දොර, ජනෙල් වැහිලා තියෙන එක ශෝකජනක වෙන්න පුළුවන්; නොවෙන්නත් පුළුවන්. මොකද මං මේ කවි පොත කියවන්නෙ අග සිට මුලට. “ඇයි එහෙම කියවන්නෙ?” කියලා කවුරු හරි අහන්නත් පුළුවන්. හොඳම කවි තියෙන්නෙ අග හරියෙ කියලා මට ඒකට කෙටි උත්තරයක් දෙන්නත් පුළුවන්.
තරින්ද්‍ර ගලහේනගෙ කවි මම අඳුනගත්තෙ ෆේස්බුක් එකෙන්. ඊටත් පස්සෙ කවි පිටුවලින්. තවත් පැහැදිලිව කිව්වොත් දිනමිණ කවි පිටුවට මුලින් තැපෑලෙනුත්, පස්සෙ ඊමේල්වලිනුත් එවීම නිසයි. ඉතිං මේ කවි ගැන මම කෝච්චියෙ යන ගමන් කල්පනා කරනවා. මොකද ඒවාවල මාව කල්පනාවට වට්ටනසුළු පෙළඹුම්කාරක තිබ්බා. සමහර වෙලාවට කෝච්චියෙන් බැහැලා යන ගමනුත් මං හිතනවා. මඟ දුරක් යද්දි ඒ හිතුවිලි අහසට නඟිනවා. ඒවා වලාකුළු අතරේ හැංගෙනවා. මට ආයෙ මුල ඉදන් කල්පනා කරන්නත් වෙනවා.
කාලය අහස් කූරක් වගේ ඉගිල්ලෙනවා. තරින්ද්‍ර ගලහේනගෙ කවි ආර ශීඝ්‍ර වේගයකින් වැඩිලා ඔහුගෙම හැඩයකට ක්‍රම ක්‍රමයෙන් පරිවර්තනය වෙන්න පටන්ගන්නවා.
තරින්ද්‍ර වැහුණු දොර-ජනෙල් ඇරදාලා කුඩා කුරුලු පිහාටු පාකරන්න ලෑස්ති වෙන බව මං තේරුම්ගන්නවා. ඒක ප්‍රවේසම්කාරී වගේම අලංකාර වැඩක්. භාෂාවක සාරය ස්පොන්ජ් එකකට උරාගෙන ඒ ස්පොන්ජ් එකෙන් තැන් තැන් තෙතමාත්තු කිරීම පහසු වැඩක් නෙවෙයි. කොහොමත් කවි ලිවීම පහසු වැඩක් නෙවෙයි. ඒක දීර්ඝ පුහුණුවක්, ඉවසීමක්, නිවීමක් ඇතිව කරන්න ඕන දෙයක්.
සටන් පාඨ වගේ කවි ලියලා පිටකරන ඩොපමීන් ප්‍රමාණයට වඩා අතහැරීමක් සහිත කවි ලිවීමෙන් පිට කරන සැනසිල්ල වඩා ප්‍රබලයි කියලා මට හිතෙනවා.
තරීන්ද්‍රගෙ මේ කවි බහුතරයක තියෙන්නෙ එහෙම අතහැරීමක් ඇති, සැනසීමක් තියෙන වගේම ඒ සැනසීම ම ආයෙමත් වටයකින් ප්‍රශ්න කරන ගතිකත්වයක්. භාෂාවේ සරල ඒකකය යාළුකර ගැනීම නිසාම මේ සමහරක් කවි කියවන්නාගේ හිත පිනවනවා. හැබැයි ඒ පිනවීම එන්නෙ තෙතබරිත සොවක් එක්කමයි.
77 පිටුවෙ ‘මම මොකද කරන්නෙ?’ කවියෙ ලේ විලක් වගේ අහසක් මුණ ගැහෙනවා. හඳ පිහියක් වගේ හිනාවෙනවා. මේ හඳ යට ‘ළමා කවිවල’ සිරුරු හංගලා තියෙනවා.
“ඒත්,
මං හැදිලා තියෙන්නෙ කඩදාසිවලින් බව
ඒගොල්ලො දැනගත්තොත්
මම මොකද කරන්නෙ?”
මේ මම ප්‍රිය කරන අවසානයක්. කථකයා තමන්ගෙ කැඩෙන බිදෙන සුළු බව බොහොම සන්සුන්ව කියන විදිහ හරිම ආකර්ශනීයයි. කථකයා කඩදාසිවලින් හැදිලා ඉන්න බව දැනට රහසක්. ඔහුගෙ ප්‍රශ්නය ඒක සෙසු අය දැනගත්තම මොකද වෙන්නෙ කියන එකයි.
ඊට පස්සෙ බොහෝ දේවල් වෙන්න පුළුවන්. කවුරුහරි ගිනි කූරක් පත්තු කරන්න පුළුවන්, පෙට්‍රල්-ඩීසල්-භූමිතෙල් ආදිය ඉහින්න පුළුවන්. වතුර දාන්නත් පුළුවන්. කතුරකින් කපලා දාන්නත් පුළුවන්.
මේ අවුස්සනසුළු ගතියට මම ප්‍රියයි. කවියක සියල්ල කීමේ රෝගයෙන් කවියා පෙළෙන්නෙ නැති නිසා කියවන්නාටත් තමන්ගෙ පරිකල්පනයකට ඉඩක් හම්බවෙනවා.
73 පිටුවෙ ‘ලස්සන’ කවියෙදි කථකයා කියනවා තමන් වර්ණ අන්ධ බල්ලෙක් වගේ ය කියලා. ඒ වගේම මේ කවියෙම ගම්මිරිස් ඇටේකින් හැදිච්ච බත් කූරෙක් වගේ හෙලිකොප්ටරයකුත් ඉන්නවා. (තියෙනවා නෙවෙයි, ඉන්නවා.) ඌ බෝම්බ දාලලු ඉන්ටර්නෙට් එක පුරා. ඊට පස්සෙ මට ශබ්ද සහිත වචන කීපයක් හම්බවෙනවා.
‘මම
ෆෝන් එක
බිමට
අතඇරියා’
රූපය, ශබ්දයක් විදිහට පෙරලෙනවා. ‘ඩොහ්’ ගාලා හරි ‘චක්’ ගාලා හරි බිමට වට්ටන වචන එක්ක කවිය කළුපාට රූපයක් අරන් එනවා. ඒ දහස්වෙන වතාවට මතුවෙච්ච එකක්. (ඒක තියෙන්නෙ වරහන් ඇතුළෙ) ඌ ළඟ සල්ලි නෑ කියනවා. ඇළෙන් එගොඩ කරන්න බෑ කියනවා. ඔන්න දැන් Ghibli Studio සිහියට එනවා. Ghibli චිත්‍රපට ගොඩක මේ අවතාර, හොල්මන්, ආත්ම ඉන්නවා. ඉතිං මට මේ කවියෙන් පොඩි ‘ඇනිමෙ වයිබ්’ එකක් දැනෙනවා. ඉතිං මං ඒකට ආස වෙනවා. මොකටද? කවියට; ඇනිමෙ වයිබ් එකට. එහෙම තමයි කෙනෙක් දේවල්වට ආසා වෙන්නෙ, කැමතිවෙන්නෙ. පෙන්නන දේම නෙවෙයි, එයාට සමීප දෙයක් එක්කයි එයාගෙ ආසාව වැඩෙන්නෙ. (එයා කියන්නෙ මට)
මේ කවි පොතේ මගේ ප්‍රියතම කවිය තියෙන්නෙ 70 පිටුවෙ. කවියෙ මාතෘකාව ‘ඒක සාමාන්‍ය දෙයක්’
හැබැයි මේ සාමාන්‍යයි කියන දේ අතිශය අසාමාන්‍යයි.
“ඉතින් මම හෙමින් ඇවිද්දා
වතුර යට වේගෙන් ඇවිදින්න බෑ ( ඒක සාමාන්‍ය දෙයක්)
ඒත් ටික වෙලාවක් යද්දි ඒක හරි යනවා
මිනිස්සු හරියට කැරපොත්තො වගේ
ඕනෑම දේකට හුරුවෙන්න පුළුවන්”
මේ කවියෙ තරින්ද්‍ර ලකුණ හොඳටම තියෙනවා කියලා මං හිතනවා. විකාරරූපී ගතියට උඩින් සහ යටින් තියෙන ඇත්ත ජීවිතේ මට අහුවෙනවා. සමහර දවස්වලට අපි උදේට නැගිටිද්දි සිවිලිම කිට්ටුවට වතුර පිරිලා තමයි, හුස්ම ගන්නෙත් අමාරුවෙන්. හැබැයි ඇඳෙන් නැඟිටලා කුස්සියට ගියාම වතුර බහිනව උකුල හරියට. ටිකෙන් දණහිස හරියට වතුර බහිනවා. ලියන්න පටන් ගත්තම යටිපතුල් තෙමෙන ගානට වතුර අඩුවෙනවා. තේකක් බිව්වම වතුර පොඳක්වත් ඉතිරි වෙන්නෑ. එහෙම නෙවෙයිද? මං කියන්නෙ සමහර දවස් එහෙම නෙවෙයිද?
තරීන්ද්‍ර මේ අරගෙන එන සංකල්ප රූප හරිම ජීවීයි, ඒවා දගලන සුළුයි, අපිව කුප්පන සුළුයි, සනසන සුළුයි. කවි ශරීරෙට ඕන විදිහට වැඩෙන්න නොදී මැදිහත්වීම් කරමින් කවි ශරීරය නඩත්තු කරන විදිහට මම ප්‍රියයි.
63 පිටුවෙ තියෙන ‘මේ වැහුණු දොර ජනෙල් කොතරම් ශෝකජනකද?’ කවිය බොහොම ශෝකී ටෝන් එකකින් කියවගන්න පුළුවන් කවියක්. රූපක පාවිච්චියත් හරිම මෘදුව කවියෙම දැවටිලා තියෙනවා. හරියට ‘සර-සර’ ගාන වෙසක් කොළ වගෙයි.
‘රත්තරං මාළු පැන පැන පැන යනවා අහසේ රැලි අස්සේ’
මෙන්න මේ කවියෙ ‘පැන පැන’ කියන වචන ටික පොතෙත් උඩ පනිනවා. අහසෙ රැලි අස්සෙයි මේ රත්තර මාළු එහෙම පැන පැන යන්නෙ. බලන්න ඒ පොඩි මොහොතේ ලස්සන! ඒක චිත්‍රයක්. අලංකාර ආකෘතික සෙල්ලමක් එතන වැඩ කරනවා. තිලකසේන ලකුණත් එක්ක සංයුක්ත කවියෙන් තරින්ද්‍ර වැඩගන්නවා.
“මිත්‍රයා!!
උඹ දීලා ගිය හෙවණැල්ල තාම මං ළඟ”
ඉතිං එතකොට මිත්‍රයට කෝ හෙවණැල්ලක්?
“ඔබ මෙතන නෑ – මමත් මෙතන නෑ”
බොහොම සංයමයෙන් කථකයා කියන අත් හැරීම, අහිමිවීම, ධර්ම කරුණු ආදිය මඟනොහැර කියවන්න අපිට පුළුවන්. ජීවිත කාලයක් කොහොමද ගතවෙන්නෙ කියන එක ගැන දැඩි උද්දාමයකින් තොරව තරින්ද්‍ර කියන්න උත්සාහ කරනවා කියල මට හිතෙනවා. මේ රේඛීය නොවන ගමන අතර, පුටුවක් ඇදලා වාඩිවෙන්න ඉසිඹුවකුත් තියෙනවා. රේඩියෝවකින් ඇහෙන පරණ සිංදුවක් ගැන වදවෙන්න කාලයකුත් හම්බවෙනවා. එතකොට වෙන්න ඕනා බස් හෝල්ට් පුරා මල් පිපෙන්නෙ. බළල්ලු චිත්‍රපටි සිංදු කියන්නෙ. සිලි සිලියෙ මෙරු තටුවලින් පියාඹන්නෙ. හැබැයි එයාලගෙ ඔළු ඇතුළෙ තිබ්බ මල්, කඩාගත්ත කොන්ක්‍රීට් අත් කාගෙද කියලා දන්නෙ නෑ. එහෙම දැනගන්න තරම් කාලයකුත් නෑ.
57 පිටුවෙ ‘කෙටි කවි කීපයක්’ පටන් ගන්නකොටම මෙහෙම එකක් මට හම්බවෙනවා.
‘තොල් කොච්චර සීතල වුණත්
මොනතරම් නිර්භීතකමක්ද?’
මේ කවියෙ මුල ඉන්නෙ විදුලි පහනක්. එයා තමන් ඉර නොවන බව දැන, දැනත් දැල්වෙනවා. ඒ හරියට සිපගන්නවා වගෙයි.
ඊළඟට මම ඉක්මනින් 53 පිටුවට පනිනවා. කවියෙ මාතෘකාව ‘මම ගෙදර’.
“ටිකකින් වැහි බිංදු ඇදිලා ගියා ජනෙල් වීදුරු දිගේ
හීන් මන්දගාමී වැලපුමක් එක්ක
මුහුද හොයාගන්න බැරි ගංගා වගේ”
මේක මරු යෙදුමක්. මුහුද හොයාගන්න බැරිව ගංගාවක් රස්තියාදු වෙනවලු. ඔන්න ගඟක් හතරමංහන්දියකින් එහාට යනවා, මෙහාට යනවා. රේල් පාරකිනුත් එගොඩ වෙනවා. පල්ලමකුත් බහිනවා. අනේ මුහුද කොහෙද හොයාගන්න නෑ. මේ චලන චිත්‍රෙ හරි අලංකාරයක් ඇතිවයි කවියා අපිට හදලා දෙන්නෙ. මේ උපමා හරි සීතලක් ගේනවා. හරියට ‘සිසිල ගලන මින්ට් සිදුරක්’ වගේ.
සිලි සිලි මලු ඉමිටේෂන් හංසයෝ වගේ පියාඹන කවියක් තියෙනවා 47 පිටුවේ. කවියෙ නම ‘පියවරු සහ පුත්තු’. ඒ කවියෙ යස ප්‍රශ්නයක් අහනවා. ඒක
මෙන්න මේ ආකාරයි.
“ගොඩනැගිලි උස යනවද?
(දවසින් දවස)
යනවත් ඇති නේද? කවුද දන්නෙ ඕවා!! එයාලටත් යම්කිසි ආකාරයේ හීන ඇතිනේ. “මං ලොකු වෙලා උස යනවා” කියලා හිතන ගොඩනැගිල්ලක් ගැන හිත, හිතා මං කවියෙ අන්තිම හරියට යනවා.
“ඔක්කොම ශිව ලිංග අදහන රහස් නිකායෙ උන්
ඔත්තු හොයනවා මං ගැන”
මේ කොටස හරිම මරු! ආතල්!!
ඊළඟට කවියා ගෙන්නනවා මේ ගැන සංසාරයක් නොදන්න කෆ්කාව. ගෙන්නලා වාඩි කරවනවා බැම්මක් උඩ. කෆ්කා කකුල් එහෙම බිමට දාලා වනනවත් ඇති. මිනිහා, මුහුද දිහා බලාන ඉන්නවා කියලනෙ කවියා කියන්නෙ. මෙන්න මූ ගිහිං කෆ්කාව බදාගත්තා.
“මොනවද මිනිහෝ මේ කරන්නෙ?” මං ඇහුවෙ විමතියෙන්. උත්තර නෑ!! ඇත්තනෙ කවිත් ලියලා, තව උත්තරත් දෙන්නෙ මොකටද!
ඒ අස්සෙ නගරය ගොරවනවා. එතකොට නගරය යකෙක්ද? සෙම් අමාරුව තියෙන තරබාරු මිනිසෙක්ද? මේවා ඔක්කොම එකපාර ලෙහන්න බෑ. එහෙම ලෙහන්න ඕනත් නෑ.
43 පිටුවෙ බළලෙක්ගෙ පණ නවයක් ගැන කියනවා. කවි පොතකටත් පණ නවයක්, එකොළහක්, පන්සීයක්, හත්දාස් දොළහක් වගේ තියෙන්න පුළුවන්. ඒ නිසා මේ සටහන මෙතනින් මං නවත්තනවා. එහෙම හොඳයි නේද?
කාංචනා අමිලානි
(සැප්: 03• විස්සයි විසිහතර)