මාතලන් සහ ටොක්කා ගම්පහ, ඉඹුල්ගොඩදී ‘ඝාතනය කර’ හෙටට (27) වසර 12කි. මාතලන් සහ ටොක්කා යනු අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරීන් වූ ජනක බණ්ඩාර ඒකනායක සහ සිසිත ප්‍රියංකර ය. යුක්තිය අහිමි කළ අපරාධ ගොන්නට එකතු වූ මේ අපරාධය යළිත් කොතැනින් හෝ මතුකර ගත යුතුය.
ගාල්ලේ සිට කොළඹට
2012 සැප්තැම්බර් මාසය වන විට සමාජයේ වැඩියෙන්ම කතාබහට ලක්වූ මාතෘකාව වූයේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයයි. වැටුප් වැඩි කිරීම, අධ්‍යාපනයට ප්‍රමාණවත් මුදලක් වෙන්කිරීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල්කරගනිමින් පැවැති මේ වර්ජනයට රටේ බහුතරයකගේ සහාය ලැබිණි. ඔවුහු ගාල්ලේ සිට කොළඹට පාගමනක් ඇරඹූහ. සැප්තැම්බර් 24 වැනිදා ඇරඹූ පාගමන 28 වැනිදා දහවල් වන විට කොළඹට ළඟාවීමට සැලසුම් කර තිබිණි.
පේරාදෙණියේ සිට කොළඹට
මේ ගාල්ලේ සිට කොළඹට එන පාගමනට සමගාමීව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ද පාගමනක් සංවිධානය කළේය. ඒ, පේරාදෙණියේ සිට කොළඹට ය. කොළඹ දී ආචාර්යවරුන්ගේ පාගමනට එය ද එක්වීමට නියමිතව තිබිණි. සැප්තැම්බර් 26 වැනිදා පස්වරුව වන විට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ පෙළපාළිය තිබුණේ නිට්ටඹුවේ ය. එය 27 වැනිදා කැලණිය දක්වා ගමන් කිරීමට නියමිත විය.
කැලණිය විශ්වවිද්‍යාලයේ අවසන් වසර ශිෂ්‍යයකු වූ ජනක බණ්ඩාර ඒකනායක හෙවත් මාතලන් සහ රුහුණු විශ්වවිද්‍යාලයේ පළමු වසර ශිෂ්‍ය සිසිත ප්‍රියංකර හෙවත් ටොක්කා මේ පෙළපාලියේ ඉදිරි පෙළ සංවිධායකයෝ වූහ.
සැප්තැම්බර් 27 අලුයම
සැප්තැම්බර් 27 වැනිදා අලුයම ඔවුන් නැවතී සිටි ගම්පහ, බණ්ඩාරවත්තේ නැවතුම්පොළේ සිට දෙල්ගොඩ දක්වා පිටත් වූයේ මුද්‍රණාලයකින් අත්පත්‍රිකා තොගයක් රැගෙන ඒමට ය. ඒවා පෙළපාලියට සම්බන්ධ ඒවා විය. මාතලන් සහ ටොක්කාගෙන් අලුයම 5 වනතුරුත් ප්‍රතිචාරයක් නොවූ නිසා, මිතුරෝ දුරකතනවලට ඇමතුම් ගත්හ. කිසිදු ප්‍රතිචාරයක් නැත. ඔවුන් අලුයම සිදු වූ අනතුරකින් මිය ගිය බව ආරංචි වූයේ උදෑසන 8ට පමණ ය.
හිතාමතා සිදු කළ අනතුරක්
එදින ම පස්වරුවේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මාධ්‍ය හමුවක් කැඳවා පැවසුවේ මෙය රිය අනතුරක් නොවන බවයි. එය හිතාමතා සිදු කළ අනතුරක් බවට ඔවුහු චෝදනා කළහ.
අධිකරණ වෛද්‍ය විශේෂඥ නිගමනය
පසුදින, එනම් 28 වැනිදා උදෑසන ගම්පහ මහ රෝහලේදී මීට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වුණේ අධිකරණ වෛද්‍ය විශේෂඥ එස්.පී.ඒ. හේවගේගේ ප්‍රධානත්වයෙනි. ඔහු නිගමනය කළේ අනතුරක් නිසා හිසට සිදු වූ තුවාල හේතුවෙන් ශිෂ්‍ය නායකයන් දෙදෙනාගේ මරණය සිදු වී ඇති බවයි.
අනතුර සැකයි
අනතුර සැකසහිත බවට පොලිසියට පැමිණිලි කෙරිණි. ගම්පහ හිටපු මහෙස්ත්‍රාත් ඛේමා ස්වර්ණාධිපති ඉදිරියේ පැවැති අනතුරට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණයේදී අටදෙනෙක් සාක්ෂි දුන්හ. කැලණිය විශ්වවිද්‍යාලයේ සේවකයකු ලෙස කටයුතු කළ නිට්ටඹුවේ පදිංචි නෝමන් ජයතිස්ස මෙහිදී පවසා තිබුණේ සිද්ධිය වූ දිනයේ ඉඹුල්ගොඩ හන්දියේ මල් ශාලාවක අවමංගල රථයක් නතර කර තිබූ බවයි. විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු වූ කොච්චිකඩේ පදිංචි නිලාන් ප්‍රියදර්ශන ප්‍රනාන්දු මහෙස්ත්‍රාත් පරීක්ෂණයේදී පවසා තිබුණේ අනතුර සිදු වූ ස්ථානයට ඒ මොහොතේ ම පැමිණි අයකු යතුරුපැදිය හරස් කර වාහනයක් දමනු දුටුවේ යැයි පැවසූ බවයි.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු වැඩ බලන කැඳවුම්කරු චින්තක රාජපක්ෂ පවසා තිබුණේ මාතලන් සහ ටොක්කා පිටත්වීමට පැය කිහිපයකට පෙර එම යතුරු පැදියෙන් යක්කල මංසන්ධියට ගිය තමන් ව යතුරුපැදිකරුවක් ලුහුබැඳී බවයි. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ එවකට කැඳවුම්කරු සංජීව බණ්ඩාර මෙහිදී සාක්ෂි දෙමින් පවසා තිබුණේ තම සාමාජිකයන්ට දිගින්-දිගටම තර්ජන පැමිණි බවත්, මියගිය සිසුන් දෙදෙනා බල මණ්ඩලයේ ඉදිරි පෙළ ක්‍රියාකාරීන් බවත් ය.
අගතියට පත් පාර්ශ්වයේ ඉල්ලීම
රිය අනතුරකින් මියගිය විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනාගේ මරණය ගැන සැකයක් පවතින්නේ යැයි ද, යතුරුපැදිය හැප්පුණු බව කී විදුලි කණුවේ හානි සිදුවී ඇති ස්ථානයත්, යතුරුපැදියේ හානි සිදුවූ ස්ථානයත් අතර ගැටලු සහගත බවක් ඇතැයි ද, ඒ සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාවක් කැඳවිය යුතු යැයි ද, මියගිය තරුණයකු භාවිත කළ ජංගම දුරකතනය මෙතෙක් හමුවී නැතැයි ද අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රජිකා සිල්වා අධිකරණයට දැනුම් දුන්නාය. එම ඉල්ලීම පිළිගත් එවකට මහෙස්ත්‍රාත්වරිය අනතුර සිදුවූ බව කියන ආකාරය ප්‍රතිනිරූපණය කර රස පරීක්ෂණ වාර්තා කැඳවන ලෙස නියෝග කළාය.
මහෙස්ත්‍රාත් නියෝගය ඉටුනොකරයි
මහෙස්ත්‍රාත්වරියගේ නියෝගයට අනුව 2012 ඔක්තෝබර් 08 වැනිදා ඉඹුල්ගොඩට ගිය රජයේ රස පරීක්ෂකවරයා පැය එකහමාරක පමණ කාලයක් එම ස්ථානය පරීක්ෂා කළේය. යතුරුපැදිය ඉඹුල්ගොඩට රැගෙන නොඒම ගැන සහ මහෙස්ත්‍රාත් නියෝගයට අනුව සිදුවීමේ ප්‍රතිනිර්මාණයක් නොකිරීම පිළිබඳව නීතිඥවරුන් විරෝධය පළකළ අතර, රස පරීක්ෂකවරයා එහිදී පවසා තිබුණේ තමන් වැරැල්ලවත්ත පොලිස් මුරපොළේදී අනතුරට ලක්වූ යතුරුපැදිය පරීක්ෂා කළ බවයි.
සැකය තහවුරු කළ කරුණු
නීතිඥ රාජිකා සිල්වා මේ ගැන අධිකරණයේදී දීර්ඝ ලෙස කරුණු දැක්වූ අතර, අනතුර සම්බන්ධයෙන් සැකයක් පැනනැගී ඇති අවස්ථාවක එසේ කටයුතු කිරීම මගින් සැකය තවත් වැඩි වන බව ඇය පැවසුවාය.
‘මම රිකන්ස්ට්‍රක්ෂන් එකකට (ප්‍රතිනිර්මාණයකට) යන්නනෙ කිව්වෙ. ඇයි බයිසිකලය එතැන්ට නොගෙනාවෙ?’
හිටපු මහෙස්ත්‍රාත් ඛේමා ස්වර්ණාධිපති විවෘත අධිකරණයේදී පොලිසියෙන් එසේ විමසූ අතර, එම අවස්ථාවේ ගම්පහ පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අජිත් ප්‍රියන්ත පැවසුවේ බයිසිකලය එම ස්ථානයට ගෙන ඒමට අවශ්‍ය නැතැයි රස පරීක්ෂකවරයා පැවසූ බවයි.
අසත්‍ය දුරකතන වාර්තා
අනතුරින් මියගිය ජානක ඒකනායක ශිෂ්‍යයා භාවිත කළ, හමු නොවූ ජංගම දුරකතනයේ අංක සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවන ලෙස ද මහෙස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කළාය. දුරකතන සේවා සමාගමක් මේ ගැන වාර්තාවක් ඉදිරිපත් කරමින් පැවසුවේ එම අංකයට ඇමතුම් ලැබී හෝ එයින් ඇමතුම් ගෙන හෝ නැති බවයි. ඊට පසු නඩු දිනයේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් කිහිපදෙනෙකු පෞද්ගලිකව තමන්ගේ දුරකතන වාර්තා ලබාගෙන අධිකරණයට පෙන්වූයේ තමන්ගේ අංකවලින් ජානක ඒකනායකට ඇමතුම් ගත් බව තමන්ගේ දුරකතන වාර්තාවල සටහන් වෙද්දී, මියගිය සිසුවාගේ දුරකතන වාර්තාවල එසේ නැතැයි කීම ගැටලු සහගත බවයි. බොරු වාර්තා ලබාදීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙස මෙහිදී අධිකරණය පොලිසියට නියෝග කළේය.
2015 සීඅයිඩියට කළ පැමිණිල්ල
2015 ආණ්ඩු මාරුවෙන් පසු මේ සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදු කළ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ එවකට කැඳවුම්කරු නජිත් ඉන්දික, මේ පිළිබඳ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කරන ලෙස ඉල්ලා සිටියේය. ඒ අනුව පොලිස්පතිවරයා එහි විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දුන්නේය.
රස පරීක්ෂක තීන්දුව
ඉදිරියට ගිය මේ විමර්ශන නතර වූයේ රස පරීක්ෂකවරයා විසින් මේවා රිය අනතුරක් නිසා සිදු වූ මරණ බවට වාර්තා ඉදිරිපත් කිරීමෙන් පසුව ය. නීතිඥවරුන් පසුව පැවසුවේ එවැනි තත්ත්වයක් යටතේ මිනීමැරුමක් ලෙස නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමේ හැකියාවක් නොතිබූ බවයි.
අලුත් ආණ්ඩුවේ වගකීම
දුරකතන වාර්තා ගැටලු, පරස්පර ස්ථානීය සාධක, රස පරීක්ෂක හැසිරීම් සියල්ල ඔස්සේ අපරාධකරුවන් ගැලවී සිටී. එම නිසා මාතලන් සහ ටොක්කා ඝාතන පිළිබඳ නැවත පුළුල් විමර්ශනයක් පැවැත්විය යුතුය. අපරාධ රාජ්‍යයේ මග වෙනස් කොට යුක්තිය වෙනුවෙන් මැදිහත් වීමේ වගකීමක් නව ආණ්ඩුවට තිබේ. ඔවුන් එය කළ යුතුය.