සජිත් සහ අනුර තවමත් 50:50 – NPPය නියෝජනය කරන ප්‍රබල වමට මුහුණ දෙන්නට ප්‍රබල දකුණක් අවශ්‍ය වෙනවා

Share post:

මේ මොහොතේ ලංකාවේ සිදුවෙමින් පවතින දේශපාලන පෙරළිය නිසා අනිවාර්‍යයෙන් ම සිදුවෙන දේවල් කිහිපයක් තියෙනවා.
පළමුවෙනි එක වන්නේ මෙතෙක් කලක් ලංකාවේ දේශපාලනය කියා තිබුණු පවුල් කිහිපයක් සහ ඒ පවුල් වටා ගොනු වී සිටින සහචරයන් අතර පැවති බලපොරය වෙනුවට වම-දකුණ අතර දෘෂ්ටිවාදීමය සටනක් නිර්මාණය වීමයි.

ලංකාවේ දේශපාලනය කියා අප සුලභව දකින හැම දෙයක් ම මේ පවුල් කිහිපයක් සහ ඒවායේ සහචරයන් අතර කාලාන්තරයක් තිස්සේ පැවති බල පොරය නිසා නිර්මාණය වූ ඒවයි. බත් පැකට් එකට, ගල් කාලට රැස්වීම්වකට එන මිනිසුන්, සල්ලිවලට සංවිධානය කරන රැස්වීම්, තාත්තාගෙන් පුතාට හෝ දුවට යන පක්ෂ තනතුරු, සල්ලි බලයෙන් කරන දේශපාලනය, පස්-ගල්-වැලි-බාර් පර්මිට්, පාරවල් බෝක්කු හදන කොන්ත්‍රාත් වැනි හැම දෙයක් ම ඒ බලපොරයේ ප්‍රතිඵල ලෙස නිර්මාණය වූ ඒවායි.

ලංකාවේ දේශපාලනය මේ තරම් කිළිටි, වල් වැදුණු, ජරාජීර්ණ සහ බුද්ධිමය අතින් දුප්පත් එකක් වූයේ ද මේ බලපොරය නිසයි.
රට බංකොළොත්වීමේ සහ එයට එරෙහිව නැගුණු මහජන ප්‍රකෝපයේ ප්‍රතිඵලයක් ලෙස මේ සාම්ප්‍රදායික දේශපාලන මොඩලය ප්‍රතික්ෂේප වී තිබෙනවා. රටේ දැන උගත් මිනිසුන්ගෙන් බහුතරයක් එයට එරෙහිව ඡන්දය දිය යුතු ‍යැයි කියන මතයට ඇවිත් තිබෙනවා. රටේ සමස්ත ඡන්ද දායකයන් අතරින් එය කෙතරම් විශාල හෝ කුඩා පංගුවක් ද කියන එක සංඛ්‍යාත්මකව මා දන්නේ නැහැ. එයට උත්තර ලැබෙන්නේ සැප්තැම්බර් 21 වන දා රාත්‍රියටයි.
කොහොම වුණත් ජාතික ජන බලවේගය නියෝජනය කරන ‘වම’ මේ ඡන්දයත් සමග ලංකාවේ දේශපාලනයේ ප්‍රධාන ධාරාවක් බවට පත් වී තිබෙනවා. මෙතෙක් කල් ප්‍රධාන ධාරාව වී තිබුණේ අර පවුල් හෝ පෙළපත් නම් කේන්ද්‍ර කරගෙන හැදුණු පක්ෂයි. එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොහොට්ටුව, සමගි ජන බලවේගය විදියට විවිධ වේශයන්ගෙන් පෙනී හිටියත් මේ හැම එකකම තිබුණේ එක ම ආකෘතියයි. මේ හැම එකක ම තිබුණේ සහචරවාදයයි. මේ හැම එකක ම රජ කළේ මුදල් බලය සහ ප්‍රභූ බලයයි. මේවා ඇත්තට ම විධිමත් පක්ෂවලට වලට වඩා නායකයන් වටා ගොනුවුණු සහචර කල්ලි යැයි කීවොත් නිවැරැදියි.

දැන් ජාතික ජන බලවේගය නියෝජනය කරන ප්‍රබල වමට මුහුණ දෙන්නට ප්‍රබල දකුණක් අවශ්‍ය වෙනවා. නමට දකුණක් නොව දෲෂ්ටිවාදීමය වශයෙන් දකුණක් අවශ්‍ය වෙනවා. සහචරවාදය මත නොව ‘කුසලතාවාදය’ ( Meritocracy) මත ක්‍රියාත්මක වන, දක්ෂයන්ට ඉහළට මතුවිය හැකි දකුණක් අවශ්‍ය වෙනවා. බත් පැකට් එකට, අරක්කු කාලට, රුපියල් දෙතුන් දාහක් අතමිට මොළවා මිනිසුන් රැස්වීම්වලට ගෙන එනවා වෙනුවට ඇත්තට ම මිනිසුන් බලමුළු ගැන්විය හැකි, මිනිසුන්ට බලාපොරොත්තුවක් එන්නත් කරවිය හැකි දකුණක් අවශ්‍ය වෙනවා.
රනිල් සහ සජිත් යන දෙදෙනාට ම මේ දකුණට නායකත්වය දිය නොහැකියි. රනිල් දැන් කල් ඉකුත් වී අවසන්. සජිත් යම් හෙයකින් මේ ජනාධිපතිවරණය දිනුවත් ප්‍රබල වමක් තමන් ගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන පසුබිමක ඔහු ඉතා ම දුර්වල ජනාධිපතිවරයෙකු බවට පත්වීම නොවැළැක්විය හැකියි. ඒකට හේතුව ප්‍රබල වමකට මුහුණ දිය හැකි දෘෂ්ටිවාදයක් ඔහු සතුව නැතිවීමයි. එහෙම තත්ත්වයක් යටතේ වුණත් අර මම කියන හිඩැස ඉබේට ම හැදෙනවා. මම හිතන්නේ තවමත් ජනාධිපතිවරණය ජයගන්නට සජිත් සහ අනුර අතර 50:50 සම්භාවිතාවක් තියෙනවා.

එයින් පසු ලංකාවේ තියෙන්නේ ලිබරල් වම, රැඩිකල් වම සහ දක්ෂිණාංශය අතර සටනක්. රාජපක්ෂවාදීන් ගේ, ප්‍රේමදාසවාදීන් ගේ, රනිල්වාදීන් ගේ, බණ්ඩාරනායකවාදීන් ගේ සහ ඔවුන්ගේ ගජමිතුරන් ගේ යුගය එතැනින් නිමාවට පත්වෙනවා. මම හිතන්නේ මේක ලංකාවේ දේශපාලනයේ ඇති විය යුතු ම වෙනසක්. කවදා හෝ දවසක සිදුවන්නට නියමිතව තිබුණු වෙනසක්.

මේ ජනපතිවරණයෙන් සජිත් දිනුවොත් අනුරට තියෙන්නේ තවත් අවුරුදු දෙක තුනක් විපක්ෂයේ බලය අල්ලාගෙන සිටීම විතරයි. ඒක එච්චර අමාරුවක් හෝ අභියෝගයක් නැතුව සිදු කළ හැකි දෙයක්. මේ මැතිවරණය අනුර දිනුවොත් ඊළඟට අවස්ථාව උදාවෙන්නේ ‘දකුණ’ට දෘෂ්ටිවාදීමය නායකත්වය ලබාදිය හැකි පුද්ගලයාට හෝ බලවේගයටයි. අනුර ගේ සහ ජාතික ජන බලවේගයේ ‘අනෙකා’ටයි. ඒ කවුද කියා දැන් තියාම හිතන්නට යාම තවමත් කුස තුළ ඉන්න දරුවෙකුට වේලාපත්කඩය හදන්නට යාම වැනි තේරුමක් නැති වැඩක්. කේන්දරයේ ඉන්න ග්‍රහයන් ගැන සිතිය යුත්තේ දරුවා ඉපදුණු පසුවයි. ඒ නිසා මේ වෙලාවේ පුද්ගල චරිතවලට වඩා අවධානය යොමු කළ යුත්තේ එතන හැදෙන අවකාශයටයි. මා තවදුරටත් රනිල් ගැන කතා කරන්නට වෙලාව නාස්ති නොකරන්නේ මහා ප්‍රාතිහාර්‍යයකින් නොවන්නට රනිල්ට මේ ජනාධිපතිවරණය ජයගන්නට නොහැකි නිසයි. බැරි වෙලාවත් එහෙම මහා ප්‍රාතිහාර්යයක් පෙන්වන්න පුළුවන් වුණොත් රනිල් ගේ පිළිම හදා වන්දනා කළත් පාඩුවක් වන්නේ නැහැ.

තවත් සමහරුන් හිතන්නේ මේ මැතිවරණය ජාතික ජන බලවේගය ජයගතහොත් ඔවුන් මර්දනයෙන්, රාජ්‍ය බලයෙන්, ‘ලාල් කාන්ත’ කියන ක්‍රමයෙන් අනෙක් දේශපාලන බලවේග සියල්ල මර්දනය කරනු ඇති බවයි. මම හිතන්නේ ඒක හුඹස් බියක්. මේ භීතිකාව දැනට වඩා තිබුණේ ගෝඨාභය රාජපක්ෂ බලයට එන කාලයේ දී යි.. ඊට කලින් මාධ්‍යවේදීන් මරපු, සුදු වෑන්වලින් උස්සපු, පහර දීපු, පිහියෙන් ඇනපු ඉතිහාසයකුත් ඔවුන්ට තිබුණා. ඒ භීෂණය මැද පවා මිනිස්සු වැඩ කළා. ඒ භීෂණය මැද පවා මහින්ද ගේ නහයට යටින් මෛත්‍රිපාල සිරිසේනට විපක්ෂයේ පොදු අපේක්ෂකයා වන්නට පුළුවන් වුණා. මහින්ද රාජපක්ෂට මැදමුලන ජනේලයේ එල්ලෙන්නට වුණා. 2019 දී ගෝඨාභයට ඡන්දය දුන්න අය දුන්නෙත් “හිට්ලර් කෙනෙක් වෙලා හරි රට හදන්න” කියලයි. ඒ කාලයේ එහෙම කියපු ප්‍රසිද්ධ කතා තවමත් බොහෝ අයට මතකයි. ඇත්තට ම ඒකත් ගෝඨාභයට ලැබුණු ජනවරමේ අප්‍රකාශිත කොටසක්. ඒත් ගෝඨාභය ජනාධිපති වුණාම ඒ මර්දන යාන්ත්‍රණය ක්‍රියාත්මක කරගන්න බැරි වුණා. ගෝඨාභය හිට්ලර් කෙනෙකු හෝ මර්දකයෙකු වෙනුවට විහිළුකාරයෙකු බවට පත්වුණා. කාට වුණත් ලංකාවේ දේශපාලන නිදහසට එහෙම අත තියන්න අමාරුයි. එහෙම අත තැබුවොත් වසර දෙක තුනක් තුළ අත්වන්නේ බංග්ලාදේශයේ අවාමි ලීගයට සහ ෂීක් හසීනාට අත්වුණු ඉරණමට සමාන එකක්. ඒ නිසා මොළය කළඳක් හෝ තිබෙන කිසිවෙකු ඒ අවදානමට අත වනයි කියලා හිතන්නට බැහැ.

ඒ නිසා ම මේ මොහොතේ ලංකාවේ දේශපාලනය ගැන මට තියෙන්නේ සුබවාදී කියවීමක්. මේ පෙරළිය නොවන්නට ලංකාවේ සාමාන්‍ය දෙමව්පියන් ගේ දැන උගත්, යමක් කමක් තේරෙන දරුවන්ට පක්ෂවල නායකයන් ගේ යටිපතුල් ලෙවකන්නේ නැතුව තමන් ගේ දක්ෂකම්වලින්, කුසලතාවලින් දේශපාලනයේ ඉහළට එන්නට ඉඩක් ලැබෙන්නේ නැහැ.

ඒ නිසා මේ ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය කුමක් වුවත් ඒ ප්‍රතිඵලය තුළ කාලයක් තිස්සේ එන්නට කල් බලමින් සිටි ‘රිදී රේඛාවක්’ තියෙනවා. මා ඒ දෙස බලාපොරොත්තු සහගතව බලාගෙන ඉන්නවා.

රසික ජයකොඩි

13 – 09 – 2024

Related articles

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...