“සංස්කෘතික කොදෙව්වෙන් සොරාගත් ජීවිත X – ray කිරීම” – සාරි ඇඳපු පිරිමි

Share post:

ලාංකේය නුතන නවකතාව තුළ හමුවන දුර්ලභ ගණයේ කතා වස්තුවකින් වැසුණු අපුරු නවකතාවක් මෑතකදී කියවන්නට ලැබුණි. ඒ විෂ්ණු වාසුගේ ‘සාරි ඇඳපු පිරිමි’ නවකතාව. ‘සාරි ඇඳපු පිරිමි’ ආඛ්‍යානය දුර්ලභ ගණයේ කතා වස්තුවක් අන්තර්ගත නවකතාවක් බව සඳහන් කළේ හේතු ඇතිව ය. ලාංකේය නූතන නවකතාවන් බොහෝමයක් ලියවෙන්නේ ඓතිහාසික ශානරය යටතේය. අනෙක් අතට ඓතිහාසික නොවුවත් වට්ටෝරුගත වු කතාවස්තුවක් අලුත් වටයකින් පාඨකයා වෙත ගෙන ඒමක් ලාංකේය නූතන නවකතාවල මා පෞද්ගලිකවම නිරික්ෂණය වූ කාරණාවකි. ප්‍රේමය පිළිබඳ සංකීර්ණතා, විදේශ රටවල සංක්‍රමණික ජීවිත, කාන්තාවන් මුහුණ දෙන අර්බුද, දේශපාලනය පිළිබඳ ගැටලු ආදිය ප්‍රස්තූතය බවට පත් කරගනිමින් එම තේමාවන් අතොරක් නැතිව පාඨකයා වෙත නිරතුරුවම ගෙන එන්නකි. නමුත් ‘සාරි ඇඳපු පිරිමි’ හරහා විෂ්ණු වාසු ගෙන එන්නේ නවීන ලෝකය තුළ දැඩි සේ කතා බහට ලක්වන LGBTQ+ ප්‍රජාව පිළිබඳ කතාන්තරයකි.

මෙය කතුවරයාගේ පෞද්ගලික අත්දැකීමක් ද? නැතහොත් හුදු ප්‍රබන්ධයක්ද? යන්න අප නිශ්චිතවම නොදනිමු. නමුත් සාරි අඳින පිරිමි පිළිබඳ යමි කථිකාවතක් ගොඩ නඟන්නට මෙම කෘතිය හරහා යොදන සානුබලය අතිශය වැදගත් යැයි සළකමි. මන්ද ලංකාවෙි කාන්තාව දෙවන පෙළ පුරවැසියෙක් ලෙස ආන්තිකරණයට ලක්වෙමින් අරගලයක යෙදෙන මොහොතක් තුළ සංක්‍රාන්තික ලිංගික ප්‍රජාව පිළිබඳ ආන්තිකභාවය සහ සංස්කෘතික සීමාකමි කෘතිය පුරාවට අතිශය සංවෙිදි ලෙස නිරූපණය කරයි.

නවකතාව පුරාවටම පුරුෂාධ්පත්‍ය විසින් ගිලගත් බවට සංඥා කරන උතුරුකරයේ වැලිවැටිතුරෙයි උපන් ‘අර්ජුන’ නමි චරිතය පශ්චාත්තාපී හදවත් ඇත්තකුගේ අභ්‍යන්තර මානසික ගැටුම පිළිබඳ විවර කරයි. ආත්ම පශ්චාත්තාපය පිළිබඳ ආවර්ජනයක් වනවා සේම සුළු ජාතිය ලෙස හංවඩු ගසන ද්‍රවිඩයන්ට සිදුවන අනර්ථයන්හි පැතිකඩක් ද මෙම ආඛ්‍යානය තුළ නිරූපණය කරයි. පුරුෂයෙකුට පුරුෂත්වය තුළ හිමිවන වරප්‍රසාද ලිංගිකත්වය පිළිබඳ ඇති දෘෂ්ටිවාදීමය අදහස් නිසා අහිමි වීම අසාධාරණ බව සහ වින්දිතභාවයට (Victimize) ලක්වන ආකාරය පිළිබඳ තතු “අර්ජුන” සහ “ලක්ෂ්මි” යන චරිත විසින් මතු කරයි. කුලවාදය සහ පවුල් සමිබන්ධතාවයෙන් බැටකන ලක්ෂ්මි තමා අවට ඇති ලෝකයෙන් ආදරයත්, නිදහසත් අපේක්ෂා කරයි.

නවකතාව තුළින් සන්නිවෙිදනය කරන යුධමය තත්ත්වයක් තුළ දී ඊට ගොදුරුවූවන්ගේ මතකයන් සමඟ දිවි ගෙවන සමීපතයන්ගේ වෙිදනාව පිළිබඳවයි. ස්ව අනන්‍යතා අර්බුදය (self Identity crisis) වෙත ගොදුරු වූ ‘අර්ජුන’ පශ්චාත්තාපී හදවත් ඇත්තකුගෙ ශෝකාලාපය කෘතිය තුළින් ප්‍රේක්ෂක මනස කළඹයි. ශිෂ්ටාචාරය තුළ මිනිසුන් මිනිසුන් සමඟම සටන් කර බලය (Power) සහ ජාතිකත්වය (Nationality) පතා අපි සංග්‍රාම, අරගල, විප්ලව මඟින් තවමත් අපි වන්දි ගෙවමින් සිටිති. අර්ජුන සහ ලක්ෂ්මිගේ අනෙකා විසින් සිරගත කළ ආත්මය නිදහස් වන්නේ මරණය තුළම බව නවකතාවේ අවසානය තුළ සළකුණු කරන්නේ දිවියේ දැඩි අසාර බව මෙයම බව සංඥා කරමින්.

කතුවරයාට ආවෙිණික වූ අලංකාරවාදී බස් වහරක් අර්ජුනගේ කතාව කියන්නට යොදා ගනී. පිටු 180ක් පුරාවට ආඛ්‍යාන ස්වරූපය තුළ තිබෙන අති සරල බව තුළින් කෘතිය බාධාවකින් තොරව එක දිගට කියවිය හැකි ලෙස අවකාශය පාඨකයා වෙත සලසා දී තිබෙි. ‘සාරි ඇඳපු පිරිමි’ නවකතාව තුළ අර්ජුනගේ නිරූපණය විසින් විදහාපාන ලිංගික අනන්‍යතාවය (Sexual Identity) පිළිබඳ සංවාදය ඉතාමත් වැදගත් වෙයි. අර්ජුන සමාජය විසින් තාඩන පීඩනවලට ලක් කරන අයුරුත්, එම සමාජ පීඩනයට එරෙහිව පෙරළා තම ආත්මාභිමානය වෙනුවෙන් සටන් වැදෙන අයුරු පිළිබඳ කදිම නිරූපණයක් ලෙස ‘සාරි ඇඳපු පිරිමි’ නවකතාව හඳුන්වන්නට පුලුවන්.

සංක්‍රාන්තික ලිංගික ප්‍රජාව පිළිබඳ සහ සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව කෙරෙහි දක්වන ආකල්ප පුළුල් ලෙස වෙනස් කිරීමට ‘සාරි ඇඳපු පිරිමි’ වැනි නවකතාවකට තිබෙන ශක්‍යතාවය බොහෝ සෙයින් තියුණු ය. පුද්ගල නිදහස, ස්ත්‍රී – පුරුෂ සමාජභාවය, මානව සමිබන්ධතාහි අති සංකීර්ණබව සහ ප්‍රේමයේ අහිමිවීම පිළිබඳ කියැවෙන ‘සාරි ඇඳපු පිරිමි’ යනු ප්‍රශස්ත මටිටමෙි නවකතාවකි. ‘සාරි ඇඳපු පිරිමි’ යනු මා මෑතක කියවූ වඩාත් ආකර්ෂණීය කෘතියකි. විෂ්ණු වාසුගේ වචනයෙන් කියනවා නම් ‘අතාරින්න එපා ඒ ආනන්දය’.

මලින්ත විතානගේ

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...