‘යාපනයෙන් පිට ඕනෙ තැනක හා’ : ලලිත් – කුගන් නඩුවෙන් මගහරින්නට කිසිවක් නැති වූ විට ගෝඨාභය දුන් උත්තරය !

Share post:

දේශපාලන සහ මානව හිමිකම් පිළිබඳ ක්‍රියාකාරිකයන් දෙදෙනකු වූ ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩු විභාගයේ සාක්ෂිකරුවකු ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය හැර ලංකාවේ වෙනත් ඕනෑම අධිකරණයක එම නඩුවට අදාළ ව සාක්ෂි ලබාදීමට සූදානම් බව ඔහුගේ නීතිඥවරයා ඊයේ (22) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වෙන එම නඩු විභාගයේ සාක්ෂි විමසීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කැඳවිය නොහැකි බවට අභියාචනාධිකරණය මීට පෙර තීන්දුවක් ලබාදුන්නේය. එම තීන්දුවට එරෙහිව අතුරුදන්වූවන්ගේ ඥාතීන් ගොනු කළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මේ බව සඳහන් කළේය.

පෙත්සම ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පුලි යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබිණි. මේ දැනුම්දීමට පෙත්සම්කාර පාර්ශ්වය ද විරෝධය පළ කර තිබුණේ නැත. දැන් තීන්දුව ගත යුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයයි.

ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ නඩුවට අදාළ ව සාක්ෂි ලබාදෙන්නැයි යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ගෝඨාභය රාජපක්ෂට සිතාසි නිකුත් කෙරිණි. තමන්ගේ ආරක්ෂාව පිළිබඳ ගැටලු ඇති නිසා යාපනයට යා නොහැකි බව කියමින් ගෝඨාභය රාජපක්ෂ අභියාචනාධිකරණයට ගියේය. ජනාධිපතිවරණයෙන් පසු ගෝඨාභය රාජපක්ෂගේ නීතිඥයන් අධිකරණයට පැවසුවේ ‘දැන් තමන්ගේ සේවාදායකයා ජනාධිපති නිසා ඔහුට මුක්තිය ඇති බවයි.’ අභියාචනාධිකරණය එය පිළිගත්තේය.

ඉන්පසු වින්දිත පාර්ශ්වය ඒ තීන්දුව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළේය. එම අභියාචනය මගින් ඔවුන් පෙන්වා දෙන්නේ තමන් ගෝඨාභය රාජපක්ෂ අධිකරණයට කැඳවීමට උත්සාහ කරන්නේ සැකකරුවකු ලෙස නොව, සාක්ෂිකරුවකු ලෙස වන බවයි.

ජ්‍යෙෂ්ඨ නීතිඥයන් ඒ මොහොතේ පෙන්වා දුන්නේ ජනාධිපති ධුරය දරන්නාට ඇති මුක්තිය සාක්ෂි ලබාදීම සම්බන්ධයෙන් බලපාන්නේ කෙසේද යන්න පිළිබඳ ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් නොවන බවයි. ඔහුට අපරාධ නඩු සම්බන්ධයෙන් මුක්තියක් තිබේ. යම් අවස්ථාවකදී ජනාධිපතිවරයාට සාක්ෂි ලබාදෙන ලෙස මහෙස්ත්‍රාත් අධිකරණයකින් සිතාසි යවනු ලැබුවහොත්, ඔහු එය පිළිගන්නේ ද, නැද්ද යන්න සම්බන්ධයෙන් ගැටලුවක් මතු වේ. යම් අපරාධයක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ සාක්ෂිය අත්‍යවශ්‍ය වන අවස්ථාවකදී, ඔහු කැමැත්තෙන් සාක්ෂි ලබාදෙන්නේ නම්, ඊට බාධාවක් තිබිය නොහැකිය.

කොහොමත් දැන් ගෝඨාභය රාජපක්ෂට මුක්තියක් නැත. එම නිසා අධිකරණයට පැමිණිය යුතුය. යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයට අදාළ ව ඔහු විසින් කර ඇති ඉල්ලීමට ශ්‍රේෂ්ඨාධිකරණය කුමන තීරණයක් ගනු ඇද්ද යන්න බලාගත හැකි වන්නේ ලබන මාර්තු මාසයේදී ය.

2011 දෙසැම්බර් 09 වැනිදා ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් අතුරුදන් කෙරිණි. ලලිත් හා කුගන් පැහැරගැනීම සිදු වී ඇත්තේ දෙසැම්බර් 09 වැනිදා පස්වරු 5.30 පසු වී කෙටි කාලයක් තුළ බවට සාක්ෂි ඇත. යාපනය, අවරන්ගල්හි කුගන්ගේ නිවසේ සිට ඔවුන් දෙදෙනා යාපනය බලා පිටත්ව ගොස් ඇත්තේ පස්වරු 5ට පමණ ය. පසු දින, එනම් දෙසැම්බර් 10 වැනිදා ලෝක මානව හිමිකම් දිනය වෙනුවෙන් පැවැත්වීමට නියමිතව තිබූ මාධ්‍ය සාකච්ඡාවක සංවිධාන කටයුතු ඔවුහු සිදු කරමින් සිටියහ.

කුගන්ගේ අසල්වැසියන් පවසන ආකාරයට ඔවුන් පස්වරු 5ට පමණ නිවසින් පිටත්ව ගොස් තිබේ. එයින් පසු මේ දෙදෙනාගෙන් කිසිදු තොරතුරක් ලැබී නැත. කෙසේ වෙතත් ඔවුන් ගමන් ගත්, කුගන්ගේ යතුරුපැදිය දෙසැම්බර් 14 වැනිදා අච්චුවේලි පොලිසියේ තිබෙනු දැක ඇත්තේ කුගන්ගේ බිරිඳ විසිනි. මෙම යතුරුපැදිය හමු වූ ආකාරය ගැන පොලිසිය හා ගම්වැසියන් පවසන කරුණු අතර පරස්පරතා රැසක් තිබේ.

කුගන්ගේ බිරිඳ අච්චුවේලි පොලිසියෙන් මේ පිළිබඳව විමසා තිබිණි. පොලිසිය ඇයට පවසා ඇත්තේ දෙසැම්බර් 13 වැනිදා කෝපායි පොලිසිය විසින් කෝපායි කෝවිල අසල තිබී මෙම යතුරුපැදිය තමන් බාරයට ගෙන තිබුණු බවයි. මෙම යතුරුපැදිය සම්බන්ධයෙන් නිර්වේලි ප්‍රදේශවාසීන් විසින් ෂන්මුගන් වඩිවේල් නම් එවකට එම ප්‍රදේශයේ රාජකාරි කළ ග්‍රාම නිලධාරිවරයාට දැනුම් දී ඇත්තේ 09 වැනිදා ය. යාපනය – පේදුරුතුඩුව මාර්ගයේ නිර්වේලි ප්‍රදේශයේදී ලලිත් – කුගන් දෙදෙනා ගමන් කළ යතුරුපැදිය වෑන් රථයකින් සහ යතුරුපැදි දෙකකින් පැමිණි පිරිසක් නතර කළ බවට සාක්ෂි ඉදිරිපත් වී ඇත. එහෙත් ඒවා ඉදිරියට ගියේ නැත.

එවකට පැවැති ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශකවරයා වූයේ කෙහෙළිය රඹුක්වැල්ල ය. ලලිත් – කුගන් අතුරුදන් කළ දෙසැම්බර් මාසයේ ම, 15 වැනිදා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු කියා තිබුණේ ලලිත් – කුගන් අතුරුදන් වී නැති බවත්, ඉක්මනින්ම ඔහු පොලිසිය හෝ හමුදාව මගින් අධිකරණයට ඉදිරිපත් කරනු ඇති බවත් ය. ඒ කියන්නේ අත්අඩංගුවට ගැනීමක් ගැන කතාවකි. ඒ ප්‍රකාශය කළේ එවකට ආණ්ඩුවේ නිල ප්‍රකාශක ලෙස කටයුතු කළ ඇමැතිවරයා ය.

පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා සෑම සැකකරුවකුගේම සම්පූර්ණ වගකීම අදාළ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා දැරිය යුතුය. පොලිස් ස්ථානය බාර ව කටයුතු කරන පොලිස් ස්ථානාධිපතිවරයා පොලිසියේ සියලු‍ම කාර්යයන් සඳහා පෞද්ගලිකව වගකිව යුතු බව උක්වත්ත එදිරිව මාරසිංහ සහ තවත් අය නම් තීන්දුවේ පැහැදිලිව සඳහන් වේ. අත්අඩංගුවේ සිටියදී සිදු වන ඇඟේ සීරීමකට පවා ස්ථානාධිපතිවරයා පිළිතුරු බැඳිය යුතුය. එහෙත් පසුගිය කාලයේ එසේ අත්අඩංගුවට ගත් විශාල පිරිසක් ආයුධ පෙන්වන්නට ගොස්, පළායෑමට උත්සාහ දැරීමේදී වෙඩි තැබූ බව පවසමින් ඝාතනය කෙරිණි. එකම කතාන්දරය පොලිසිය අධිකරණයට කිව්වේය. එය අසා සිටි එක් විනිසුරුවරයකු හෝ අදාළ පොලිස් ස්ථානාධිපතිවරුන් කැඳවා ඒ ගැන විමසුවේ ද?

කෙහෙළිය රඹුක්වැල්ලට අනුව නම් ලලිත් – කුගන් අත්අඩංගුවට ගෙන ඇත. එහෙත් එවැන්නක් මෙතෙක් තහවුරු වූයේ නැත. ඔවුන් සම්බන්ධයෙන් වගකිව යුතු පොලිස් නිලධාරීන් ඉදිරිපත් කෙරුණේ ද නැත. හමුදා අත්අඩංගුවේ දිගටම තබාගත නොහැක. පොලිසියට බාරදිය යුතුය. එවැන්නක් සිදු වූයේද නැත.

මේ සම්බන්ධයෙන් දෙවරක් කැඳවීමෙන් පසු, 2016 මැයි මාසයේදී අධිකරණයට පැමිණි කෙහෙළිය රඹුක්වැල්ල පවසා තිබුණේ එවකට පැවැති ආරක්ෂක කවුන්සිලයෙන් ලැබුණු තොරතුරු මත මෙම ප්‍රකාශය කළ බවයි. එසේ නම් ඒ ආරක්ෂක කවුන්සිලය නියෝජනය කළ සියල්ලන් ඒ ගැන යම් තොරතුරක් දැන සිටිය යුතුය. සේනාධිනායක ලෙස ජනාධිපති, හමුදා ප්‍රධානීන්, පොලිස්පති, බුද්ධි අංශ ප්‍රධානියා සහ එවකට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා වූ ගෝඨාභය රාජපක්ෂ ඒ කවුන්සිලය ඒ වකවානුවේ නියෝජනය කළහ.

2019 සැප්තැම්බර් 27 වැනිදා ලලිත් – කුගන් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ ව යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවට ගෝඨාභය රාජපක්ෂ පෙනී සිටිය යුතු විය. ඒ 2019 ජුනි 21 වැනිදා කළ නියෝගයක් ප්‍රකාරව ය. නඩුවේ සාක්ෂි ලබාදීම සඳහා ජුනි 21 වැනිදා පෙනීසිටින ලෙස ගෝඨාභය රාජපක්ෂට මුලදී දැනුම් දී තිබිණි. එහෙත් ඔහුගේ නීතිඥයන් එදින අධිකරණයට දැනුම් දුන්නේ තමන්ගේ සේවාදායකයා විදේශගතව ප්‍රතිකාර ලබන නිසා අධිකරණයට ඉදිරිපත් වීමේ හැකියාවක් නැති බවටයි. ඒ අනුව සැප්තැම්බර් 21 කැඳවිණි.

21 වැනිදා ද ගෝඨාභය අධිකරණයට ගියේ නැත. මාධ්‍ය මගින් ඊට පෙර, අනාවරණය කළේ ආරක්ෂක හේතු දක්වා නඩුවෙන් මගහැර යෑමට ඔහු උත්සාහ කරන බවයි. උතුරු-නැගෙනහිර හැර, අනෙක් ඕනෑම පළාතක පිහිටි අධිකරණයකදී තමන්ට මේ නඩුවේ සාක්ෂි ලබාදීමට අවස්ථාව ඉල්ලමින් ගෝඨාභය අභියාචනාධිකරණයට ගියේය. එහෙත් ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ඒ කාලයේදී ම ගෝඨාභය රාජපක්ෂ යාපනයට ගියේය. එයින් අධිකරණයට අපහාසයක් සිදු කළ බවට තර්ක කළ හැකිය.

සියලු ආණ්ඩු බලයට පත්වීමට පෙර ජනතාවට පොරොන්දු වූයේ මේ දේශපාලනික අපරාධවලට කඩිනමින් යුක්තිය ඉටුකරන බවයි. මෙතෙක් එය නිවැරදිව සහ විධිමත් ව සිදු වූයේ නැත. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ආණ්ඩුව මේ ක්‍රියාවලියට අවශ්‍ය පහසුකම් නිසිපරිදි සපයනු ඇතැයි ජනතාව විශ්වාස කරයි. එම විශ්වාසය ඔවුන් රැකිය යුතුය.

Related articles

නිලන්ත ජයවර්ධන විසින් රවී සෙනෙවිරත්නට යැවූ බව කියන ‘අති රහස්‍යයි’ ලියුම මෙන්න !

ප්‍රහාරයට දින 12යි / සැකකරුවන් සිව්දෙනයි - ඔවුන් ගැනත් ඇත්තේ පරණ තොරතුරු සැකකරුවන්ගේ යාවත්කාලීන ක්‍රියාකාරකම් හෝ සැරිසැරුම් ගැන කිසිවක්...

බුද්ධි තොරතුරෙන් පසු ආරක්ෂක මණ්ඩලය අවශ්‍ය පියවර ගත්තා – අදත් රැස්වුණා : වැඩ බලන පොලිස්පති ආරුගම්බේ ගැන කතා කරයි !

ආරුගම්බේ ආරක්ෂක ගැටලුව සම්බන්ධයෙන් බුද්ධි තොරතුරක් ලැබීමෙන් පසු ආරක්ෂක මණ්ඩලය රැස්වී කළ යුත්තේ කුමක්දැයි සාකච්ඡා කළ බවත්, අද...

SLIIT සිය 25 වන සංවත්සර සැමරුම සඳහා සංවත්සර ලාංඡනයක් එළිදක්වමින්, වසරේ වැඩසටහන් පෙළගැස්ම ඉදිරිපත් කරයි !

උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ අසමසම වූ විශිෂ්ටත්වයක් සමගින් දශක දෙකකට වැඩි ජයග්‍රහණ රැසක සුවිශේෂී වූ සන්ධිස්ථානයක් කරා ලඟා වීමේ...

ඇමසන් ගංගාධාරයේ පිහිටි කුඩා රන් ගම්මානය ‘සියෙරා පෙලාඩේ’

සියෙරා පෙලාඩේ… යනු බ්‍රසීලයේ ඇමසන් ගංගාධාරයේ පිහිටි කුඩා ගම්මානයකි. වනගත ප්‍රදේශයක පිහිටි මෙම ගම්මානය එක්වරම බ්‍රසීලය පුරා ප්‍රසිද්ධියට...