බට්ටිලා සහ ලිමන්සා

Share post:

නවසීලන්ත යොවුන් කාන්තා කණ්ඩායම සමග පැවැති තරගයෙන් ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායම ජය ගත්තා.
ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර වයස අවුරුදු දහනමයෙන් පහළ කාන්තා කණ්ඩායම් හි තුන්කෝන් තරගාවලියක් ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වෙනවා.
මේ එම තරගාවලියේ තරගයක්.
මෙම ජයග්‍රහණය පැති කිහිපයකින්ම ශ්‍රී ලංකාවට බොහෝ වටිනවා.
පළමුවැන්න, මේ ඕස්ට්‍රේලියානු භූමියේ දී ඕස්ට්‍රේලියානු ක්‍රීඩා තත්ත්ව මත ලැබූ ජයක්.
නවසීලන්තයට බොහෝ හුරුපුරුදු තත්ත්වයන් තුළ, ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායමක් ඔවුන් පරදනවා.
එය මෑත කාලයේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව කොතරම් දියුණු වී ඇත්දැයි කීමට එක් උදාහරණයක්.
දෙවැන්න නවසීලන්තය, ඕස්ට්‍රේලියාව වැනි රටවල කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව කවදත් ඉහළ තැනක තිබුණා.
ශ්‍රී ලංකාවේ නම් කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව මෑතක් වනතුරුම ක්‍රිකට් පාලක මණ්ඩලයට ‘අනවශ්‍ය වියදමක්’ වූවා පමණයි.
නමුත් මෑතක සිට එම තත්ත්වය වෙනස් වී තිබෙනවා.
වර්තමානයේ නවසීලන්තය, ඕස්ට්‍රේලියාව වැනි රටවල් සමග පවා මෙරට යොවුන් කාන්තා කණ්ඩායමට තරගාවලි හිමිවෙනවා.
එය විශාල ජයග්‍රහණයක්.
මින්පෙර ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් එංගලන්තය සහ ඕස්ට්‍රේලියානු යොවුන් කාන්තා කණ්ඩායම් මෙරටට ගෙන්වා තුන්කෝන් තරගාවලියක් සංවිධානය කළා.
එම තරගාවලියේ දී මෙරට යොවුන් කාන්තා කණ්ඩායම බොහෝ දස්කම් දැක්වූවා. අලුත් තරු බිහි වුණා.
ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායමට හිමිවන පිළිගැනීමට එයත් හේතුවක් වන්නට ඇති.
කෙසේවෙතත් ඊයේ තරගයේ විශේෂ ක්‍රීඩිකාව වූයේ ලිමන්සා තිලකරත්න.
එයට හේතුවක් තිබෙනවා.
තරගයේ ශ්‍රී ලංකාවට ජය ගෙන ආවේ චමෝදි. එසේ නොමැතිනම් කවුරුත් දන්නා මොනරාගල බට්ටි.
ඇය කඩුලු හතරක් බිඳ දමමින් නවසීලන්ත ජයග්‍රහණය සම්පූර්ණයෙන්ම අවහිර කළා.
මොනරාගල බට්ටි පිළිබඳව මුලින්ම ලියූවේ මම. ඇයගේ ගම, ඇයගේ වයස සහ ඇය පැමිණි ගමන සියල්ල මා ලියූවා. එම ලිපිය බොහෝ දෙනෙකු අතරට ගොස් තිබුණා.
ඇයට විශේෂ මාධ්‍ය අවදානයක් හිමි වූයේ ඉන්පසුවයි.
එමෙන්ම කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුවට දායක වූ අප්සාරි තිලකරත්න පිළිබඳවත් මුලින්ම ලියූවේ මම.
එතෙක් කරළියෙන් පිටත ඇය සිදු කළ සේවය මාධ්‍යයට පැමිණියේ ඉන්පසුවයි.
නමුත් අද මා ලියන්නේ කඩුලු හතරක් දවාගත් බට්ටි ගැන නොවෙයි, කඩුලු තුනක් දවාගත් ලිමන්සා තිලකරත්න පිළිබඳවයි.
ලිමන්සා හිටපු ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ගේ දියණිය.
ඩිල්ෂාන් තරම් ක්‍රීඩකයෙකු ලෙස රටටත්, කණ්ඩායමටත් සේවය කළ ක්‍රීඩකයෙක් මෑත ඉතිහාසයේ නැහැ.
ඔහු හදවතින්ම රටට උපරිමය දුන්, දේශප්‍රේමී ක්‍රීඩකයෙක්. ඒ පිළිබඳ කිසිදු තර්කයක් නැහැ.
නමුත් සමුගැනීමෙන් පසුව ඔහුගේ දේශපාලනික භාවිතය නිසා ඔහුගෙන් රසිකයන් තරමක් ඈත් වුණා.
ක්‍රීඩා කරන සමයේ ඔහු සිදු කළ සියල්ල ඔහුගේ එක් තීරණයකින් නොසලකා හැරුණා.
එය ඩිල්ෂාන්ගේ පුද්ගලික අයිතිය වූවත්, රසිකයන් ඔහුගෙන් එවැනි දෙයක් බලාපොරොත්තු නොවීම එයට හේතුව වන්නට ඇති.
ඕස්ට්‍රේලියාවේ ජීවත් වූ ඩිල්ෂාන් පවුල සමග යළි ශ්‍රී ලංකාවට පැමිණ දේශපාලන කටයුතු වලට සම්බන්ධ වීම ඇතැමෙකුගේ දැඩි විවේචනයට ලක්වුණා.
ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් ක්‍රීඩා කළ ලිමන්සා ශ්‍රී ලංකා යොවුන් කාන්තා සංචිත වලට එක්වන්නේ ඉන්පසුවයි.
එය බොහෝ දෙනෙකුගේ සැකයටත්, අප්‍රසාදයටත් ලක්වුණා.
එතෙක් මෙරට යොවුන් කාන්තා කණ්ඩායම අයිති වූයේ මොනරාගල බට්ටිලාටයි.
අව් රශ්මියට අවර්ණ වූ, දුෂ්කර ආරම්භ වලින් පැමිණි ක්‍රීඩිකාවන්ගෙන් මෙරට යොවුන් කාන්තා කණ්ඩායම සමන්විත වුණා.
අප්සාරි තිලකරත්න ට පිංසිදු වන්නට අවස්ථාව ලද ඔවුන්, තමන්ට හිමි වූ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත්තා.
ඔවුන් බොහෝ ජයග්‍රහණ හිමිකරගත්තා. රටම ඔවුන්ට ආදරය කිරීමට පටන් ගත්තා.
පිරිමි කණ්ඩායම ලැබූ පරාජ මතින් හෙම්බත් වී සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන්ට අලුත් වීරයන් පිරිසක් අවශ්‍යව තිබුණා.
චමරි ලාගෙන්, බට්ටි ලාගෙන් ඔවුන්ට එම වීර(වරි)යන් හමුවුණා. එම නිසා රසිකයන් මෙරට කාන්තා කණ්ඩායම් වලට ආදරය කළා.
ලිමන්සා යොවුන් සංචිතයට ඇතුලත් වන්නේ එවැනි පසුබිමකයි.
බැලූබැල්මට ලිමන්සා එම සංචිතයට නොගැලපුණු බව බොරුවක් නොවෙයි.
බාහිර පෙනුමේ සිට කතා කරන භාෂාවේ සිට සියල්ලෙන්ම ලිමන්සා, බට්ටි ලාගෙන් වෙනස් වුණා.
ඒ සියල්ලටම වඩා ලිමන්සා ට අවස්ථාව හිමි වූ පදනම රසිකයන් සැක කළා. ලිමන්සා ට අවස්ථාව හිමිවීම පසුපස ඇයගේ පියාගේ සබඳතා ඇත්දැයි රසිකයන් ප්‍රශ්න කළා.
මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ගලායන ආකාරය අනුව රසිකයන්ගේ එම සැකය මඳක් හො අසාධාරණ නැහැ.
රසිකයන්ගේ බියට සහ සැකයට සාධාරණ හේතු මෙරට ක්‍රිකට් ඉතිහාසයේ ඕනෑ තරම් තිබුණා.
මේ ක්‍රිකට් නිලවරණයේ විශාල ඡන්ද බලයක් සහිත පුද්ගලයෙකුගේ පුතා ජාතික කණ්ඩායම නියෝජනය කළ රටක්.
ඒ සියල්ලට ඩිල්ෂාන් ගේ දේශපාලනය ද එක් වූ කළ ලිමන්සා ට එල්ල වූ විවේචන සුලුපටු නැහැ.
ඇතැම් රසිකයන් ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායම විනාශ කිරීමට පැමිණි සතුරෙකු ලෙස ලිමන්සා දුටුවා.
ඔවුන් ආදරය කළ ගමෙන් පැමිණි, අහිංසක බට්ටි ලාගේ අනාගතයට තර්ජනයක් ලෙස ලිමන්සා හඳුනා ගත්තා.
මේ තරගය වඩා වැදගත් වන්නේ රසිකයන්ගේ එම සැකය දුරලමින්, තමන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට සුදුසු බව ලිමන්සා ඔප්පු කර තිබෙන නිසයි.
මොනරාගලින් පැමිණි ලක්මවගේ සුජාත දියණිය චමෝදි තරමටම වරප්‍රසාදිත පසුබිමකින් පැමිණි තමන් ද සිංහ වර්ණ පැළඳීමට සුදුසු බව ලිමන්සා ඔප්පු කර තිබෙන නිසයි.
ලිමන්සා ගේ පියා ඩිල්ෂාන් වූ නිසා පමණින් කිසිසේත්ම ඈ ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායම ක්‍රීඩා කිරීමට සුදුසු වන්නේ නැහැ.
එමෙන්ම ඇගේ පියා ඩිල්ෂාන් වීම නිසාම, ඈ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට නුසුදුස්සෙක් ද වන්නේ නැහැ.
මේ අන්ත දෙකම බුද්ධිමත් ශ්‍රී ලාංකික රසිකයා විසින් පරාජය කළ යුතුයි.
ඕනෑම ශ්‍රී ලංකා කණ්ඩායමකට එක් වීමට එකම සුදුසුකම විය යුත්තේ දක්ෂතාවය පමණයි.
පවුල් පසුබිම නිසා හිමිවන වරප්‍රසාද මෙන්ම පවුල් පසුබිම නිසා හිමිවන අප්‍රසාදය සහ අපකීර්තිය ද අවසන් විය යුතුයි.
මෙම තරගය වඩා වැදගත් වන්නේ එම අප්‍රසාදය සහ අපකීර්තිය අවසන් කරමින්, තමන් ද ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට සුදුසු බව ලිමන්සා යම් පමණකින් හෝ ඔප්පු කර තිබෙන නිසයි.

ඉරේෂාන් සිරිවර්ධන

Related articles

කාන්තා T20 ලෝක කුසලානය අද ආරම්භ වුණා – චමරි අතපත්තුගේ අවසන් ලෝක කුසලානය විය හැකි

කාන්තා T20 ලෝක කුසලානය අද ආරම්භ වුණාඑහිදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගී වන පළමු තරගයත් අද පැවැත්වෙනවා.ඒ පාකිස්තාන...

Ceylon Energy හා HJT China එක් වී SESRIP ව්‍යාපෘතිය යටතේ දියත් කළ මහව හා අම්පාර කිලෝ වෝල්ට් 33ක විදුලි බෙදාහැරීමේ පද්ධතිය සාර්ථකව අවසන් කරයි !

Ceylon Energy සමාගම සහ HJT China සමාගම එක් වී දියත් කළ මහව සහ අම්පාර කිලෝ වෝල්ට් 33ක (33 kV) විදුලි බෙදා හැරීමේ...

අධිකරණයට අපහාස කිරීමේ නීතිය අවභාවිත නොකළ යුත්තේ ඇයි? – මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනගේ තීන්දුව සමග අනුපිළිවෙළට කියවා ගත යුතු කරුණු කිහිපයක් !

අධිකරණයට අපහාස වන ආකාරයෙන් කටයුතු කිරීමේ චෝදනා ලත් නීතිඥවරයකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමටත්, ඔහුගේ නීතිඥ වෘත්තීයභාවය අත්හිටුවීමටත් ශ්‍රේෂ්ඨාධිකරණය සිදු...

නතාෂා අත්අඩංගුවට ගැනීමෙන් පොලිසිය සහ ආගමන විගමන පාලක මූලික අයිතිවාසිකම් කඩලා : නිලධාරීන්ට එරෙහිව පියවර ගැනීමට මානව හිමිකම් කොමිසමෙන් නිර්දේශ !

පරිගණක අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ ලකී රන්දෙණිය, එහි සහකාර පොලිස් අධිකාරී චන්දිමා අරුමප්පෙරුම, අන්තර්ජාල ආවේක්ෂණ හා බුද්ධි ඒකකයේ...