නිහාල් පීරිස් “මහ රෑ”

Share post:

නිහාල් පීරිස් කියන්නෙ, අන්තර්ජාලය වගේ මාධ්‍ය හරහා දැනුම ප්‍රජාතන්ත්‍රීකරණය වෙන්න පටන් ගැනීම ආරම්භ වෙන්නට කලින් යුගයෙ මතවාදී අවකාශවල වැඩකරපු අයෙක්. ඔහුගේ ලේඛන විවාදාපන්න වුණා. නව සංවාද ඇති කළා. ජනප්‍රිය සංස්කෘතිය අරභයා ඔහුගේ අදහස් සාරසංවාදවලට ඉඩ සැපයුවා.

පත්තරකාරයෙක් විදිහට ඔහු විකසිත වුණේ අපේ පාසල් සමයෙ බන්දුල පද්මකුමාරගෙ සංස්කරණයෙන් නිකුත් කෙරුණු ලක්බිම පුවත්පතෙන් කියලා හිතනවා. විචිත්‍ර විකාශන -ප්‍රකාශන මාධ්‍ය නැති කාලෙ ලක්බිම එක්ක දුන්න රිද්ම අතිරේකය සෑහෙන දෙනෙකුට සෑහෙන තරම් මතකයක්.
මට මතක හැටියට නිහාල් පීරිස් රිද්ම සංස්කාරක ලෙසයි කටයුතු කළේ. රිද්ම අතිරේකයේ සතිපතා පළ කෙරුණු නවකතාවේ ලකුණ වුණේ ම නිහාල් පීරිස්. ලංකාවෙ සතිපතා පුවත්පතක පළ වුණු නවකතාවක් විදිහට “මීදුම” නොමැකෙන සලකුණක්. ත්‍රාස කතා ප්‍රවර්ගයට සහ සැණ පිටුපෙරළුම් නවකතා ප්‍රවර්ගයට ගත හැකි මේ නවකතා සිත්ගන්නාසුළු බවට පත් කර පාඨකයා වෙත ගෙන එන්නට නිහාල් පීරිස් අතිසමතෙක්. මතක විදිහට ඔහු එවැනි නවකතා කිහිපයක් පුවත්පතට රචනා කළා.

නිහාල් පීරිස්ගේ නවතම නවකතාව “මහ රෑ”. නමේ අර්ථයෙන් ම ඔහු හැසිරෙන ඉසව්වේ, ත්‍රාස එහෙම නැත්නම් ත්‍රිලර් වර්ගයේ නවකතාවක්. ඉතා ඉක්මනින් කියවාගෙන යත හැකි ආකාරයෙන් පාඨක සිත් බන්ධනය කරන්නට “මහ රෑ” ටත් හැකි වෙලා තියනවා. සරල, සුගම, ලගන්නාසුළු බස් වහරෙන් ඔහු හොඳින් වැඩ ගන්නවා.

මෙවර කෘතියෙන් ඔහු පෙර ලියූ ත්‍රිලර්මය සරලත්වය ඉක්මවා ගිය ගැඹුරක් ස්පර්ශ කරන්නට උත්සාහ ගෙන ඇති වගක් පේනවා. විශේෂයෙන් වර්තමානයේ ජීවත් වෙන පුද්ගලයෙක් තමන්ගේ ජීවිතයේ අර්ථය කුමක්ද කියලා හිතන දාර්ශනික ප්‍රවේශයක් ඔහු මෙම නවකතාව හරහා ගන්නවා. එක්තරා වයසකට එළැඹුණු පසු – මිනිසෙක් විදිහට මම මේ ලෝකයේ කර ඇත්තේ කුමක්ද? වැනි ප්‍රශ්නයක් නැගීමත් – එයට පිළිතුරු ලෙස බාහිර ලෝකයට විවර වී පිළිතුරක් සොයාගන්නට උත්සාහ දරන චරිතයක විකාශනය පෙර නවකතාවලට වඩා වෙනස් ප්‍රවේශයක් ලෙස දැකිය හැකියි.
එසේ ම ඒ පැනය හරහා ඔහු සමකාලීන ලංකාවේ සමාජයේ දේශපාලන ඉසව්වක්ද ස්පර්ශ කරනවා.

නිහාල් පීරිස්ගේ පෙර නවකතා ලේඛනයට සාපේක්ෂව මේ “මහ රෑ” කෘතියෙන් වෙනසක් සටහන් කරන බවයි පෙනෙන්නේ. ත්‍රිලර් නවකතාවකට අනන්‍ය කුතුහලය, භය, ත්‍රාසය වැනි හැඟීම් කුප්පමින් නවකතාව කූටප්‍රාප්තිගත කරන ලේඛකයා ඒ අතරට දාර්ශනික ප්‍රවේශයක් සහ ඒ මතින්ම ගන්නා දේශපාලන ප්‍රවේශයක් – ඒ හරහා යම් සමාජ විචාරයක් ද එක් කර තිබීම අගය කළ යුතු යි.

සමකාලීන නවකතා පාඨකයන් මගහැර යා නොයුතු – රසජනනමය සහ ගැඹුරක් සහිත නවකතාවක් ලෙස “මහ රෑ” හඳුන්වන්න මම කැමැතියි.

සඳුන් ප්‍රියංකර විතානගේ

Related articles

‘ණයානන්දය’ – සුරත් ද මෙල්

ජීවිතයේ සිව්වන දශකය යනු තාරුණ්‍යයේ උපරිමයත් මැදි වියේ එළිපත්තත් අතර සංක්‍රාන්ති සමයයි. ⁣මෙම අවධියේදී සමහරු විවාහ වී තෘප්තිමත්ව...

උසස් අධ්‍යාපන ආයතනවල හැංගිමුත්තන් සෙල්ලං බෑ – තොරතුරු අයිතිය තහවුරු කරමින් අභියාචනාධිකරණයෙන් තවත් තීන්දුවක් !

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීති ප්‍රවේශ විභාගයට පෙනී සිටි සිසුවියකට ඇගේ ලකුණු කළ පිළිතුරු පත්‍රය පරීක්ෂා කිරීමට ලබා...

ත්‍රිකුණාමලය මහ රෝහලේ බිලිඳු මරණය : වැඩවර්ජන නිසා සේවය පැහැර හැර පෞද්ගලික රෝහලක සේවය කළ ත්‍රිකුණාමලය GMOA සභාපතිගේ වැඩ තහනම් !

රිකුණාමලය දිස්ත්‍රික් මහා රෝහලේ රාජකාරි වේලාව තුළ සේවය පැහැර හැර පෞද්ගලික රෝහලක සේවය කිරීම සහ රාජකාරියට වාර්තා කළ...

කපිල චන්ද්‍රසේන : මරණයේ හෙවනැලි සහ දූෂණයේ අවතාර !

කපිල චන්ද්‍රසේනගේ මරණය ආන්දෝලනාත්මක ය. එහිදී සිදු වූයේ කුමක්ද යන්න ඉදිරි විමර්ශනවලින් පසු තීරණය වනු ඇත. එතෙක් මරණ...