අවුළුවන අදහස් ලැජ්ජාවක් වන සංස්කෘතියක් ගොඩනැගිය යුතුයි ! – ගල්කන්දේ ධම්මානන්ද හිමි

Share post:

ලංකාවේ මෑත කාලීනව පැවැති සියලු‍ මැතිවරණවලදී ජාතිවාදය ඇතුළු අන්තවාදී අදහස් සමාජගත කිරීම මගින් ඡන්දදායකයන්ට බලපෑම් කිරීම දැකිය හැකි විය. ඇතැම් අවස්ථාවලදී එය තීරණාත්මක ලෙස වැඩි වූ අතර, තවත් අවස්ථාවලදී එසේ කළ නොහැකි විය. උදාහරණයක් ලෙස 2015 වසරේදී සාපේක්ෂව මෙවැනි තත්ත්වයන් අවම කිරීමට ජනතාව ද මැදිහත් වුවද, 2019 වසරේදී එය යළිත් වර්ධනය විය. 2024 සැප්තැම්බර් 21දා පැවැති ජනාධිපතිවරණයේදී මේ අන්තවාදයේ බලපෑම අවම විය. ඒ ඔස්සේ ජනතාවගේ ඡන්දයට බලපෑම් කිරීමේ උත්සාහයන් කිහිපයක් ගත්තද, ඒවා ජනතාවට සැලකිය යුතු බලපෑමක් කළ බවක් පෙනුණේ නැත.
වල්පොළ රාහුල මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ, කැලණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගල්කන්දේ ධම්මානන්ද හිමියන් සමග ඒ සම්බන්ධයෙන් කළ සාකච්ඡාවක් ඇසුරෙන් මේ ලිපිය සැකසිණි.

ජනාධිපතිවරණයේ ප්‍රතිඵලයෙන් පසු මෙහි ඇති වර්ධනය කරගත යුතු යහපත් තැන් පිළිබඳව සංවාදයක් ගොඩනැගීම වැදගත් ය. එසේ නොවුණහොත් සිදුවන්නේ ඉදිරියට යෑමේ උත්සාහයන් යළිත් පසුපසට යෑමයි. ඊට හොඳම උදාහරණයක් ලෙස පෙන්වා දිය හැක්කේ අන්තවාදී අදහස් ය. පසුගිය මැතිවරණවල ප්‍රතිඵලයට මේ අන්තවාදී අදහස් කළ බලපෑම අපි දුටුවෙමු. ඒවායෙන් සිදු වූ හානිය අපි දුටුවෙමු.

ජාතිවාදී හෝ ආගමික අන්තවාදී අදහස් සමාජගත කිරීමේ එක් අරමුණකි, සැබෑ ප්‍රශ්න යටගැසීම. විශේෂයෙන්ම මැතිවරණයක් පවතින අවස්ථාවකදී පවතින ආණ්ඩුවට ඇති බරපතළම ප්‍රශ්නය වන්නේ ඔවුන් ජනතාව තෘප්තියට පත්කිරීමට අපොහොසත් වී තිබීමයි. එම නිසා ජනතාව බලා සිටින්නේ ඔවුන් පරාජයට පත්කිරීමටයි. අනෙක් පැත්තෙන් මීට පෙර බලයේ සිටි විපක්ෂයකට මැතිවරණයක් අවස්ථාවකදී තිබෙන ප්‍රශ්නය වන්නේ දීර්ඝ කාලයකට පෙර නොවන, තමන්ගේ පෙර උදාහරණ ජනතාවට මතක තිබීමයි. ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් විසින් මේ අතීත මතක අවුස්සන නිසා ජනතාවට ඒවායේ අග-මුල යළි-යළිත් මතක් වේ.

මේ හේතුව නිසා මේ ප්‍රශ්න අමතක කළ යුතුය. මැතිවරණ කාලයේදී ජනතාවගේ සිහිය සහ හැඟීම් වෙනත් තැනක සිර කළ යුතුය. ඒ වෙනුවෙන් ය, බොහෝ විට මේ ජාතිවාදී සහ ආගමික අන්තවාදී අදහස් කරළියට ගෙන එනු ලබන්නේ. මැතිවරණයක් නැතත් ඇතැම් විට ආණ්ඩුවකට තමන්ගේ දුර්වලකම්වලට ජනතාවගෙන් එල්ල වන විරෝධය පාලනය කරගැනීමට අවශ්‍ය අවස්ථා එයි. ඒ තැන්වලදී ද, ලංකාවේ මේ උපක්‍රමය භාවිත කර තිබේ.
ජනතාවගෙන් කොටසක් ද මෙවැනි අන්තවාදී අදහස් හැඟීමෙන් පිළිගනු දැකිය හැකිය. ඒ වෙනුවෙන් ජනමාධ්‍යය ද විශාල කාර්යභාරයක් කරනු අපි පසුගිය කාලයේදී දුටුවෙමු. සත්‍ය ප්‍රශ්න යටගැසීම වෙනුවෙන් සිදු කළ මෙවැනි උපක්‍රම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වන අවස්ථාවේ විශාල වශයෙන් භාවිත කෙරිණි. ජනතාව ඉරි ගසා බෙදීමෙන් සාමූහිකත්වය නැති කිරීම, එකිනෙකා අතර සංවාද සිදුවීමට ඇති ඉඩ ඇහිරීම බලාපොරොත්තු වේ.

එවිට ජනතාව හුදෙකලා කළ හැකිය. කණ්ඩායම් ලෙස කොටු කළ හැකිය. ඒ කොටු කරන ලද කණ්ඩායම් තමන්ව පීඩාවට ලක්කරන කණ්ඩායම අත්හැර, වෙනත් ප්‍රතිවිරුද්ධ කණ්ඩායම්වලට එරෙහිව එක් වෙයි. එනම් දේශපාලනඥයන් කරන දූෂණ අමතක කොට, තමන්ගේ ම සහෝදර ජනතාවක් මර්දනයට ඔල්වරසන් දෙයි.
2022 තීරණාත්මක ජන අරගලයට පෙර ලංකාව සහ ජන අරගලයට පසු ලංකාව යනුවෙන් අපේ සමාජය කොටස් 02කට බෙදිහ හැකිය. අධ්‍යයනයේ පහසුව සඳහා එසේ බෙදාගත් විට අපිට පෙනෙන්නේ මේ අරගලයෙන් පසු ලාංකික සමාජයේ තීරණාත්මක වෙනසක් සිදු වී ඇති බවයි. ජාතිවාදී සහ ආගමික අන්තවාදී ව්‍යාපෘති සඳහා සමාජයෙන් සැලකිය යුතු ඉඩක් විවෘත නොවන්නේ ද මේ අරගලයේ අත්දැකීම් නිසා ය. එහිදී සාමූහිකත්වයේ බලහ ජනතාව විසින් අත්හදා බලන ලදි. ජනතාව විවිධ තලවලදී ඒ අත්දැකීම් උකහාගන්නා ලදි. එවැනි තත්ත්වයක් යටතේ ය, අරගලයෙන් පසු පැවැති පළමු මැතිවරණය ලෙස ජනාධිපතිවරණය පැවැත්වුණේ.
ජනාධිපතිවරණයේදී ද මෙවැනි අදහස් ජනතාව අතරට ගෙනයෑමේ උත්සාහයන් කිහිපයක් ක්‍රියාත්මක විය. සාපේක්ෂව අවම වුවද, අළු යට ඇති ගින්දර අවුළුවන්නට ඇතැමුන් පිඹිනු දුටුවෙමු. උදාහරණ ලෙස බෞද්ධාගම් විරෝධයක් ඇති බව පෙන්වීමට ප්‍රයත්න දැරිණි. එහෙත් ජනතාව එම අදහස්වලට අනුකූල බවක් පෙන්නුවේ නැත. විවෘත වේදිකාවලදී පළකළ එවැනි අදහස්වලට ජනතාව අතරින් ම විරෝධතා එල්ල වනු ද දැකිය හැකි විය.
කෙසේ වෙතත් මෙහි ගැටලු‍වක් තිබේ. 2015 ජනාධිපතිවරණයේදී සාපේක්ෂව අවම ව පැවැති මේ සමාජ හානිය යළිත් 2018 මාර්තු මාසයේදීත්, 2019 නොවැම්බර් ජනාධිපතිවරණයේදීත් ඉහළට ගැනීමට දේශපාලනඥයන්ට හැකියාව ලැබිණි. එනම් තාවකාලිකව යටපත් වීමක් පමණක් සිදුව තිබේ.

එය පාලනය කළ හැකි එක ම මාර්ගය අධ්‍යාපනයයි. මෙවැනි හැඟීම් හේතුවෙන් සමාජයට, රටේ ආර්ථිකයට සිදු වූ හානිය කොතෙක්ද යන්න පිළිබඳව නිවැරදි දැනුම සමාජගත කළ යුතුය. රට ඉදිරියට නොව පසුපසට ගෙන යෑමට එවැනි මනෝභාවයන් සිදු කළ සේවය පිළිබඳව උදාහරණ සහිතව ජනතාවට පෙන්වා දිය යුතුය.

පාසල් අධ්‍යාපනයට මේ සිදුවීම් එකතු කළ යුතුය. උදාහරණයක් ලෙස 1983 කළු ජූලිය සම්බන්ධයෙන් නව පරපුර අතර ඇත්තේ මිශ්‍ර අදහසකි. ඇතැම් කරුණු ඔවුන්ට නිවැරදිව සමාජගත වී නැත. එම නිසා ඔවුන්ට එම දැවැන්ත ඛේදවාචකය සම්බන්ධයෙන් නිවැරදි විග්‍රහයක් සකස් කරගැනීම අසීරු විය හැකිය. එවැනි තත්ත්වයක් තිබියදී නැවත පැළ කරනු ලබන ජාතිවාදී හෝ ආගමික අන්තවාදී අදහසක් ඔවුන්ගේ හැඟීම්වලට බලපෑම් කළ හැකිය.
වසර 10කට හෝ 12කට හෝ වරක් ජනතාව අතර මෙවැනි ප්‍රශ්නයක් හැදීමට හැකියාව ලැබී ඇත්තේ මේ හේතු නිසා ය. එම නිසා කිසියම් ප්‍රජාවක් සම්බන්ධයෙන් වැරදි අදහස් ජනනය නොවන පරිදි පසුගිය අපරාධ පිළිබඳ නිවැරදි කරුණු අධ්‍යාපනය ඔස්සේ ලබාදිය යුතුය. එමගින් දැනුවත් නව පරපුරක් ගොඩනැගිය හැකිය. එසේ දැනුමෙන් සන්නද්ධ වූ පසු ඔවුන්ගේ හැඟීම් රුවටීමට පීඩකයන්ට අවස්ථාව ලැබෙන්නේ නැත.

මේ ජනාධිපතිවරණයේදී දළදා පෙරහැර සම්බන්ධයෙන් සහ නිරාගමික කරුණු සම්බන්ධයෙන් ඇතැම් කණ්ඩායම් විවිධ අසත්‍ය පුවත් සමාජගත කරන ලද්දේ අවුරුදු 50ට වඩා වැඩි ඡන්දදායකයන් ඉලක්ක කරගනිමින් ය. නව පරපුර තාක්ෂණය, අරගලයේ අත්දැකීම්, ලෝක උදාහරණවලින් පොහොසත් වුවද, ඇතැම් විට ඉහත කී වයස් මට්ටම්වල පිරිස් එසේ පොහොසත් නොවිය හැකිය. එහෙත් මෙවර එය ද සාර්ථක වූයේ නැත. ජනතාවගේ ආර්ථික පීඩනය එතරම් දරුණු ය. දැන් ප්‍රශ්න අමතක කිරීමට හැකි තත්ත්වයක නොවේ, ජනතාව සිටින්නේ.

මෙවැනි දැවැන්ත ව්‍යාපෘතිවලට එරෙහිව ජනතාව නිවන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පහසු නොවේ. මාධ්‍ය මගින් විශාල ප්‍රචාරයක් ලබාදෙන්නේ ජනතාව අවුළුවන ව්‍යාපෘතිවලට ය. එහෙත් අපිරිසිදු ජලය පිරුණු බඳුනකට දිගින්-දිගටම පිරිසිදු ජලය එකතු කිරීමෙන් එම බඳුනේ ජලය පිරිසිදු වේ. ඒ ආකාරයෙන් අඩු ශක්තියක් යටතේ වුවද වැදගත් වන්නේ ආරම්භ කිරීමයි. දිගටම පවත්වාගෙන යෑමයි.

මෙවර මැතිවරණයේදී ආරම්භ වූ මේ යහපත් ප්‍රවණතාව ප්‍රවර්ධනය කිරීමට වෙහෙස විය යුතුය. එවිට සමාජය විසින් අන්තවාදී, අවුළුවන අදහස් දැරීම ලැජ්ජාවක් ලෙස සැලකීමේ සංස්කෘතියක් ඒ ඔස්සේ බිහිවනු ඇත. එය සමාජයේ ඉදිරි ගමනට විශාල කාර්යභාරයක් සිදුකරයි.

සංවාද සටහන – ශාලික විමලසේන

Related articles

ඉන්දියාවෙන් පාඩමක්

ටාටා ස්ටීල් චෙස් තරගාවලිය අවසන් වුණා. ටාටා සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් ඉන්දියාවේ පැවැති එම තරගාවලියට ජාත්‍යන්තර ක්‍රීඩකයන් රැසක් සහභාගී...

පාර්ලිමේන්තු ඉතිහාසයට නව පිටුවක් – කාන්තාවන් 22ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ලෙස දිවුරුම් දෙති !

හෙට (21) ආරම්භ වන දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදී පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩි ම මන්ත්‍රීවරියන් පිරිසක් දිවුරුම් දීමට නියමිත...

ජුලම්පිටියෙ අමරෙගේ මරණ දඬුවම අභියාචනාධිකරණයෙන් ස්ථිර කරයි – මහ මොළකරුවන් නිදොස් කොට නිදහස් ද?

2012 වසරේ හම්බන්තොට කටුවන ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ගීගනගේ ගමගේ...

BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ කළමනාකරණ කුසලතා සංවර්ධන වැඩසටහන දියත් කරයි !

BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ එක් වී පිරිනමන නවතම අධ්‍යාපන වැඩසටහන වන කළමනාකරණ කුසලතා සංවර්ධන...