්‍ය ඇතුළු පාර්ශව විසින් මවන ලද ලෝකයෙහි සිත්තම බිඳ දමයි. මේ කෙටිකතාව කසුන්ගේ කෙටිකතා අතර මනුෂ්‍යත්වයේ ඉසියුම් නිල අල්ලන, විටෙක තියුණු තිගැස්මක් දනවන කෙටිකතාවකි.
කසුන් සිය කෙටිකතා මගින් තමන් තුළ දක්ෂ නිර් මාණකරුවකු සිටින බව මොනවට කියාපායි. එහෙත් ලිවීම පිණිස තමන් තුළ වන අනුරාගික තෙරපුමට යටවන ඔහු ඒ තුළින් තමන්ගේ වියමන් ඇතැම් තැනකදී දුර්වල කරන්නටද මග පාදා ගනියි. මෙහිදී විශේෂයෙන්ම දැක්විය යුත්තේ ඔහු ලේඛකයා ලෙස ඇතැම් අවස්ථාවන්හිදී කරනා අනවශ්‍ය මැදිහත්වීමය. පාඨක පරිකල්පනට කෙරේ විශ්වාසය නොතබන ලේඛකයකු මෙන් ඔහු ඇතැම් කතාවකදී පාඨකයාහට සිය කතාවේ ගොඩනැංවීම හරහා තියුණු එළඹුම් වලට ඇති ඉඩ අහුරමින් අනවශ ලෙස විස්තර කථනයන්ට සහ කරුණු පැහැදිලි කිරීම්වලට යොමු වෙයි. මේ කසුන්ගේ කෙටිකතාවන්හී ඔහු විසින් ජයගනු ලැබිය යුතු අභියෝගයක් සේ මා දුටු දෙයකි.
කෙසේ වෙතත් සමස්තයක් වශයෙන් ගත් කළ සීනි මුරුක්කු අද කෙටිකතාවෙහි කසුන්ගේ පිවිසුම නොතකා හැරිය නොහැකි බවට සාක්ෂි සපයනා වියමන්හී එකතුවකි. සීනි මුරුක්කු කී පමණින් කටට දැනෙනා මිහිර වෙනුවට හදවතට තදින් දැනෙනා වේදනාවක්ද සමගින් මනුෂ්‍යත්වයේ විවිධ ඉසවු පිරික්සන්නට පාඨකයාහට ඇරයුම් කරනා මේ කතා එකතුව අවධානයට ලක් විය යුතුව තිබේ.