දේශගුණික විපර්යාස, ගෝලීය උෂ්ණත්වය වැනි මාතෘකා පිළිබඳ ලෝක මට්ටමේ පුළුල් සංවාද සහ අධ්‍යයන සිදුවුවද, ලංකාවේදී එය තවමත් අවශේෂ මාතෘකාවකි. වෙලාවක් තිබුණොත් පමණක් කතාකරන්නකි. එහෙත් අනාගත ජනාධිපතිවරයාට මේ මාතෘකාව මගහැර යා නොහැකිය. කොටින්ම ඇමෙරිකානු ඩොලර් බිලියන 100ක දැවැන්ත ණය මුදලක් දරා සිටින ශ්‍රී ලංකාවට මේ මාතෘකාව ඉතා වැදගත් ය.
මේ දැවැන්ත ණය අර්බුදය හේතුවෙන් ලංකාව රටක් ලෙස මුහුණ දෙන ගැටළු රැසකි. ඒ ගැටළු සියල්ලේ අවසාන වින්දිතයන් වන්නේ සාමාන්‍ය ජනතාව ය.
මේ ණය අර්බුදය ද ඇතුළු අක්‍රමවත් මූල්‍ය කළමනාකරණය හේතුවෙන් ඇතිකරන ලද ආර්ථික අර්බුදය නිසා වැඩි ම හානියක් සිදුවන්නේ පරිසරයට ය. රජයේ කැලෑ ඉඩම් ව්‍යාපෘති සඳහා ලබාදීමේදී ඊට අදාළ සියලු ආයතනවලින් අනුමැතිය ගත යුතු බව සඳහන් වූ 05/2001 චක්‍රලේඛය මුලින්ම අහෝසි කෙරිණි. ඒ වෙනුවට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කරන ලද 01/2020 චක්‍රලේඛය මගින් සිදුකරන ලද්දේ අදාළ ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබාදීමේ තනි බලය ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත ලබාදීම ය. මේ තීරණය නිසා රටට අහිමි වූ වනාන්තර ඉඩම් ප්‍රමාණය ආසන්න වශයෙන් හෙක්ටයාර ලක්ෂ 3කි.
ඉන්පසු ඊළඟ පියවර ලෙස ලෝකයේ දැනට වැඩියෙන්ම මුදල් එහෙ-මෙහෙ වන දේශගුණික විපර්යාස සඳහා මුදල් ලබාගැනීමේ උත්සාහයක් ක්‍රියාත්මක විය. එහිදී සිදුවන්නේ රටේ ඇති ස්වභාවික සම්පත් මුදලට හිලව් කිරීමකි. උදාහරණයක් ලෙස සිංහරාජ වනාන්තරය සංරක්ෂණය කිරීම සඳහා නිශ්චිත මුදලක් ලබාදීම සිදු කරයි. පරිසරවේදීන් පෙන්වා දෙන්නේ මෙහිදී අදාළ ස්වභාවික සම්පත කළමනාකරණය කිරීමේ වගකීම ද නිශ්චිතව වෙනත් පාර්ශ්වයකට පවරා දෙන බවයි.
පරිසරය සුරක්ෂිත කිරීම වෙනුවෙන් අරමුදල් සැපයීම (ෘැඉඑ දෙර භ්එමරු) ඇතුළු වැඩසටහන් රැසක් සම්බන්ධයෙන් වූ විශේෂ ගිවිසුමක් පසුගිය වසරේදී ශ්‍රී ලංකාව සහ ගෝලීය හරිත සංවර්ධන ආයතනය (ඨකදඉ්ක ඨරුැබ ඨරදඅඑය ෂබිඑසඑමඑැ – ඨඨඨෂ) අතර අත්සන් කෙරිණි. ජනාධිපති ලේකම් කාර්යාලයේදී මේ ගිවිසුම අත්සන් කරන ලද අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහ ලේකම් සහ වර්තමානයේ ගෝලීය හරිත සංවර්ධන ආයතනයේ සභාපති බෑන් කි-මූන් ද මේ අවස්ථාව සඳහා සහභාගි විය. ගිවිසුම අත්සන් කරන ලද්දේ පරිසර අමාත්‍යංශයේ එවකට ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ ය. ඔහු ගෝලීය හරිත සංවර්ධන ආයතනයේ උප සභාපතිවරයකු ද වේ. එම සංවර්ධන ආයතනය පාර්ශ්වයෙන් ගිවිසුමට අත්සන් තබන ලද්දේ එහි අධ්‍යක්ෂ ජනරාල් ෆ්‍රෑන්ක් රිජ්ස්බර්මාන් ය. මේ ගිවිසුමේ මුල් පිටපත් ලබාදෙන ලෙස පරිසර සංවිධාන කිහිපයක් ඉල්ලා සිටියද, එය සිදුවූයේ නැත. කෙසේ වෙතත් මීට අදාළ කටයුතු මෙතෙක් ඉදිරියට ගියේ නැත.
බි්‍රතාන්‍යය පදනම් කරගත් පරිසරය සහ සංවර්ධනය සඳහා වූ අන්තර්ජාතික ආයතනය (ෂබිඑසඑමඑැ දෙර ෑබඩසරදබපැබඑ ්බා ෘැඩැකදචපැබඑ – ෂෂෑෘ) නිකුත් කළ වාර්තාවකට අනුව ලංකාව ද ණය සඳහා වනාන්තර ඇතුළු ස්වභාවික සම්පත් හුවමාරු කිරීමේ ක්‍රමවේදයකට ඇතුළත් කර තිබේ. මේ සම්බන්ධයෙන් රජයේ පාර්ශ්වයෙන් සාකච්ඡා ද ආරම්භ කොට තිබිණි. මේ ස්වභාවික සම්පත් හුවමාරුව සහ ණය සම්බන්ධයෙන් අධ්‍යයනය කොට වාර්තාවක් සකස් කිරීමට කමිටුවක් පත්කිරීමට ද සාකච්ඡා විය.
ණය අර්බුදවලට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති, ඌණ සංවර්ධිත රටවල් සමග මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පරිසරය සහ සංවර්ධනය සඳහා වූ අන්තර්ජාතික ආයතනය සිය වාර්තාවෙන් අවධාරණය කර සිටී. බෙලීස්, ඉක්වදෝරය, බාබඩෝස්, ගබෝන් යන රටවල් මෑත කාලයේදී මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කොට ස්වභාවික සම්පත් ණය මුදල්වලට හිලව් කරන ලද රටවල් වේ. අදාළ වාර්තාව පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානයට ද මේ අවස්ථාව ඇති බවයි. පරිසරය සහ සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර ආයතනයේ තිරසර වෙළෙඳපොළ පර්යේෂණ කණ්ඩායමේ අධ්‍යක්ෂ ලෝරා කෙලී පෙන්වා දෙන්නේ ඉදිරියේදී රටවල් රැසක් මේ ව්‍යාපෘතියට ඇතුළත් වනු ඇති බවයි. ලෝරා කෙලී වැඩිදුරටත් සඳහන් කරන්නේ මේ රටවලින් බොහොමයක් ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමෙන් තර්ජනයට ලක්ව සිටින බවයි.
ශ්‍රී ලංකාව මෙන්ම ඝානාව ද දැඩි ණය අර්බුදයක සිටින අතර, ඔවුන් ද අදාළ ව්‍යාපෘතිය සඳහා දිරිගැන්වීමට අපේක්ෂිත බව අදාළ වාර්තාවේ දැක්වේ. ඝානාව යනු ශ්‍රී ලංකාව මෙන්ම ණය ප්‍රතිව්‍යුහගතකරණයට එළඹ සිටින තවත් රටකි.
දීර්ඝ කාලයක් ආරක්ෂා කළ වනාන්තර ඇතුළු ස්වභාවික පරිසර පද්ධති සංවර්ධන හා ආයෝජන ව්‍යාපෘති සඳහා යොදාගැනීම පසුගිය කාලයේදී වේගවත් කෙරිණි. මේ නිසා අද වන විට ලංකාවේ ස්වභාවික වනාන්තර ආවරණය සියයට 17කටත් වඩා අඩු වී ඇතැයි පරිසරවේදීහු සංඛ්‍යාලේඛන සහිතව පෙන්වා දෙති.
යාන් ඔය වාරි ව්‍යාපෘතිය සඳහා වනාන්තර අක්කර 15,000ක්, මොරගහකන්ද හා කළු ගඟ බහුකාර්ය වාරි ව්‍යාපෘති සඳහා වනාන්තර අක්කර 25,000ක්, දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කළ මාගම්පුර වරාය, මත්තල ගුවන්තොටුපොළ, දකුණු අධිවේගී මාර්ගය පුළුල් කිරීම, ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ඇතුළු භෞතික සංවර්ධන ව්‍යාපෘති සඳහා වනාන්තර අක්කර 25,000ක් මෙසේ විනාශ කළ ස්වභාවික සම්පත් තවත් කොතෙක් ද? යුද්ධයේ අවසානයෙන් පසු නැවත පදිංචි කිරීමේ කටයුතු නිසිපරිදි ක්‍රියාත්මක නොකිරීම හා ජනතාව භාවිත කළ ඉඩම් වෙනත් සංවර්ධන ව්‍යාපෘති, සංචාරක ව්‍යාපෘති සහ අධිආරක්ෂක කලාප පවත්වාගෙන යෑම සඳහා භාවිත කිරීම නිසා අලුතින් ජනාවාස ගොඩනැගීමට වනාන්තර අක්කර කොපමණක් විනාශ කළේද?
මේ විනාශයට ප්‍රධාන හේතුව ආණ්ඩුවේ ප්‍රධානීන් සහ සැලසුම් සකස්කරන්නන් වනාන්තරවල වැදගත්කම තේරුම් නොගැනීමයි. ජල මූලාශ්‍ර, ජල පෝෂක, වනාන්තර භූමි ප්‍රදේශ පිළිබඳව නිවැරදි අවබෝධයක් නොමැති මේ පාර්ශ්ව ජාතික භෞතික සැලැස්මේ සඳහන් කර ඇත්තේ මධ්‍යම කඳුකරය ආරක්ෂා කර ගැනීමෙන් මෙරට සමස්ත ජල සුරක්ෂිතතාව ඇති කරගත හැකි බවයි. නමුත් මධ්‍යම කඳුකරයෙන් පමණක් නොව වියළි හා අතරමැදි කලාප දෙකෙන් ආරම්භ වන ගංගා රාශියක් වියළි කලාපය පෝෂණය කරන බව ඔවුන් නොදනී.
ලංකාවේ සමස්ත භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර 65,610කට ආසන්න වේ. ලංකාව පුරා දුවන ගංගා 103කි. ලංකාවේ වාර්ෂික වර්ෂාපතනය හෙක්ටයාර් මීටර් මිලියන 12ක් පමණකි. ඉන් සියයට 55කට වැඩි ජල ප්‍රමාණයක් වාෂ්පීකරණය හා ශාකවලින් උත්ස්වේදනය නිසා ඉවත් වේ. සියයට 15ක පමණ ජල ප්‍රමාණයක් භූගත ජලය ලෙස තැන්පත් වේ. වාරි කර්මාන්තය ඇතුළු අනෙකුත් සියලු කටයුතු සඳහා ඉතිරිවන්නේ සියයට 30ක ජල ප්‍රමාණයකි. එනම් හෙක්ටයාර් මිලියන 3.5ක ජල පරිමාවකි. මෙරට භූමි – ජල අනුපාතය වර්ග කිලෝමීටරයකට (නැතහොත් හෙක්ටයාර් 100කට) හෙක්ටයාර් 3කි. එය ලෝකයේ රටවල් අතර ඇති ඉහළම අගයකි. අද වන විට භූගත ජලයෙන් විශාල ප්‍රමාණයක් පානීය ජල බෝතල් සඳහා සහ කර්මාන්ත ශාලාවල භාවිතය සඳහා යොදාගනී.
මෙරට වනාන්තර ඇතුළු ස්වභාවික සම්පත් ජනතාවට අහිමි කර සමාගම්වලට ලබාදීම හෝ අක්‍රමවත් මූල්‍ය කළමනාකරණයට හිලව් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් යටතේ දැක්වෙන 12 (1) උප ව්‍යවස්ථාවේ සඳහන් නීතිය පසිඳලීම හා නීතිය ක්‍රියාත්මක කිරීම ද, නීතියේ රැකවරණය සර්ව සාධාරණව සිදුවිය යුතුය යන්න ද උල්ලංඝනය කිරීමකි. එක්සත් ජාතීන්ගේ මණ්ඩලය විසින් 1948 දෙසැම්බර් මස 10 වැනි දින සම්මත කරගත් වගන්ති 30කින් යුත් මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ 7 වැනි වගන්තියට අනුව සියල්ලෝම නීතිය ඉදිරියේ සමානය යන්න ද උල්ලංඝනය කිරීමකි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම සහ මූලික යුතුකම් කොටසෙහි 27(14) උප ව්‍යවස්ථාවට අනුව ජනතාවගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කර සුරක්ෂිත කර වැඩිදියුණු කළ යුතු බව සඳහන් වේ. නමුත් සිදු කරමින් සිටින්නේ ජනතාවට ජීවත් වීමට ඇති අයිතිය අහිමි කරමින් පරිසරය විනාශ කර අවතැන් කිරීමට හා පරිසරයේ සුරක්ෂිතතාව බිඳදැමීමට කටයුතු කිරීම ය. එම නිසා රටේ ආර්ථිකය කළමනාකරණය කළ යුත්තේත්, දැවැන්ත ණය අර්බුදයෙන් රට ගලවා ගත යුත්තේත් අනාගත පරපුරට පරිසරය සුරක්ෂිත කරමින් ය.
වචනවලට සීමා නොවී මේ කරුණු සම්බන්ධයෙන් නිවැරදි අවබෝධයක් ජනාධිපති ධුර අපේක්ෂකයන් ලබාගත යුතුය. යළිත් කිව යුතුය. දේශගුණික විපර්යාස සහ ගෝලීය උෂ්ණත්වය යනු ලෝකයේ මේ වන විට වැඩියෙන්ම කතාබහට ලක්වන මාතෘකාවකි. එහෙත් ලංකාවේදී ඒ පිළිබඳ පුළුල් සංවාදයක් දැකිය නොහැකිය. එවැනි සංවාද ගොඩනැගීමේ කුඩා පරිමාණ උත්සාහයන් ක්‍රියාත්මක වුවද, ඒවා ජනතාවට දැනෙන්නේ අඩුවෙනි. ආර්ථික අර්බුදයේ කරවටට ගිලී සිටින ජනතාවට අවශ්‍ය වී ඇත්තේ එයින් ගොඩඒමට පමණි. එහෙත් නිවැරදි පරිසර කළමනාකරණයක් මගින් මේ ගැටලු සියල්ල විසඳාගත හැකි බව තේරුම් ගත යුතුය. අවශ්‍ය වන්නේ තාවකාලික සහ කෙටි කාලීන වාසි අරමුණු කරගත් විසඳූම් වෙනුවට දීර්ඝ කාලීන විද්‍යාත්මක විසඳූම් ය.
- ශාලික විමලසේන