ස්වයංචරිතාපදාන නැතහොත් මතක සටහන් සාහිත්‍යය කවදත් පාඨකයන්ගේ සිත්ගත් සාහිත්‍ය ශානරයකි. කෙනෙකුගේ ජීවිතයේ වැදගත් සංසිද්ධිවල එකතුවක් ලෙස ඉදිරිපත් කෙරෙන මෙවන් කෘති විටෙක සත්‍යයට සමීපවද තවත් විටෙක ප්‍රබන්ධයට සමීපවද එසේත් නැත්නම් සත්‍යයේ සහ ප්‍රබන්ධයේ සංකලනයක් ලෙසද පවතිනු දක්නට පුළුවන. එහෙයින් ආත්ම කේන්ද්‍රීය සුරංගනා කතා බවට පත් නොවී විශ්වසනීයත්වය මෙන්ම සාහිත්‍ය රසයද රැක ගනිමින් මතක සටහන් ලිවීම අතිශයින් ම අභියෝගාත්මක කාර්යයකි. කුමුදු කුමාරසිංහගේ කොළඹ මතක 2 මෙම අභියෝගයට අභියෝග කරන කෘතියකි.
කොළඹ මතක 1 වෙත බොහෝ දෙනෙකු ආකර්ශනය වීමට මූලික වශයෙන් හේතු වූයේ එහි පැවති සමාජ මානවවිද්‍යාත්මක ගුණයයි. 1970 සහ 1980 දශක ආවරණය වන එහි අන්තර්ගත කුමුදුගේ ළමා කාලයේ අත්දැකීම් බහුතරයක් පාඨකයන්ට මෙන්ම විවරණකරුවන්ටද බෙහෙවින් දුරස්ථ වීම එහි වටිනාකම තවත් ඉහළ නැංවීය. එහෙත් කොළඹ මතක 2හි අත්දැකීම් සමුදාය අතිශයින් පෞද්ගලික නොවන අතර එම යුගයේ බහුතරයක් තාරුණ්‍යයේ අත්දැකීම්වලට අඩු වැඩි වශයෙන් සමානය. මේ නිසා පළමු කෘතියේ පැවති සමාජ මානවවිද්‍යාත්මක අවධාරණය දෙවන කෘතියේ දී සමාජ දේශපාලනික අවධාරණයක් බවට පරිවර්තනය වේ.
කොළඹ මතක 2 කෘතියේ දී ඇය ස්වකීය කලා සංස්කෘතික රස්තියාදුව වෙත වැඩි අවධානයක් යොමු කර ඇත. ඇය මෙම කෘතියට ‘ ජීවිතයෙන් වේදිකාවට ‘ යන උපග්‍රන්ථනාමය යොදා ඇත්තේ ද එහෙයිනි. එහෙත් කතුවරියගේ නිරායාස ලේඛන ව්‍යවහාරයේ විස්මය විසින් පාඨකයා වේදිකාවෙන් ජීවිතය වෙතට රැගෙන යාමට සමත් වේ.
පොදුවේ මෙම කෘති දෙකෙන්ම ක්ෂුද්‍ර ආඛ්‍යානවල ප්‍රබලත්වය මතු කෙරේ. මහා ආඛ්‍යානවල දෘෂ්ටිවාදී ආධිපත්‍යය නිසා යටපත් වී ඇති ක්ෂුද්‍ර ආඛ්‍යාන (පුංචි කතා) ජීවිතයට කෙතරම් සමීප දැයි මෙයින් නොමඳව දැනේ. මන්ද , ක්ෂුද්‍ර ආඛ්‍යානකරුවන්ට වසන් කරන්නට යමක් නොමැති හෙයිනි. මෙම ක්ෂුද්‍ර ආඛ්‍යානවලදී කථකයා පඨිතය තුළ නොපවතින පැවැත්මකි. කොළඹ මතකවලද කුමුදු සිටී. එහෙත් නොපවතී. එමෙන්ම මතක සටහන් ලිවීමේදී අනෙකාට අභියෝග කිරීමේ දෝෂයෙන් වැළකීම බෙහෙවින් දුෂ්කර වේ. එහෙත් කුමුදු කොළඹ මතකවලදී ස්වකීය අනන්‍යතාව සහ විශ්වසනීයත්වය රැක ගන්නේ අනෙකාට ඉඩ දීමෙනි. මෙම අනෙකාට ඉඩදීම පළමු කෘතියට සාපේක්ෂව දෙවන කෘතියේ දී මැනවින් දක්නට ලැබේ.
ක්ෂුද්‍ර හෙවත් චූල ආඛ්‍යානයන්හි පවත්නා තවත් ප්‍රමුඛ ලක්ෂණයක් වන්නේ බොහෝ විට එහි තාර්කික අනුක්‍රමයක් නොතිබීමය. මන්ද , පඨිතය අනවශ්‍ය ලෙස ව්‍යුහගත කිරීමට තැත් කිරීමෙන් එහි නිරායාස බව ගිලිහීමට ඉඩ ඇති බැවිනි. පුනරුක්තියද එසේය. සාහිත්‍යයේදී පුනරුක්තිය දෝෂයක් වුවද ජීවිතයේදී එසේ නොවේ. කුමුදු මෙම ව්‍යුහගත බවත් පුනරුක්තියත් එතරම් මායිම් නොකරන්නේ ඇයට ජීවිතයට ඉඩදීම ඊට වඩා අවශ්‍ය නිසා විය හැකිය.
මෙම කෘති දෙකම කියවා අවසන් කළ පසු නියත ලෙසම මෙවන් හැඟීමක් ඇති වේ. එනම් , මින් ඉදිරියට කුමුදුට පාඨකයාගෙන් ගැලවීමක් නොලැබෙන බවය. දිගටම ලියන්න .