තෙල් සංස්ථාවේ නීතිවිරෝධී අවි ගබඩාවක් ගැන පරීක්ෂණ කරන්නැයි ජනාධිපතිට, පොලිසිය බාර ලේකම්ට ඉල්ලීමක් !

Share post:

ලංකා ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රයේ පවත්වාගෙන ගිය නීතිවිරෝධී අවි ගබඩාවක් පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසත්, එම අවි ගබඩාවේ තිබූ අවි සහ පතුරම් යොදාගනිමින් අපරාධ සිදු කළේද යන්න පිළිබඳව සොයාබලන ලෙසත් එම සංස්ථාවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් සහ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනෙවිරත්නගෙන් ඉල්ලා තිබේ.

කොලොන්නාවේ පිහිටි සංස්ථා පරිශ්‍රයේ දෙවැනි කලාපයේ ඇති මේ ගබඩාව, සංස්ථාවේ ආරක්ෂාවට ලබාදී ඇති ගිනි අවි සහ පතුරම් සහිත ස්ථිර ගබඩාවට කිසිදු සම්බන්ධයක් නැති බව ද එම නිලධාරීහු පෙන්වා දෙති. මේ ස්ථානයේ මීට පෙර ගිනි අවි තිබුණද, මේ වන විට ඒවා එම ස්ථානයෙන් ඉවත් කර ඇති බවත්, දැන් එහි ඇතැයි තහවුරු වී ඇත්තේ පතුරම් තොගයක් බවත් සඳහන් කරන එම නිලධාරීන්, අදාළ පතුරම් පිළිබඳ ලැයිස්තුවක් ද ඉදිරිපත් කර ඇත. ඊට අනුව ටී 56 ගිනිඅවි උණ්ඩ 25,218ක් ද, එස්ජී වර්ගයේ උණ්ඩ 2,658ක් ද, එස්එල්ආර් වර්ගයේ අවිවලට යොදන උණ්ඩ 1,040ක් ද, රිවෝල්වරවලට යොදන 0.38 වර්ගයේ උණ්ඩ 277ක් ද එහි තිබේ. ඇලුමිනියම් පෙට්ටි 11ක, වෙනත් විවෘත නොකළ පෙට්ටි 04ක සහ ගෝනි 02ක ආදී වශයෙන් මේ පතුරම් ගබඩා කර ඇත.

මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තාවීමෙන් පසු නීතිමය පියවර ගන්නා ලෙස මේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් අවධාරණය කර ඇතත්, මෙතෙක් ඊට අදාළ ව කිසිදු නීතිමය පියවරක් ගෙන නැති බවත්, අධිකරණයට කරුණු වාර්තා කර නැති බවත් ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති.

මේ සම්බන්ධයෙන් සංස්ථාවේ කොලොන්නාව නිමාවේ නියෝජ්‍ය කළමනාකරණ ආරක්ෂක කාර්‍යාලය සහ ආරක්ෂක කාර්‍යාලය අතර 2023 පෙබරවාරි මාසයේදී ලිපි රැසක් ද හුවමාරු වී තිබේ. එම ලිපිවල සඳහන් වන ආකාරයට මේ තොගය පිළිබඳ කිසිදු පිළිගත හැකි ලැයිස්තුවක් (Armoury Inventry) නැත. අදාළ ලිපිවලින් තහවුරු වන්නේ මේ පිළිබඳ හය දෙනකුගෙන් සමන්විත කමිටුවකින් විමර්ශනයක් පවත්වා ඇති බවයි. එහෙත් එම විමර්ශනවලින් පසු අදාළ අවි ගබඩාව පවත්වාගෙන යෑම පිළිබඳව කිසිදු පියවරක් ගෙන නැති බව ද සංස්ථාවේ ජ්‍යේෂ්ඨ නිලධාරීහු අවධාරණය කර සිටිති.

Related articles

කොක්අඩිචෝලෙයි : වසර 38ක් තිස්සේ යුක්තිය අහිමි සමූහ ඝාතනයක් !

කුඩා දරුවන් ඇතුළු නිරායුධ දෙමළ වැසියන් සිය ගණනක් මරා දැමූ බවට ආරක්ෂක අංශ වෙත චෝදනා එල්ල වී තිබෙන...

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට රනිල් අනීතිකව දුන් අක්කර 5ක් ආපසු ගනී : අපියි කිව්වෙ ගන්න කියලා – සංගමයේ ලේකම්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිවාඩු නිකේතනයක් ඉදිකිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට බදු පදනම යටතේ ලබා දී...

නාට්‍ය කලාවට දේශපාලන අනුග්‍රහය එපා!

ඉන්දියාවේ නාට්‍යය උත්සවයකට යාමට මුදල් හෙවූ නාට්‍යකරුවන් දෙදෙනා, බුද්ධික සහ චාමිකට ඉන්දියාවට යාමට අවශ්‍ය ගුවන් ප්‍රවේශ පත්‍රවලින් අඩකට...

නඩු නොඇසූ යුගයක සලරු සටහන, ‘ෆාදර්’

80 සහ 90 දසකවල සියනෑ කෝරළේ ඔස්මන් ගුණසේකර නමැත්තා ආශ්‍රිතව සිදු වූ සත්‍ය සිදුවීම් දාමයක් සහ කුප්‍රකට වවුල්කැලේ...