ඇමෙරිකාව සහ ශ්‍රී ලංකාව

Share post:

මේ ගෙවී යන්නේ ඇමෙරිකානු ජනාධිපතිවරණයේ මූලික කාලසීමාවයි.
ඇමෙරිකානු ජනාධිපතිවරණය සහ එරට දේශපාලනය මා බොහෝ ප්‍රිය කරන, එමෙන්ම සීරුවෙන් අධ්‍යයනය කරනා විෂයක්.
ඇමරිකානු ජනාධිපතිවරණය ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයක් හෝ මූලික මැතිවරණයකට වඩා බොහෝ වෙනස්.
ඇමෙරිකානු ජනාධිපතිවරණය, මෙරට මැතිවරණයකට වඩා උද්වේගකරයි, විචිත්‍රයි.
එයට ප්‍රධාන හේතුවක් තිබෙනවා.
ඇමෙරිකානුවන් මූලික වශයෙන් දේශපාලනිකව සක්‍රීය, දේශපාලනික ජීවින් නොවෙයි.
ඔවුන්ගේ සාමාන්‍ය ජීවිතයේ, රැකියා ස්ථානයේ, ප්‍රිය සාද වල දේශපාලනය මාතෘකාවක් නොවෙයි.
සාමාන්‍ය ජීවිතයේ දී ඔවුන්ගේ මාතෘකා වන්නේ සිය පාපන්දු, බේස්බෝල් හෝ බාස්කට්බෝල් කණ්ඩායම් ගැනයි.
එසේත් නොමැතිනම් වෙනත් පුද්ගලික හෝ විනෝදාස්වාදය සම්බන්ධ මාතෘකා.
නමුත් මැතිවරණ කාලසීමාවේ දි ඔවුන් දේශපාලනිකව සක්‍රීය වෙනවා.
ශ්‍රී ලංකාවේ තත්ත්වය තරමක් වෙනස්.
ශ්‍රී ලාංකිකයන් අතිශය සක්‍රීය දේශපාලනික ජීවින්. ඔවුන්ගේ සාමාන්‍ය ජීවිතයේ දේශපාලනය අනිවාර්ය මාතෘකාවක්.
සෑම ප්‍රිය සාදයකදීම, හමුවකදීම, අවමගුල් හෝ මංගල උත්වසවයක පවා දේශපාලනය ප්‍රධාන මාතෘකාවක්.
ඔවුන් නරඹන යූටියුබ් වැඩසටහන්, රූපවාහිනි වැඩසටහන් සහ ෆේස්බුක් පළකිරීම් පවා දේශපාලනිකයි.
මැතිවරණ කාලසීමාවක දී එහි අමුතු හෝ විශේෂ නැග්මක් දැකගත නොහැක්කේ එම නිසයි.
දෙවැන්න ඇමරිකානු ජනාධිපතිවරණයක අනිවාර්ය විවාදයි.
අපේක්ෂකයන් අතර විවාදය එරට ජනාධිපතිවරණ සංස්කෘතියේ ජනප්‍රිය සහ අනිවාර්ය අංගයක්.
ශ්‍රී ලංකාවේ විවිධ මාධ්‍ය මැදිහත් වීමෙන්, විවිධ සංවාද පැවැත්වූවත් එවැනි නිල සහ ජනප්‍රිය විවාදයක් පැවැත්වෙන්නේ නැහැ.
ප්‍රධාන අපේක්ෂකයන්ගේ විවාදය බොහෝ විනෝදජනකයි.
එහි තර්ක සහ ප්‍රතිපත්තිමය කරුණු වලට වඩා පවතින්නේ පුද්ගලික උපහාස සහ විවේචන බව සත්‍යයක්.
නමුත් සැලකිය යුතු පිරිසක් සිය ඡන්දය භාවිතා කිරීමට මේ විවාදය සලකා බලනවා.
මෙවර ජනාධිපතිවරණයේ පැවැති සියලූම විවාද ජයගත්තේ රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්.
ඒ අනුව ඔහු ජනාධිපතිවරණ ජයග්‍රහණයට සමීපව සිටින අපේක්ෂකයා බව කිවහැකියි.
තෙවැන්න ඇමෙරිකානු මැතිවරණයේ නීති සහ රෙගුලාසි බොහෝ ලිහිල්.
එහි ප්‍රචාරණය දැඩිව පාලනය කෙරෙන්නේ නැහැ. එරට මැතිවරණය පාලනය කිරීමට ප්‍රබල ඒකකයක් නැහැ.
විවිධ ප්‍රාන්ත වල පවතින්නේ විවිධ නීතියි.
ශ්‍රී ලංකා මැතිවරණයකදී මැතිවරණ කොමිසම විසින් එය තදබල ලෙස පාලනය කරන අයුරු දැකගත හැකියි.
ශ්‍රී ලංකාවේ මැතිවරණ කාලසීමාවක ප්‍රචාරණය, මුදල් වැය කිරීම පාලනය කෙරෙනවා.
ඇමෙරිකානු ජනාධිපතිවරණයට වැය කළ හැකි මුදල් සාධකය දැඩිව බලපාන්නේ නැහැ.
අපේක්ෂකයෙකුට සිය පුද්ගලික මුදල්, අනුග්‍රාහකයන්ගේ මුදල් සහ ආධාරකරුවන්ගෙන් මුදල් එක්කළ හැකියි.
ව්‍යවස්ථාවෙන්ම ධනවාදී රටක් වන ඇමෙරිකානු ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු වැය කරන මුදල වැඩි වීම සැලකෙන්නේ ජයග්‍රහණයක් ලෙසයි.
එමගින් අපේක්ෂකයාගේ නායකත්වය, පෞරුෂය සහ වැය කිරීමේ හැකියාව පිළිබඳ ධනාත්මක චිත්‍රයක් මැවෙනවා.
මෙවර ජනාධිපතිවරණයේ වැඩිම මුදල් වැය කළේ තමන් බවට ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාම කියා සිටීම ඊට උදාහරණයක්.
‘මුදල්’ සාධකය පිළිබඳ සාමාන්‍ය සමාජයේ සමාජවාදී කියවීමක් සහිත ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයක ක්‍රියාත්මක වන්නේ එයට හාත්පසින්ම වෙනස් අදහසක්.
ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයක හෝ වෙනත් මැතිවරණයක වැඩියෙන් මුදල් වැය කිරීම ‘සෘණාත්මක’ ලෙස සමාජය පිළිගන්නවා.
සිව්වැන්න ඡන්දය ප්‍රකාශ කිරීමට ඇති නිදහසයි.
ශ්‍රී ලංකාවේ මැතිවරණයක ඡන්දය ප්‍රකාශ කිරීමට නම් නිල වලංගු හැඳුනුම්පතක් අනිවාර්යයි.
ඔබ විශ්වාස කරන්න.
ඡන්දය ප්‍රකාශ කිරීමට කිසිඳු හැඳුනුම්පතක් අවශ්‍ය නොවන ප්‍රාන්ත ඇමෙරිකාවේ තිබෙනවා.
ඡන්දය භාවිතා කිරීමට රජයෙන් නිකුත් කළ වලංගු ඡායාරූපයක් සහිත නිල හැඳුනුමපතක් අවශ්‍ය වන්නේ ප්‍රාන්ත කිහිපයක පමණයි.
තවත් ප්‍රාන්ත කිහිපයක ඡායාරූපයක් නොමැති හැඳුනුම්පතකින් ඡන්දය ප්‍රකාශ කළ හැකියි.
ඉහත කී ලෙසම ඉතිරි ප්‍රාන්ත වල ඡන්දය භාවිතා කිරීමට කිසිඳු හැඳුනුම්පතක් අවශ්‍ය නැහැ.
එය මෙවර ජනාධිපතිවරණයේ ප්‍රධාන මාතෘකාවක් ද වුණා.
උප ජනාධිපතිනි කමලා හැරිස් සිය අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කර තිබෙන වත්මන් රජය සහ ඩිමොක්‍රටික් පක්ෂය විසින් සටන් කළේ හැඳුනුම්පතක් නොමැතිව ඡන්දය ලබා දීමේ අයිතිය වෙනුවෙන්.
හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කර ඇති රිපබ්ලිකන් පක්ෂය තර්ක කළේ ඡන්දය භාවිතා කිරීමට වලංගු, නිල හැඳුනුම්පතක් අනිවාර්ය කරන ලෙසටයි.
මේ ඔස්සේ ඇමෙරිකානු පුරවැසියන් නොවන පිරිස් වලට ද ඡන්දය භාවිතා කළ හැකි යැයි ඔවුන් තර්ක කළා.
ජනාධිපතිවරණයට පෙර පාලක ඩිමොක්‍රටික් පක්ෂය විසින් ඇමෙරිකානු දේශසීමා විවෘත කරමින්, මෙක්සිකානු සහ දකුණු ඇමෙරිකානු සරණාගතයන් විශාල පිරිසකට රටට පැමිණීමට ඉඩ දීමද ඔවුන්ගේ විවේචනයට ලක් වුණා.
කෙසේ වෙතත් ජනාධිපතිවරණයට පෙර ඩිමොක්‍රටික් පක්ෂය විසින් පාලනය කරන කැලිෆෝර්නියා ප්‍රාන්තය ඡන්දය භාවිතා කිරීමට හැඳුනුම්පතක් අවශ්‍ය නොවන ලෙසට නීති වෙනස් කළා.
ඊයේ මූලික ඡන්ද විමසීමේ දී ඇමෙරිකානු පුරවැසියෙකු නොවන චීන ජාතික සිසුවෙකු ඡන්දය භාවිතා කිරීමේ දි රිපබ්ලිකන් පාක්ෂිකයන් පිරිසක් ඔහුගේ අන්‍යයතාවය පරීක්ෂා කොට තිබුණා.
එහිදී ඔහු චීන ජාතිකයෙකු බව හඳුනාගෙන තිබූ අතර, එම නිසා ඔහු අත්අඩංගුවට පත්ව තිබුණා.
කෙසේ වෙතත් ඒ වන විටත් ඔහු ඡන්දය භාවිතා කර අවසන් නිසා ඔහුගේ ඡන්දය ද අවසන් ප්‍රතිඵලයේදී ගණනය කෙරෙනු ඇත.
ශ්‍රී ලංකාවේ එවැන්නක් සිදුවිමට ඇති ඉඩ අවම වීම ධනාත්මක සාධකයක්.
ඡන්දය භාවිතා කිරීම සඳහා නිල හැදුනුම්පත් අනිවාර්ය කිරීම ගැන ඩිමොක්‍රටික් අපේක්ෂිකාව සහ උප ජනාධිපතිනි කමලා හැරිස් මින්පෙර ප්‍රකාශ කළේ, ග්‍රාමීය ඇමෙරිකානු ප්‍රදේශ වල ඡායා පිටපත් ලබා ගැනීමට අවශ්‍ය යන්ත්‍ර හෝ තාක්ෂණය නොමැති විය හැකි බැවින් ජනාධිපතිවරණය සඳහා ඡන්දය භාවිතා කිරීමට හැදුනුම්පත් අනිවාර්ය නොවීම වැදගත් බවයි.
ඡායා පිටපත් යන්ත්‍රයක් නොමැති ගම්මානයක් පැවතීමට ශ්‍රී ලංකාවේ නම් ඇත්තේ අඩු ඉඩක්.
එමෙන්ම ඇමෙරිකානු ජනාධිපතිවරණයේ දී ඡන්දය සලකුණු කිරීමට භාවිතා වන්නේ යන්ත්‍රයි. අසල්වැසි ඉන්දියාවේ දී භාවිතා කෙරෙන්නේත් මෙවැනි යන්ත්‍රමයි.
එම නිසා ඡන්දය ගණනය කිරීම පහසු වීම සහ ගණනය කිරීමේ දී ඡන්ද අවභාවිතා කිරීමේ ඉඩ ඇහිරෙනු ඇති.
මෙරට ඡන්දය ගණන් කිරීමේ දී ගණන් කිරීමේ නිළධාරීන් විසින් සිදු කරන අක්‍රමිකතා පිළිබඳ පුවත් බොහෝයි.
එමෙන්ම මෙවර ජනාධිපතිවරණය මාධ්‍ය සහ නිදහස් මාධ්‍ය අතර සටනක් වුණා.
මෙරට බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ ඇමෙරිකානු මාධ්‍ය ස්වාධීන සහ අපක්ෂපාතී බවයි.
එවැනි අදහස් ලියැවුණු සටහන්ද මා මින් පෙර දැක තිබෙනවා.
නමුත් ඇමෙරිකානු මාධ්‍ය තරම් පක්ෂපාතී මාධ්‍ය ලොව වෙනත් කිසිඳු කලාපයක තිබිය නොහැකියි.
දේශපාලනයේ දී ඔවුන් මූලික ආචාර ධර්ම හෝ සීමා නඩත්තු කරන්නේ නැහැ.
ඇමෙරිකානු විශාල මාධ්‍ය, පුවත්පත් සියල්ල මෙවර ජනාධිපතිවරණයේ තෝරා ගත්තේ කමලා හැරිස්.
ඔවුන් කමලා පිළිබඳ ධනාත්මක දෑ ත්, ට්‍රම්ප් පිළිබඳව එළිපිටම සෘණාත්මක දෑ ත් වාර්තා කළා.
එමෙන්ම සමාජජාලා සහ ගූගල් වැනි තාක්ෂණික සමාගම් ද අනියමෙන් එයට සහය දුන්නා.
එයට හේතුව මේ විශාල සමාගම් මගින් ගෙනයන න්‍යාය පත්‍රයේ අපේක්ෂකයා කමලා හැරිස් වීමයි.
මෙවර ජනාධිපතිවරණයට පෙර විශාල සමාගම් (Big corporations) විසින් ගෙන යන වාමවාදී, රැඩිකල් මතය සහ ධනවාදී, සාම්ප්‍රදායික ඇමෙරිකානු ජාතිකවත්වය ලෙස කඳවුරු දෙකක් බෙදී තිබුණා.
ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් වන්නේ රැඩිකල් වාමවාදයට හාත්පසින්ම විරුද්ධ ධනවාදී, සාම්ප්‍රදායික (Concervative) අදහස් සමගයි.
කෙසේ වෙතත් ට්‍රම්ප් වාසනාවන්ත වූ එක් තැනක් තිබුණා.
එනම් ඩොලර් බිලියන පනහක් වැනි අධික මුදලකට ඊලෝන් මස්ක් ට්විටර් වෙබ් අඩවිය මිලට ගෙන තිබීමයි.
සියලු ප්‍රධාන මාධ්‍ය සහ තාක්ෂණික මාධ්‍ය ඉදිරිපත් කළ නායපත්‍රය බිඳුනේ මෙතනින්.
මින් පෙර ප්‍රධාන සමාජ මාධ්‍ය වලින් ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ගිණුම් අහෝසි කර ඔහු අක්‍රීය කර තිබුණා.
එමෙන්ම දක්ෂිණාංශික, ජාතිකවාදී අදහස් මර්ධනය කෙරුණා.
ඊලෝන් ට්විටර් අඩවියේ වෙනස් කළේ එහි නම පමණක් නොවෙයි. ඔහු එහි ප්‍රවේශය සම්පූර්ණයෙන්ම වෙනස් කළා.
ඔහු ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ හිතවතුන්ගේ ගිණුම් යළි සක්‍රීය කළා.
දක්ෂිණාංශික කඳවුරේ අදහස් වලට ට්විටර් හි ඉඩ ලබා දුන්නා. එම කඳවුරේ ප්‍රධාන බලපෑම් කණ්ඩායම් හි ගිණුම් යළි සක්‍රීය කළා.
එතෙක් එම කඳවුරේ අදහස් අසත්‍ය යැයි සමාජ ගත කළ ‘ෆැක්ට් චෙක්’ සමාගම් ට්විටර් වෙතින් ඉවත් කළා.
ට්විටර් එසේ වූවත් ෆේස්බුක්, ගූගල් සහ සියලූම සමාජ සහ ඩිජිටල් නව මාධ්‍ය ද සිටියේ ට්‍රම්ප් ට විරුද්ධ තැනක.
ප්‍රධාන ධාරාව ට්විටර් හි ප්‍රධාන ආදායම් මාර්ගය වූ, එහි වෙළඳ දැන්වීම් පළ නොකර සිටීමෙන් ඊලෝන් නැවතීමට උත්සාහ කළා.
මන් හිතන්නේ එය ලොව ධනවත්ම මිනිසා සමග සිදු කිරීමට වටිනා සෙල්ලමක් නොවෙයි.
ඊලෝන් ප්‍රසිද්ධ වේදිකාවේ දී සිය වෙබ් අඩවියේ දැන්වීම් පළ නොකරන ලෙසටත්, තමන් මුදල් සාධකය මත ට්විටර් හි ප්‍රවේශය වෙනස් නොකරන බවටත් ඔවුන්ට ප්‍රකාශ කළා.
ඇමරිකානු ජනාධිපතිවරණ සිතියම වෙනස් වීමට ප්‍රබල ලෙස හේතු වූයේ ඊලෝන් මස්ක් ගේ එම මැදිහත්වීමයි.
එක් අන්තයකින් ට්විටර් හුදකලා වෙද්දි, සෙසු සියලූම ප්‍රධාන සහ සමාජ මාධ්‍ය එක් තැනක හිටියා.
අද වන විට එරට ජනතාව ප්‍රධාන මාධ්‍යයෙන් ඈත්ව තිබෙනා බවත්, නිව්යෝර්ක් ටයිම්ස් අලෙවිය 25% කින් බිඳ වැටී තිබෙන බවත් අලුත්ම වාර්තා වල දැක්වෙනවා.
එමෙන්ම ඇමරිකාවේ ප්‍රධාන රූපවාහිනි මාධ්‍ය වන NBC, ABC සහ CBS නාළිකා වල ප්‍රවෘත්ති විකාශයන්ගේ නැරඹුම්වාර ද සීග්‍රයෙන් පහළ ගොස් තිබෙනවා.
පසුව ඊලෝන් ප්‍රසිද්ධියේම ට්‍රම්ප් වේදිකාවට එක් වී ඔහු වෙනුවෙන් පෙනී සිටියා.
මේ සියලූම කාරණා නිසා මෙවර ඇමෙරිකානු ජනාධිපතිවරණය අතිශය උණුසුම්.
ඇමෙරිකාව ලොව තවත් එක් රටක් නොවෙයි. ලොව ගමන් කරන දිශාව තීරණය කරනා ලෝක බලවතා යි.
ඔබ සහ මා නොදැන සිටියාත් අප රට සහ එහි සිදුවන බොහෝ දෑ සිදුවන්නේ ද ඔවුන්ගේ න්‍යාය පත්‍රයට අනුවයි.
ඔවුන්ගේ බලපෑම අපම අවතක්සේරු කිරීමට තරම් එම ක්‍රීඩාවේදී ඔවුන් දක්ෂයි, සූක්ෂමයි.
එම නිසා ඇමෙරිකානු ජනාධිපතිවරණයත්, ඉන් පත්වන ජනාධිපතිවරයාත් ලොව අනෙක් කෙලවරේ සිටිනා අපට ද අතිශය වැදගත්.

ඉරේෂාන් සිරිවර්ධන

2024.11.01

Related articles

පාර්ලිමේන්තු ඉතිහාසයට නව පිටුවක් – කාන්තාවන් 22ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ලෙස දිවුරුම් දෙති !

හෙට (21) ආරම්භ වන දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදී පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩි ම මන්ත්‍රීවරියන් පිරිසක් දිවුරුම් දීමට නියමිත...

ජුලම්පිටියෙ අමරෙගේ මරණ දඬුවම අභියාචනාධිකරණයෙන් ස්ථිර කරයි – මහ මොළකරුවන් නිදොස් කොට නිදහස් ද?

2012 වසරේ හම්බන්තොට කටුවන ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ගීගනගේ ගමගේ...

BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ කළමනාකරණ කුසලතා සංවර්ධන වැඩසටහන දියත් කරයි !

BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ එක් වී පිරිනමන නවතම අධ්‍යාපන වැඩසටහන වන කළමනාකරණ කුසලතා සංවර්ධන...

දුර්ගා යන්නම ගිහින්! Uma Dasgupta (1940-2024)

සත්‍යජිත් රායි අධ්‍යක්ෂණය කළ Pather Panchali චිත්‍රපටයේ අපට හමුවන සුවිශේෂී ස්ත්‍රී චරිතයක් දුර්ගා. දුර්ගා යනු මෙහි ප්‍රධාන චරිතය...