මර්දන නීති අහෝසි කරනවද ? – වෘත්තීය සමිති, සිවිල් සංවිධාන 60ක් ජනාධිපති අපේක්ෂකයන්ගෙන් ලිඛිතව විමසයි !

Share post:

භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ඇතුළු මූලික අයිතිවාසිකම් මර්දනය කරන අණ-පනත් සම්බන්ධයෙන් අනුගමනය කරන ඉදිරි ක්‍රියාමාර්ග සහ ඒවා පිළිබඳ ස්ථාවරය කුමක්ද යනුවෙන් විමසමින් මර්දනකාරී අණ-පනත්වලට එරෙහි සන්ධානය සියලුම ජනාධිපති අපේක්ෂකයන්ට ලිපියක් යවා තිබේ.

වෘත්තීය සමිති, මාධ්‍ය සහ සිවිල් සංවිධාන 60කට අධික සංඛ්‍යාවක එකතුවක් වන මේ සන්ධානය, වැඩිදුරටත් අදාළ ලිපිය මගින් සඳහන් කර ඇත්තේ පසුගිය කාලයේදී අත්තනෝමතික ලෙස සම්මත කරගත් මර්දන නීති අහෝසි කළ යුතු බවයි. උදාහරණයක් ලෙස මාර්ගගත ක්‍රමවේදවල ආරක්ෂාව පිළිබඳ පනත සම්මත කරන ලද්දේ ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබාදුන් මාර්ගෝපදේශ ද උල්ලංඝනය කරමින් බවත්, ඒ සම්බන්ධයෙන් එල්ල වූ දැඩි විරෝධය නිසා පනත සංශෝධනය කිරීමට අදාළ කෙටුම්පතක් ඉදිරිපත් කර තිබුණත් එමගින් අවදානම නැති නොවන බවත් එම සන්ධානය ජනාධිපති ධුර අපේක්ෂකයන්ට පෙන්වා දෙයි.

එම නව කෙටුම්පතේ ද ඉතා අහිතකර කරුණු අඩංගු වන නිසා එය සම්පූර්ණයෙන් ම අහෝසි කළ යුතු බව ද එම සන්ධානය අවධාරණය කරයි. ත්‍රස්ත මර්දන සංශෝධන පනත් කෙටුම්පත, රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචිය පිළිබඳ පනත් කෙටුම්පත, කම්කරු පනත් කෙටුම්පත වැනි මර්දන කෙටුම්පත් ද අහෝසි කළ යුතු බව ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති.

ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, නීතිය හා සමාජ භාරය සහ ලංකා ගුරු සංගමය යන සංවිධාන ප්‍රධානීන් මේ ලිපියට අත්සන් තබා ඇත.

එම සම්පූර්ණ ලිපිය පහත දැක්වේ.

ජනාධිපතිධූර අපේක්ෂකතුමනි,

භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ඇතුළු මූලික අයිතීන් මර්දනය කෙරෙන  අනපනත් සම්බන්ධයෙන් අනුගමනය කරන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ස්ථාවරය ප්‍රකාශ කරන මෙන් ඉල්ලීම.

මෙම ලිපිය  ඔබ වෙත යොමු කරන ‘මර්දනකාරී අනපනත්වලට එරෙහි සන්ධානය’  මාධ්‍ය හා සිවිල් සංවිධාන මෙන්ම වෘත්තීය සමිති හැටකට අධික සංඛ්‍යාවකින් සුසැදි ජනමාධ්‍ය, මානව හිමිකම් හා සමාජ ක්‍රියාධරයින් මෙන්ම විද්වත් වෘත්තිකයන්ගෙන් සමන්විත සාමූහිකයකි. අප සන්ධානයේ අරමුණ මර්දනකාරී අණපනත්වලට එරෙහිව ගත හැකි සියලු ආකාරයේ නීත්‍යානුකූල පියවර ගැනීමයි.

මාර්ගගත ක්‍රමවේදවල ආරක්ෂාව පිළිබඳ පනත ඇතුළුව ආණ්ඩුව මෑත සම්මත කළ හා දැනට කෙටුම්පත් කර හෝ සාකච්ඡාවට භාජනය කර ඇති පනත් ගණනාවක් සම්බන්ධව අපගේ අවධානය යොමුව පවතී.  අප සන්ධානයේ ඒකමතික තීරණය  වනුයේ ආණ්ඩුව විසින් පසුගිය වකවානුව තුළ ඉතා හදිස්සියේ සම්මත කරනු ලැබූ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත ඇතුළු තවත් පනත් ගණනාවක්ම ජනතාවගේ ව්‍යවස්ථාපිත අයිතීන් කෙරෙහි ඉතා අහිතකර අන්දමින් බලපාන මහජන පීඩාකාරී පනත් වන බැවින් ඒවා  අහෝසි කළයුතු බවය.

පෙත්සම්කරුවන් 52 දෙනෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදෙන ලද ඇතැම් මාර්ගෝපදේශ පවා නොතකා හරිමින්, පාර්ලිමේන්තුව මගින් හදිසියේ සම්මත කරගනු ලැබූ  ‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව’ පිළිබඳ පනත ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ භාෂණයේ සහ ප්‍රකාශනයේ  අයිතිවාසිකම බරපතල ලෙස සීමාකිරීමක්  බව අප සන්ධානයේ ඒකමතික අදහසයි.

 අප සාමූහිකයට අමතරව   භාෂණය සහ ප්‍රකාශනයේ අයිතිවාසිකම වෙනුවෙන් ක්‍රියාත්මකවන ජාත්‍යන්තර සංවිධාන,ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාව වැනි සංවිධානවල බලවත් විරෝධය හමුවේ නැවත එම පනත සංශෝධනය කිරීමට ආණ්ඩුව විසින් සංශෝධන පනත් කෙටුම්පතක් හඳුන්වා දී ඇතත්, නව කෙටුම්පත තුළද භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට ඉතා අහිතකර කරුණු අඩංගුව පවත්නා බැවින් එම පනත සම්පූර්ණයෙන්ම අහෝසි කළ යුතු බව අප සන්ධානයේ ඒකායන ස්ථාවරයයි.

යෝජිත ත්‍රස්ත මර්දන සංශෝධන පනත් කෙටුම්පතද පාර්ලිමේන්තුවෙන් ඉවත් කර  එය නැවත  පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කිරීම සඳහා සාකච්ඡා මේසයට ගෙන යායුතු බවද අපගේ අදහසයි. එහිලා ජීනිවා මානව හිමිකම් කොමිසම සමග ශ්‍රී ලංකාවේ රජය ඇති කරගෙන තිබූ එකඟතා සැළකිල්ලට ගන්නා මෙන්ද රජයෙන් ඉල්ලා සිටීම අපගේ අපේක්ෂාවයි.

එමෙන්ම රාජ්‍ය නොවන සංවිධාන නියාමනය කිරීමට රජය විසින්  සකස් කර ඇති රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචිය පිළිබඳව පනත් කෙටුම්පත, විකාශන අධිකාරිය පිළිබඳ පනත් කෙටුම්පත, කම්කරු පනත් කෙටුම්පත ඇතුළු රජය විසින් ගෙන ඒමට සැලසුම් කර ඇති අනෙකුත් මර්ධනකාරී පනත් කෙටුම්පත් වහාම අත්හිටුවිය යුතු බවද අප සන්ධානයේ ස්ථාවරයයි.

රටක පැවැත්ම කෙරෙහි නීති රෙගුලාසි අත්‍යවශ්‍ය නමුත් ඒවා ජනහිතකාමී හා ශිෂ්ට බවේ කොන්දේසිවලට අනුකූල විය යුතුය යන්න සේම යුක්ති සහගත විය යුතුය යන්න ගෝලීය පිළිගැනීමයි. එබැවින් සියලු ආකාරයේ අහිතකර හා අශිෂ්ට නීතිවලට එරෙහිව ක්‍රියා කරන බවට අප ප්‍රතිඥා දෙන අතර ජනාධිපති අපේක්ෂක ඔබ බලයට පැමිණි පසු මේ නීති ගෝලීය ප්‍රමිතීන්ට අනුව ප්‍රතිසංස්කරණය කිරීම, අහෝසි කිරීම හෝ නැවත සළකා බැලීම සඳහා විශේෂඥ මට්ටමේ සාකච්ඡා ආරම්භ කිරීම සඳහා වන ඔබගේ කැපවීම ඇතුළත් ප්‍රතිචාරයද අපි අපේක්ෂා කරමු.

ජනාධිපතිධූර අපේක්ෂක වරයෙකු ලෙස ඉහත කරුණු  සම්බන්ධයෙන් ඔබගේ දැඩි අවධානය යොමු කරන ලෙසද, දේශපාලන පක්ෂ නියෝජිතයෙකු හෝ ස්වාධීන අපේක්ෂකයෙකු වශයෙන් මෙම කරුණු සම්බන්ධයෙන් ඔබ දරන ස්ථාවරය ඔබගේ ජනාධිපතිවරණ  ප්‍රතිපත්ති ප්‍රකාශනය ඔස්සේ  ප්‍රසිද්ධියට පත් කරන ලෙසද අපි ඔබගෙන් ඉල්ලා සිටිමු.

මේ සම්බන්ධ ඔබගේ ස්ථාවරය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුළු කරන මෙන් යෝජනා කරන අතර ඔබ හෝ ඔබගේ නියෝජිතයෙ සමග අදාල කරුණු සාකච්ඡා කිරීමට අවස්ථාව දෙන මෙන්ද ඉල්ලා සිටිමු.

අපගේ මෙම ලිපියට ඔබ දක්වන කවර අන්දමක හෝ ප්‍රතිචාරය ඡන්දදායක පුරවැසියාගේ දැනුවත් බව සඳහා සියලු ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කරන බවද කාරුණිකව දැනුම් දෙමු.

Related articles

‘ලයිටරේ සුළඟට විසිකළා’ – අනුසාර මාහිංගොඩ

වසර කිහිපයකට පෙර දිනෙක එක් සරසවියක මා මිතුරු මහාචාර්යවරයෙකු සමගින් සිටින විට ඔහුලේ පිහිට පතා පැමිණි සිසුවියක් කී...

ඉහළ ඌවේ ,ගැමි දිවිසැරිය හෙවත් ,හර්දයාංගම ආත්ම විවරණය -‘කල්කාර’

'නිග්‍රොයිඩ්-යුරොපියොයිඩ් මානව විද්‍යා ආකෘති හමුවන තවත් ප්‍රදේශයක් නම් ඉන්දියාව හා ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාවයි.මෙහි ද්‍රාවිඩියන් හා සමාන...

“සංස්කෘතික කොදෙව්වෙන් සොරාගත් ජීවිත X – ray කිරීම” – සාරි ඇඳපු පිරිමි

ලාංකේය නුතන නවකතාව තුළ හමුවන දුර්ලභ ගණයේ කතා වස්තුවකින් වැසුණු අපුරු නවකතාවක් මෑතකදී කියවන්නට ලැබුණි. ඒ විෂ්ණු වාසුගේ...

එදා වේල මේකට හරියන්නෑ : අපේක්ෂකයන්ගේ විදේශ ප්‍රතිපත්තිය රහසක් වෙන්න බෑ – ආචාර්ය ශම්මික ලියනගේ

ජනාධිපතිවරණය ආසන්නයේ තිබියදී විද්වත් සංවාදවලදී නිරන්තරයෙන් මතුවන මාතෘකාවකි, රටක විදේශ ප්‍රතිපත්තිය කෙසේ විය යුතු ද යන ප්‍රශ්නය. ජනාධිපතිවරණයට...