තෙල් සංස්ථාවේ නීතිවිරෝධී අවි ගබඩාවක් ගැන පරීක්ෂණ කරන්නැයි ජනාධිපතිට, පොලිසිය බාර ලේකම්ට ඉල්ලීමක් !

Share post:

ලංකා ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රයේ පවත්වාගෙන ගිය නීතිවිරෝධී අවි ගබඩාවක් පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසත්, එම අවි ගබඩාවේ තිබූ අවි සහ පතුරම් යොදාගනිමින් අපරාධ සිදු කළේද යන්න පිළිබඳව සොයාබලන ලෙසත් එම සංස්ථාවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් සහ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනෙවිරත්නගෙන් ඉල්ලා තිබේ.

කොලොන්නාවේ පිහිටි සංස්ථා පරිශ්‍රයේ දෙවැනි කලාපයේ ඇති මේ ගබඩාව, සංස්ථාවේ ආරක්ෂාවට ලබාදී ඇති ගිනි අවි සහ පතුරම් සහිත ස්ථිර ගබඩාවට කිසිදු සම්බන්ධයක් නැති බව ද එම නිලධාරීහු පෙන්වා දෙති. මේ ස්ථානයේ මීට පෙර ගිනි අවි තිබුණද, මේ වන විට ඒවා එම ස්ථානයෙන් ඉවත් කර ඇති බවත්, දැන් එහි ඇතැයි තහවුරු වී ඇත්තේ පතුරම් තොගයක් බවත් සඳහන් කරන එම නිලධාරීන්, අදාළ පතුරම් පිළිබඳ ලැයිස්තුවක් ද ඉදිරිපත් කර ඇත. ඊට අනුව ටී 56 ගිනිඅවි උණ්ඩ 25,218ක් ද, එස්ජී වර්ගයේ උණ්ඩ 2,658ක් ද, එස්එල්ආර් වර්ගයේ අවිවලට යොදන උණ්ඩ 1,040ක් ද, රිවෝල්වරවලට යොදන 0.38 වර්ගයේ උණ්ඩ 277ක් ද එහි තිබේ. ඇලුමිනියම් පෙට්ටි 11ක, වෙනත් විවෘත නොකළ පෙට්ටි 04ක සහ ගෝනි 02ක ආදී වශයෙන් මේ පතුරම් ගබඩා කර ඇත.

මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තාවීමෙන් පසු නීතිමය පියවර ගන්නා ලෙස මේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් අවධාරණය කර ඇතත්, මෙතෙක් ඊට අදාළ ව කිසිදු නීතිමය පියවරක් ගෙන නැති බවත්, අධිකරණයට කරුණු වාර්තා කර නැති බවත් ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති.

මේ සම්බන්ධයෙන් සංස්ථාවේ කොලොන්නාව නිමාවේ නියෝජ්‍ය කළමනාකරණ ආරක්ෂක කාර්‍යාලය සහ ආරක්ෂක කාර්‍යාලය අතර 2023 පෙබරවාරි මාසයේදී ලිපි රැසක් ද හුවමාරු වී තිබේ. එම ලිපිවල සඳහන් වන ආකාරයට මේ තොගය පිළිබඳ කිසිදු පිළිගත හැකි ලැයිස්තුවක් (Armoury Inventry) නැත. අදාළ ලිපිවලින් තහවුරු වන්නේ මේ පිළිබඳ හය දෙනකුගෙන් සමන්විත කමිටුවකින් විමර්ශනයක් පවත්වා ඇති බවයි. එහෙත් එම විමර්ශනවලින් පසු අදාළ අවි ගබඩාව පවත්වාගෙන යෑම පිළිබඳව කිසිදු පියවරක් ගෙන නැති බව ද සංස්ථාවේ ජ්‍යේෂ්ඨ නිලධාරීහු අවධාරණය කර සිටිති.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...