‘කල්කාර’ වෙනුවෙන් වචන නොකළ, වචන කිහිපයක්

Share post:

ප්‍රවීණ කිවිඳියක ,කෙටිකතාකාරිනියක වන පද්මිණී ශ්‍රියාලතා ගේ කුළුඳුල් නවකතාව ජනගත කිරීමේ හර්දයාංගම හමුව තිබුණේ පහුගිය සෙනසුරාදා ,බදුල්ලේ පුස්තකාල පරිශ්‍රයේ.

නොයා යුතු දුරක් වුණත් ,එය නොගොස් බැරි ගමනක් වුණේ පද්මිණී වෙනුවෙන් එහි යා යුතුමයි කියන දැඩි ස්ථාවරය නිසා .
කාලය කළමනාකරණය නොවීමේ ,කණගාටුදායක තත්ත්වය නිසා ,පද්මිණී වෙනුවෙන් හදවතේ පිරුණු හැඟුම් වචන කිරීමට ඉඩක් ලැබුණේ නෑ .
ඒත් ඒවායේ උණුසුම සහ බර තවම එහෙමම යි.

ඇත්තටම පද්මිණී ට මා තුළ ඇති විශේෂ ලැදියාව නැතිනම් ගෞරවය මොකක්ද කියල ,හිතුවම මට ම ලැබෙන පිළිතුර තමයි ,ඇගේ අවංක භාවය .
ඇය අවංක මනුස්සයෙක් වගේම අවංක නිර්මාණකාරිනියක්!

ඇගේ ගනුදෙනු ව පවතින්නේ තමන්ගේ නිර්මාණය විෂයෙහි ම පමණයි .
ඒක තමයි විශේෂය .

ගම, නගරය කියන සීමාවන් පිළිබඳව ලොකු උනන්දුවක් නැති මම වගේ කෙනෙකුට ,පද්මිණී ව කියවා ගන්න ,වටහා ගන්න ,ඇගේ නිර්මාණ සමග සමීප සබඳතාවක් පවත්වා ගන්න ‘ඌවේ කිවිඳිය ,ඌවේ නිර්මාණකාරිනිය’ වගේ විශේෂණ උවමනා වෙන්නෙ නෑ .
තමන් ලියන දෙයට තමන් කරන දෙයට අවංක අල්ප ලියන්නො සහ ලියන්නියො අතරෙ ,මට අනූව පද්මිණී ඉන්නෙ බොහෝ ඉදිරියෙන් .
තමන්ගේ නිර්මාණයට අවංක වන නිර්මාණකරුවකුට හෝ නිර්මාණකාරියකට , නිර්මාණය පිළිබඳව වන අහේතුක බිය ඇති වන්නේ නෑ .සම්මාන පිළිබඳව ,විනිශ්චය මණ්ඩල පිළිබඳව ,රූපවාහිනී තිර වේදිකා පිළිබඳව තදබල උනන්දුව ඇති වන්නේ නෑ .විනිශ්චයන් පිළිබඳව වන කලකිරීම ,ශෝකය ,නොරිස්සුම ඇති වන්නේ නෑ .පාඨක ප්‍රජාව ,ලයික් කමෙන්ට් හඹා යෑම ,සාහිත්‍යමය ප්‍රතිමා වන්දනාව වැනි ඒ ඳඩු මං නඩත්තු කිරීම අවශ්‍ය වන්නේ නෑ .
ඔහු හෝ ඇය විශ්වාස කරන්නේ තමන්ගේ නිර්මාණය ම පමණයි .එම නිර්මාණ කාර්‍ය්යේදී තමන් ඊට කෙතරම් අවංක වූයේද යන තම හර්ද සාක්ෂියේ විනිශ්චය ම පමණයි .

මම දන්න පද්මිණී ශ්‍රියාලතා යන නිර්මාණවේදිනිය එහෙම කෙනෙක් .මේ මොහොතේ ත් ,හෙටත් මගේ ගෞරවය ඇයට පුද කරන්නේ ඒ අර්ථයෙන්.
ඇගේ කුළුඳුල් නවකතාව ‘කල්කාර’ තවම තිබෙන්නේ මගේ නොකියවූ පොත් ගොන්නේ.එහි අන්තර්ගතය ,සියක් වසක් එපිට ඌවේ ,ගැමි දිවිය සහ ආශ්‍රිත සිදුවීම් බව උපුටන තුළින් දැනගැනීමට ලැබුණා.

නවකතාව කියන සාහිත්‍යය ශානරයට ත් නිශ්චිත මුහුණුවරක් නෑ වගේම එසේ තිබිය යුතුමයි හෝ තිබී ඇත වගේ අදහස් ගැන මගේ ලොකු උනන්දුවක් නෑ .

කල්කාර පිළිබඳව වන විචාර ,විවේචන ගැන සාවධාන වීම නොවීම පද්මිණී ගේ අයිතියක් නිසා ,මෙහි ඒවා ලිවීම අනවශ්‍ය යි.
නමුත් ‘කල්කාර’ 2023 වර්ෂයේ ඌව පළාත් අත් පිටපත් තරඟයෙන් හොඳම නවකතා අත් පිටපත ලෙස ඌව පළාත් රාජ්‍ය සාහිත්‍යය සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා .

කල්කාර කියවන කිසිම පාඨකයෙකුට පද්මිණී ව හමු නොවෙන්න පුළුවන් .ඒක එහෙම තමයි .නිර්මාණය තුළින් අපි නිර්මාණකරුවා හොයන්න පෙළඹීම තේරුමක් නැති වැඩක්.
නමුත් මට මෙහෙම කියන්න පුළුවන් .

කල්කාර කියවන කෙනෙකු ට පද්මිණී ශ්‍රියාලතා කියන අවංක ලියන්නිය ,නිර්මාණකාරිනිය හමුවීම නම් ස්ථීරයි.!
ඒ ,ඇගේ ලිවීම් වලට ඇය අවංක නිසා .

අනුරාධා නිල්මිණි

Related articles

යාංගල්මෝදර දුම්රිය අනතුර – කලාඔයේ වතුරට දැමූ බසය – ඊළඟට අම්බුළුවාව ?

අධික වැසි හේතුවෙන් රට පුරා ආපදා තත්ත්වයක් පැවති පසුබිමක පිටාර ගලමින් තිබූ කලාඔය පාලම මතින් පොලිස් නිලධාරීන්ගේ අණ...

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...