එදා වේල මේකට හරියන්නෑ : අපේක්ෂකයන්ගේ විදේශ ප්‍රතිපත්තිය රහසක් වෙන්න බෑ – ආචාර්ය ශම්මික ලියනගේ

Share post:

ජනාධිපතිවරණය ආසන්නයේ තිබියදී විද්වත් සංවාදවලදී නිරන්තරයෙන් මතුවන මාතෘකාවකි, රටක විදේශ ප්‍රතිපත්තිය කෙසේ විය යුතු ද යන ප්‍රශ්නය. ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ප්‍රධාන අපේක්ෂකයන් මේ පිළිබඳ පැහැදිලි අදහසක් දක්වන බවක් පෙනෙන්නේ නැත. ලංකාවේ බහුතර ඡන්දදායකයා එවැනි මාතෘකාවක් ග්‍රහණය කරගන්නේ කෙසේද යන්න පිළිබඳව ඔවුන් වැඩියෙන් සිතාබලනවා විය හැකිය.
‘ලංකාවේ අනාගත විදේශ ප්‍රතිපත්තිය කෙසේ විය යුතුද?’ යන මාතෘකාව සම්බන්ධයෙන් රුහුණු විශ්වවිද්‍යාලයේ ජාතික ප්‍රතිපත්ති අධ්‍යයන අංශයේ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ශම්මික ලියනගේ මෙසේ අදහස් දැක්වීය.

රුහුණු විශ්වවිද්‍යාලයේ ජාතික ප්‍රතිපත්ති අධ්‍යයන අංශයේ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ශම්මික ලියනගේ

ජනාධිපතිවරණයේදී අපේක්ෂකයන් තමන්ගේ විදේශ ප්‍රතිපත්තිය ගැන නිශ්චිතව කතා කරනවා අපිට පේන්නෙ නෑ. ඇයි මේ කාරණය මගහරින්නෙ…?

පවතින ගෝලීය සංදර්භය ඇතුළෙ විදේශ ප්‍රතිපත්තිය කියන එක දේශපාලනික කාර්යභාරයකට වඩා විදේශ ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ විෂය පථයට ගොනුවෙන විෂය කාරණයක්. හැබැයි එක එක දේශපාලන පක්ෂවල ප්‍රතිපත්ති සහ මූලධර්ම වෙනස්. විවිධ ඇස්වලින් තමයි බලන්නෙ. රටක විදේශ ප්‍රතිපත්තියේ භාවිතාවන් සිදුවන්නේ කොහොමද කියන එක අධ්‍යයනය කරන්න ඕනෙ. ඒක හැම දේශපාලන පක්ෂයක් ම කළ යුතුයි. මේ ජනාධිපතිවරණයෙදිත් විදේශ ප්‍රතිපත්තිය කියන්නෙ දේශපාලන පක්ෂවල ප්‍රතිපත්ති ප්‍රකාශනවල එක කොටසක් විතරයි.
එක්සත් ජාතික පක්ෂය වගේ පක්ෂවලත්, ජාතික ජන බලවේගය වගේ පක්ෂවලත් විදේශ ප්‍රතිපත්තිය වෙනස්. මූලධර්මවාදී වාමාංශික කොටස් මේ ක ගැන බලන්නෙ වෙනස් ම විදිහට. 1977දි ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ඒ.සී.එස්.හමීඩ් විදේශ ඇමැතිවරයා විදිහට පත්කරන්නෙම අරාබි ලෝකයත් එක්ක සම්බන්ධතා වර්ධනය කරගන්න. ඊට පෙර විදේශ අමාත්‍යංශය තිබුණෙ අගමැතිවරයා යටතේ. ඒකට ඒ තරම් බරක් දීලා තිබුණා.

කෙනෙකුට තර්කයක් ගේන්න පුළුවන්, එතකොට ජනතාව රටේ අනාගත විදේශ ප්‍රතිපත්තිය ගැන දැනගත යුතු නැද්ද කියලා… ?

ජනතාව දැනගත යුතුයි. ඒකට හේතුව තමයි ඒක පෙරළා තමන්ගෙ ජනජීවිතයට සෘජුවම බලපාන එක. උදාහරණයකට කච්චතිව් බලන්න. තව කීයක් තියෙනවද. සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය ඉන්දියාව ක්‍රියාත්මක කරනවා. ඒකට චීනය ප්‍රතිචාර දක්වනවා. ජනතාව මේවා ගැන දැනගන්න ඕනෙ විතරක් නෙමෙයි අවබෝධයෙන් මේ වෙන්නෙ මොනවද කියලා හරියට තේරුම්ගන්නත් ඕනෙ.
කනගාටුවට කරුණ මහා බි්‍රතාන්‍යය, ජර්මනිය, ඔස්ටි්‍රයාව වගේ රටවල මේවා ගැන ප්‍රතිපත්තිමය සංවාද තියෙනවා. ඒත් අපේ රටේ වැඩිපුර තියෙන්නෙ ගැලරි සංවාදනෙ. ඒ ගැලරි සංවාද ප්‍රතිපත්තිමය සංවාදයක් දක්වා තල්ලු කරගන්න අවශ්‍ය වෙනවා. ගැලරි සංවාද තාවකාලිකයි. ප්‍රතිපත්තිමය සංවාද දීර්ඝකාලීනයි. ඒ වගේ සංවාද කරන්න තරම් ලංකාවෙ දේශපාලනය දියුණුත් නෑ, ලංකාවෙ පුරවැසියො දියුණුත් නෑ. ලංකාවෙ ආයෝජන සිදුකරන ආකාරය, ඒවට භූමිය අත්පත් කරගැනීම මේවා සෘජුවම විදේශ ප්‍රතිපත්තිය සහ ජනජීවිතය එක්ක ගැටගැහෙනවා.
උදාහරණයක් විදිහට ඉරණවිල ඇමෙරිකානු හඬ බලන්න. ඒකට ලංකාවෙ පුරවැසියන්ට තියා අදාළ අංශවල රාජ්‍ය නිලධාරීන්ටවත් යන්න තහනම් කරලා තිබුණෙ. සාම්පූර්වලත් ඉන්දියාව ඒ වගේ යම් පාලනයක් සහිත කොටසක් තියාගෙන හිටියා. ගාන්ධි මාවත ඒ දක්වා හැදුවා. මේවා ජනතාවට අදාළයි. ත්‍රීකුණාමලයෙ තෙල් ටැංකි සම්බන්ධයෙන් ඉන්දියාව හැර වෙනත් රටක් එක්ක අපිට ගනුදෙනු කරන්න බෑ. ඒක අසූ හතේ ඉන්දු – ලංකා ගිවිසුමේ තියෙන කාරණයක්. ඉතින් මේවා ජනතාවට සෘජුව ම අදාළයි.

අපේ විදේශ ප්‍රතිපත්ති හදද්දි ලෝකයේ භූදේශපාලනික වෙනස්වීම් හරියට තේරුම් අරගෙන වැඩ කරලා තියෙනවද?

අනෙක් හැම කාරණයකදිම වගේ ම මෙතැනදිත් අපි එදා වේල ගැටගහගන්න එක ගැන විතරයිනෙ බලලා තියෙන්නෙ. මලක්කා සමුද්‍රසන්ධිය ආසන්නයේ පිහිටි බංගලාදේශයේ ප්‍රශ්නයට අදාළ දූපත බලන්න. මේ කලාපයේ පෝක් සමුද්‍රසන්ධිය සහ මලක්කා සමුද්‍රසන්ධිය අතර වෙළෙඳ ආර්ථික ආධිපත්‍යයක් පිළිබඳව චීනයේ සහ ඉන්දියාවේ අභිලාශයන් රැසක් තියෙනවා. චීනය කොච්චර මෙතැනදි ඉස්සරහට ගිහින් ද කියනව නම්, චීනය තායිලන්තයේ ක්‍රා ඇළ කපනවා. ඒ සේතු සමුද්‍රම්වලට විකල්ප මාවතක් විදිහට. ඒකෙන් සිංගප්පූරුව මගහැරලා කිලෝමීටර් දාහකට වැඩිය අඩු දුරකින් කලාපයේ වෙළෙඳ කටයුතු හසුරුවන්න පුළුවන්. ඒකෙ අනෙක් පැත්තෙ තියෙන්නෙ ත්‍රීකුණාමලය වරාය. මේකත් එක්ක ඉන්දියාව විශාඛාපට්නම් සහ අදානි වරාය දියුණු කරනවා. මේ වරායවල් සංවර්ධනය වෙන්නෙ භූදේශපාලනික වුවමනාවල් එක්ක.
අනෙක් පැත්තෙන් බලන්න, කොළඹ වරාය නගරය වගේම සිංගප්පූරුවෙන් ත්‍රීකුණාමලය වරාය නගර ව්‍යාපෘතිය වේගයෙන් ක්‍රියාත්මක කරනවා. එතකොට ඒකට සමගාමීව රනිල් වික්‍රමසිංහ මහත්තයා ගිහින් ත්‍රීකුණාමලය දියුණු කරන හැටි කියනවා. අනුරාධපුරේ පූජා නගර සැලැස්මත් මේකට සම්බන්ධයි. ඒක ප්‍රංශෙට බාරදුන්නෙ 1996දි. ඊට පස්සෙ විකල්ප බලශක්ති ව්‍යාපෘතියක් ගේනවා අදානි සමාගමෙන් මන්නාරමට. මේක සංකීර්ණ එකක්. උදාහරණ රැසක් එක්ක කතා කරන්න පුළුවන්.
මේ වෙනකොට ලෝකය ලංකාවට අදාළ බලශක්ති ව්‍යාපෘති හදලා ඉවරයි. භූදේශපාලනික විදිහට අපි ඉන්නෙ උගුලක. එක පැත්තකින් මේ උගුලෙන් ගැලවෙන්නත් බෑ. අතහරින්නත් බෑ. හම්බන්තොට බලන්න. එහෙ චීන ව්‍යාපෘතිය කරන කොට, ඉන්දියාවෙ මහ කොමසාරිස් කාර්යාලයක් එහෙ විවෘත කරනවනෙ. ඇයි මේක හම්බන්තොටටම ගෙනියන්නෙ. චීන තානාපති කාර්යාලය මන්නාරමේ දූපත් අධ්‍යයනය කළා, මීට වසර තුනකට කලින්. ඒක නිසා මේ කාරණා නොසලකා හෝ ජනතාවගෙන් හංගගෙන විදේශ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න බෑ. විශේෂයෙන්ම ලංකාව වගේ ආර්ථික පැත්තෙන් අමාරු තැනක ඉන්න රටකට මෙතැනදි හිතාගන්න බැරි තරම් උපක්‍රමශීලී වෙන්න සිද්ධ වෙනවා.
නෝර්වේ 1980දි වගේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළා, හම්බන්තොට වෙරළ සහ මන්නාරම වෙරළ ආශ්‍රිතව. තව ඒ වගේ එකක් ක්‍රියාත්මක කළා, මොණරාගල මූලික කරගෙන. මේ වාර්තාවල ලංකාවෙ සම්පත් ගැන තොරතුරු රැසක් ඇතුළත් වුණා. මේවා රුසියාවට ගියා. ඊටපස්සෙ චීනෙට ගියා. ඊටපස්සෙ තමයි ඇත්තටම ලංකාවට මහා පරිමාණ චීන ව්‍යාපෘති එන්න ගත්තෙ. ඒක නිසා මේ කිසිවක් හුදෙකලා නෑ. මේ ඔක්කොම විදේශ ප්‍රතිපත්ති මෙහෙයුම්. ජල කළමනාකරණයත් එහෙමයි. වතුර කියන්නෙ ලෝකයේ තියෙන ලොකුම වෙළෙඳපොළක්. මේ දීර්ඝකාලීන ව්‍යාපෘති නොසලකා හැරලා අපිට විදේශ ප්‍රතිපත්ති හදන්නත් බෑ, ක්‍රියාත්මක කරන්නත් බෑ.

දේශපාලන පක්ෂයක අරමුණ බලය ගන්න එක. බලය ගන්න ඕනෙ ජනතා කැමැත්තෙන්. මේකට රටවල් අත්පත් කරගන්න අවශ්‍ය කණ්ඩායම් මැදිහත්වෙන්නෙ කොහොමද?

දේශපාලන පක්ෂයක සරල අරමුණ බලය ලබාගැනීම සහ ඒ ගත්තු බලය පවත්වාගෙන යෑම. විදේශ මෙහෙයුම්වල අරමුණ රටවල් අත්පත් කරගැනීම. ආණ්ඩුවක බලය අත්පත් කරගැනීමයි, රටවල් අත්පත් කරගැනීමයි කියන්නෙ දෙකක්. රටවල් අත්පත්කරගන්න නම්, තමන්ට අවනත ආණ්ඩු බිහිකරගන්න ඕනෙ. ඒවා ලංකාව ඇතුළෙ ක්‍රියාත්මක වෙන විදිහ අපි දකිනවා. මැතිවරණයක් ආසන්නයෙ තියාගෙන ඉන්දියාවෙ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් ලංකාවට ඇවිත් ජනාධිපතිවරයා ඇතුළු ඡන්දෙට ඉදිරිපත් වෙන ප්‍රධාන අපේක්ෂකයන්, දේශපාලන පක්ෂ නායකයන් මුණගැහෙනවා.
මේවා සාමාන්‍ය සංචාර නෙමෙයි. අනෙක් පැත්තෙන් ආරක්ෂක උපදේශක කියන්නෙ දේශපාලනඥයෙක් නෙමෙයි. ඔහු උපදේශකයෙක්. පර්යේෂණ කණ්ඩායමක ප්‍රධානියෙක්. ඉන්දියාවෙ අගමැතිට ළඟින්ම ඉන්න කෙනෙක්. මේවා උපායමාර්ගික ප්‍රවේශයන්. අපි හිතන්නත් කලින් ඔවුන්, ඔවුන්ට අවශ්‍ය කෙනෙක් තෝරාගන්න මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා. අපි ඒවා ගැන හිතලවත් නෑ. අපි තවමත් ගැලරියෙ. ඒ රටවල ප්‍රතිපත්ති සම්පාදකයන්ට, උපදේශකයන්ට ඒ රටවල ආණ්ඩු පවා මාරුකරන්න පුළුවන්. දේශපාලනඥයා පිටට පේන චරිත. ඇමෙරිකාවෙත් එහෙමයි.
සුබසාධන දෘෂ්ඨිය විතරක් නෙමෙයි, මේ රටවල ඡන්දදායකයා බලන්නෙ. ජාතික ආරක්ෂාව, රට යන්නෙ කොතැනටද කියන එක. ලංකාවෙදි ඒවා මූලික වෙන්නෙ නෑ. ලංකාවෙ ජාතික ආරක්ෂාව කියලා කළේ රැවටිල්ලක්නෙ. අපිට දෙන ඕනෙ ව්‍යාපෘතියක් අපි බදාගන්නවා.

අලුත් ජනාධිපතිවරයෙක් පත්වෙන්න නියමිතයි. ඔහු කොැතනටද මේක අරගෙන යන්න ඕනෙ… ?

කිසියම් රටක් බාහිර ලෝකයේ බලවේගවලට සහ අභියෝගවලට දක්වන ප්‍රතිචාරය තමයි, විෂය මූලිකව ගත්තොත් විදේශ ප්‍රතිපත්තියක් කියලා හඳූනාගන්නෙ. ඒ කියන්නෙ රටක විදේශ ප්‍රතිපත්තියක් හදන්න ඕනෙ ජාත්‍යන්තර යතාර්ථයන්ට අනුකූලව. බොරු දේවල් මවාගෙන වැඩක් නෑ. ඔය සමහර වෙලාවට මතුකරන කුමන්ත්‍රණ කතාවලින් වැඩකුත් නෑ. ඒවා තාවකාලික වින්දන.
ජාත්‍යන්තර වශයෙන් අපි මොන ප්‍රතිපත්ති ද අනුගමනය කරන්නෙ, මොන සාරධර්ම ද අපි එතැනදි ඉස්සරහට අරගෙන යන්නෙ, අපි ඒවට කැපවෙනවද, අපිට ඒවට කැපවෙන්න පුළුවන්ද කියන කරුණු මෙතැනදි වැදගත්. මොනවා වුණත් අපේ ශක්තිය ගැනත් අපිට අදහසක් තියෙන්න ඕනෙ. වර්තමාන ලෝකයෙදි අපිට තනියෙන් ඉන්න බෑ. ලෝකයේ තියෙන අන්තර්බැඳීයාවන් තේරුම්ගන්න ඕනෙ.
ඉන්දියාව බලන්න, ඔවුන් රුසියාවයි, චීනයයි එක්ක එකට ගනුදෙනු කරනවා. ඒ විතරක් නෙමෙයි, රුසියාවයි, යුක්‍රේනයයි එක්කත් ගනුදෙනු කරනවා. ඒ රටවල් දෙකේ යුද්ධය ඔවුන් අදාළ කරගන්නෙ නෑ. රටක තියෙන බලයත් එක්ක අපි වැඩ කරන්නෙ කොහොමද කියන එක ගැන උපක්‍රමශීලීව බලන්න ඕනෙ.
රටක විදේශ ප්‍රතිපත්තිය මූලික අංග දෙකක් යටතේ විහිදෙනවා. එකක් තමයි, කිසියම් රටක ජාතික අරමුණ මොකක්ද කියන එක. දෙවැනි එක තමයි, ඒවා ලබාගැනීමට කිසියම් රටකට තියෙන හැකියාව සහ ඒකට යන මාර්ගය මොකක්ද කියන එක. ලංකාව වගේ රටකට ඉතා ම ප්‍රවේශමෙන් තමයි විදේශ ප්‍රතිපත්තිය හසුරුවාගන්න වෙන්නෙ. බලයට පත්වෙන රාජ්‍ය නායකයා කවුද, ඔහුගේ භාවිතාව මොකක්ද, ඔහු දූෂිතයෙක් ද, ඔහුව හසුරුවාගන්න ඕනෙ කොහොමද කියන කරුණු ජනාධිපතිවරණයක් ආසන්නයෙදි බලවත් රටවල් අනිවාර්යෙන්ම සලකා බලනවා. ඒ අනුව ඔවුන් අපිව හසුරුවන සැලසුම හදනවා. අපි අපේ සැලසුම හදාගන්න ප්‍රමාද වෙන තරමට ඒගොල්ලොන්ගෙ සැලසුම්වලට අපි අහුවෙනවා.

සාකච්ඡා සටහන – ශාලික විමලසේන

Related articles

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...