2020 මහ මැතිවරණය මතකද? : රවී – ශානි මේ වෙලාවෙ ගන්න ඕනෙ නෑ : නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි !

Share post:

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මේ අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමේ තීරණයක් නොමැති බව නීතිපතිවරයා අද (20) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

හිටපු නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ පැමිණිල්ලකට අනුව සිදුකෙරෙන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද කැඳවූ අවස්ථාවේදී මේ දැනුම්දීම සිදු කර තිබේ.

මේ පෙත්සම් ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවා තිබිණි.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙහිදී සඳහන් කළේ මෙම විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා ඇති බවයි.

ඒ අනුව මෙම විමර්ශන තවමත් මූලික අදියරේ පවතින බවත්, මෙම පෙත්සම්කරුවන් දෙදෙනා මෙම අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමේ තීරණයක් ගෙන නොමැති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් පෙත්සම්කරුවන් දෙදෙනාට එරෙහිව සිදුකෙරෙන විමර්ශනවලදී අත්අඩංගුවට ගැනීමට තරම් ප්‍රමාණවත් කරුණු අනාවරණය වුවහොත් ඒ පිළිබඳව මෝසමකින් අධිකරණයට දැනුම් දෙන බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නේය.

2019 නොවැම්බර් 16දා පැවති ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ගෝඨාභය රාජපක්ෂ සිය මුල්ම රාජකාරිය ලෙස සිදු කළේ ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් කොට, ගාල්ල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාර ලෙස පත්කර යැවීමයි. ඉන්පසු ඔහුගේ වැඩ තහනම් කෙරිණි.

2020 පාර්ලිමේන්තු මැතිවරණය පැවති අගෝස්තු 05දාට දින කිහිපයකට පෙර, එනම් එම වසරේ ජූලි 31දා ශානි අබේසේකර අත්අඩංගුවට ගනු ලැබුවේ අසත්‍ය චෝදනාවක් නගමිනි. එය අසත්‍ය චෝදනාවක් බව පසුව අභියාචනාධිකරණය තීන්දු කළේය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...