‘ලේ සුවඳට ඉව අල්ලන එකට’ විමල් මේ වෙලාවේ කළ යුත්තේ කුමක්ද?

Share post:

ජනාධිපතිවරණයට හරියටම සති තුනක් තිබියදී විවිධ තලවල ප්‍රචාරක ව්‍යාපෘති සිදුවනු පෙනේ. විවිධ තලවල කුමන්ත්‍රණ සිදුවනු පෙනේ. විවිධ තලවල නාඩි ඇල්ලීම් සිදුවනු පෙනේ. විවිධ තල ඔස්සේ ජනතාවගේ ඔළු වෙනස් කරනු පෙනේ.

මේ එන්නේ රටේ රාජ්‍ය නායකයා කවුද යන්න තීරණය කරන මැතිවරණයයි. එවැනි මැතිවරණයක් දෙස ලංකාවේ ජනතාවටත් වඩා කලාපයේ රටවල් බලාගෙන සිටී. 2015 ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය ගැන හරියටම අනාවැකි පළකර තිබුණේ ඉන්දියාවයි. 2019 ජනාධිපතිවරණයට පෙර පැවැති ඉන්දීය මහ මැතිවරණයෙන් මෝදි දිනුවේය. මෝදිගෙන් පසු එන්නේ ගෝඨාභය බවට ඒ මොහොතේ අලුතින් අනාවැකි කියන්නට දෙයක් තිබුණේ නැත.

මේ වෙලාවේ වෙන කවදාවත් නොතිබුණු තත්ත්වයක් තිබේ. ඒ, අපේක්ෂකයන් සිව්දෙනෙකුගේ දැනෙන වැඩ රට පුරා සිදුවීමයි. අනෙක් හැමදාම සිටියේ අපේක්ෂකයන් දෙදෙනෙකි. සජිත්, රනිල්, අනුර, නාමල් සිව්දෙනා ම රට පුරා දැනෙන වැඩ කරති. සති තුනක් ඉක්ම යන විට මෙය අපේක්ෂකයන් දෙදෙනෙකු බවට පත්වී, පරණ තැනට වැටෙන්නට ඇති ඉඩ වැඩි ය. කෙසේ වෙතත් මේ පාර ඡන්දය යනු ජනතාවට වෙනස් අත්දැකීමකි. දැනට පෙනෙන ආකාරයට දෙවැනි මනාපය ගණන් කරන්නට සිදුවුවහොත්, සැප්තැම්බර් 22 ඉරිදා දිනය අවසාන වනවිට අවසාන මැතිවරණ ප්‍රතිඵලය නිකුත් කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැත. එය සඳූදාට යන්නේය.

මහ පොළොවේ පෙනෙන මැතිවරණ තත්ත්වය එසේ තිබියදී, පසුගිය සතියේ එළියට ආ ඇතුළේ කතා කිහිපයක් ද විය. ඒ අතරින් මුල් ම කතාව කිව්වේ සර්ව ජන බලය සන්ධානය නියෝජනය කරන හිටපු ඇමැති විමල් වීරවංශ ය.
ඇමෙරිකානු තානාපති කාර්යාලය රනිල් – සජිත් එකතු කිරීමේ මෙහෙයුමක් සිදු කළ බවත්, එය අසාර්ථක වූ බවත් විමල් කිව්වේය. එය අසාර්ථක වීමෙන් පසු රනිල්ගේ පැත්තෙන් එකදිගටම සජිත් පැත්තේ අයගේ ඇඳූම් ගැලවීමට පටන් ගත් බව ද ඔහු කිව්වේය. මෙයින් සිදුවන්නේ සජිත් දුර්විල වීම බවත්, සජිත්ගේ දුර්වල වීමෙන් රනිල්ට වාසියක් නොලැබෙන බවත් ඔහු කිව්වේය.

ඉන්පසුව ය, ඔහු ජනතාවගේ ඔළුවලට තට්ටු කළේ. ‘මේ වැඩේ කරන්නෙ තුන්වැනි පාර්ශ්වයකට වාසිය ගන්න. ලේ සුවඳ ඉව කරන පාර්ශ්වයකට වාසිය ගන්න. නැවත මැයි 09 වැනිදාවක් ඇති කරන්නයි හදන්නෙ. එහෙම කරලා රනිල් ජනාධිපති ධුරයෙ ඉන්නවා. අපේ ව්‍යවස්ථාවට අනුව ඊළඟ ජනාධිපති දිවුරුම් දෙනකම්, බලය තියෙන්නෙ ඉන්න ජනාධිපතිටමයි.’

විමල් කියන ආකාරයට රනිල්ට අලුත් ජනාධිපති වෙන්නට අවශ්‍යතාවක් නැත.
‘අපි මේවා කියන කොට සමහරු කියන්නෙ බේසමේ කිඹුල්ලු දකිනවා කියලා. මේවා බේසමේ කිඹුල්ලු දකින ඒවා නෙමෙයි. ඇමෙරිකාවට මොකටද අපේ වගේ පොඩි දූපතක් කියලා සමහරු අහනවා. මතක තියාගන්න, ඇමෙරිකාව හසීනා අගමැතිනියව එලෙව්වෙ වර්ග කිලෝමීටර් තුනක දූපතක් අයිති කරගන්න. නඩු තීන්දුවකින් හිරේට දාපු එහෙ විපක්ෂ නායිකා ඛලීඩා ෂියා එළියට ආවෙ නඩු තීන්දුවකින්ද. නෑ, බලෙන්. ඒක ගැන බටහිර රටවල් කවුරුවත් කතා කළාද. නෑ. රනිල් දිගටම බලයෙ ඉන්නයි මේ හදන්නෙ.’

විමල්, ඒ කියපු කරුණු තහවුරු කරන්නට සාක්ෂි කිසිවක් ඉදිරිපත් කළේ නැත. එහෙත් ඔහු කිව්වේ බරපතළ කතාවකි. එක පැත්තකින් දැන් අනෙක් අය කළ යුත්තේ විමල්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශයක් ගෙන, ඒ ඔස්සේ පරීක්ෂණ පවත්වා ඇත්ත හෙළිදරව් කරගෙන, මේ සිදුවන්නට යන බව කියන අපරාධය වැළැක්වීමට කටයුතු කිරීමයි. අනෙක් පැත්තෙන් විමල් ද කළ යුත්තේ අපරාධයක් සිදුවන්නට යන බව දැන-දැන ම ඉස්සරහට වැඩි විස්තර කියන බව මාධ්‍යයට කියනවා වෙනුවට, ඒ පිළිබඳ පැමිණිල්ලක් කිරීමයි.

ආරංචියේ හැටියට ජාතික ජන බලවේගයට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිහිපයක් ඉදිරිපත් වීමට නියමිත ය. එයින් එක් පැමිණිල්ලක් ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂකයාට එරෙහිව පසුගිය සිකුරාදා සිදු කෙරිණි. ඒ, රාජ්‍ය දේපොළ අවභාවිතාවක් සම්බන්ධයෙනි. තවත් පැමිණිල්ලක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට ද ඉදිරිපත් කිරීමට නියමිත බවක් වාර්තා වේ. ඒ, ඇතැම් විට විමල් කියන වර්ගයේ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් ද කියන්නට දන්නේ නැත. කොහොම වුණත් ජනතාවට ඔළුව මේ සති තුනේ ඔළුව කෙලින් තියාගෙන ඉන්නට ලැබෙන්නේ නැත. ඊට හේතුව මෙවැනි කතා රැසක් කරළියට එන්නට නියමිතව තිබීමයි.

Related articles

වැදගත්ම ආර්ථිකය : නීතිය ඊට පස්සෙ : අපේක්ෂකයන්ගෙ ජනවර්ගය අදාළ නෑ : පවුලේ කැමැත්ත පස්සට දමයි – වෙනස් හැඩයේ සමීක්ෂණයක ප්‍රතිඵල මෙන්න !

ජනාධිපතිවරණය පිළිබඳ සමීක්ෂණයක් කියූ සැණින් අපට මතක් වන්නේ ප්‍රධාන අපේක්ෂකයන් ලබාගන්නා ඡන්ද ප්‍රතිශතය පිළිබඳ ඉලක්කම් කිහිපයකි. මෙවැනි සමීක්ෂණ...

අසත්‍ය පුවත් සමාජගත කිරීම – සජිත්ට එරෙහිව ජපුරෙන් මැකොට ලිපියක් !

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් සම්බන්ධව ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස සහ ඔහුගේ නියෝජිතයන් මැතිවරණ වේදිකා හරහා අසත්‍ය පුවතක්...

සත්‍යපාල ගල්කැටියගේ ‘අරණ තුළ අරම’

සමාජයේ පවත්නා විවිධ සම්මුතිගත තත්ත්ව නිසා නැතහොත් සංකේතීය රටාව නිසා මිනිසුන්ට බොහෝවිට ස්වකීය ආශාවන් අවරෝධනය කර ගැනීමට සිදු...

‘ලයිටරේ සුළඟට විසිකළා’ – අනුසාර මාහිංගොඩ

වසර කිහිපයකට පෙර දිනෙක එක් සරසවියක මා මිතුරු මහාචාර්යවරයෙකු සමගින් සිටින විට ඔහුලේ පිහිට පතා පැමිණි සිසුවියක් කී...