බුද්ධි තොරතුරෙන් පසු ආරක්ෂක මණ්ඩලය අවශ්‍ය පියවර ගත්තා – අදත් රැස්වුණා : වැඩ බලන පොලිස්පති ආරුගම්බේ ගැන කතා කරයි !

405

ආරුගම්බේ ආරක්ෂක ගැටලුව සම්බන්ධයෙන් බුද්ධි තොරතුරක් ලැබීමෙන් පසු ආරක්ෂක මණ්ඩලය රැස්වී කළ යුත්තේ කුමක්දැයි සාකච්ඡා කළ බවත්, අද (23) උදෑසනත් ආරක්ෂක මණ්ඩලය රැස්වූ බවත් වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පැවසීය.

ආරුගම්බේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් වැඩ බලන පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේය. එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙරට සිටින සියලු‍ම විදේශිකයන්ගේ ආරක්ෂාව තහවුරු කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් සියලු‍ම තානාපති කාර්යාල දැනුවත් කර ඇති බවත් ය.

ආරුගම්බේ ප්‍රදේශය සම්බන්ධයෙන් වන බුද්ධි තොරතුර ඔක්තෝබර් 07 වැනිදා වන විට ලැබුණු බවයි, වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සඳහන් කළේ.

ඒ අනුව යම්කිසි විදේශික ජාතිකයන් පිරිසක් ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ල කිරීම​ට සූදානම් බවට වන බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් මීට සති 03කට පෙර සිට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ ආරක්ෂක කවුන්සිලයේදී සාකච්ඡා කළ බව ද ඔහු පෙන්වා දුන්නේය.

විදේශිකයන්ගේ ආරක්ෂාව, ඔවුන් සිටි​න ස්ථානවල ආරක්ෂාව, ආගමික කටයුතු කරන ස්ථානවල ආරක්ෂාව, විශේෂ ආරක්ෂක සැලසුමක් යටතේ පොලීසිය, විශේෂ කාර්ය බලකාය හා බුද්ධි නිලධාරීන් එකතුවෙන් සැලසූ බව ද ඔහු සඳහන් කළේය.

එසේම නිශ්චිත තොරතුරු ලැබීම නිසා මේ ආරක්ෂක කටයුතු ඊයේ (22) දිනයේ සිට විශේෂිත වූ ආරක්ෂක සැලැස්මක් යට​තේ ක්‍රියාත්මක කළ බවත්, අද පෙරවරුවේ ද ආරක්ෂක කවුන්සිලය රැස්වූ බවත් වැඩ බලන පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.