ශ්‍රී ලාංකේය ජනතාව ඉතා තීරණාත්මක ජනාධිපතිවරණයක් හා මහමැතිවරණයක් අභියසට පැමිණ ඇත්තේ ය . ඉන් පළමුවැන්න නම් එළැඹෙන ( 2024 ) සැප්තැම්බර් මස 21 වැනි දින පැවැත්වීමට නියමිත මෙරට නවවැනි විධායක ජනාධිපතිපතිවරයා තෝරාපත් කර ගැනීමට සදහා පවත්වන ජනාධිපතිවරණය යි.එය රට හා එහි ජනතාව වන අප හමුවේ තිබෙන ප්‍රධානතම අභියෝග බව මට සිතෙන අතර ඒ පිළිබදව මගේ පෞද්ගලික කියවීම මෙසේ සටහන් කරමි.
මෙම ජනාධිපතිවරණය සදහා මේවනවිට ජනාධිපති අපේක්ෂකයන් තිස්නව ( 39 ) දෙනෙකු නාමයෝජනා බාරදී ඇත්තේ ය . මෙම ජනාධිපති අපේක්ෂකයන් තිස්නව දෙනාගෙන් දාසය ( 16 ) දෙනෙකුම ඉදිරිපත් වී ඇත්තේ ස්වාධීන අපේක්ෂකයන් වශයෙනි. එහිලා විශේෂත්වය වනුයේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු නායක හා වර්තමාන මෙරට අටවැනි ජනාධිපති වන රනිල් වික්‍රමසිංහ මහතා ද ස්වාධීන අපේක්ෂකයකු වශයෙන් මෙම ස්වාධීන ලැයිස්තුවට ඇතුළත්වී සිටිමයි . තවද හිටපු යුද හමුදාපතිවරයකු හා පාර්ලිමේන්තුව මන්ත්‍රීවරයකු හා වරක් ජනාධිපති අපේක්ෂකවරයකු වූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ද මෙවර ස්වාධීනව ජනාධිපති අපේක්ෂකයකු වශයෙන් තරග කිරීම තවත් විශේෂත්වයක් වන්නේ ය.
1948 අප ලද ඩොමීනියන් නිදහසින් පසුව ශ්‍රීලාංකාව දේශපාලන, සමාජීය හා ආර්ථික වශයෙන් අතිශයින්ම තීරණාත්මකව සංධිස්ථානයකට පැමිණ ඇත්තේ ය . එහිලා මේ රට මෙතැනින් කොතැනට නොඑසේනම් මෙතැනින් කුමන දිශානතියට ද යන්න තීරණය කරනු පිණිස ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හා මහමැතිවරණය අතිශයින්ම තීරණාත්මකව බව පෙනේ.
රටක් හෝ සමාජයක් වශයෙන් පුරා හැත්තෑහත්වසක ( 1948 – 2024 ) ඉතිහාසයක් පුරා අප යුගයේ යථාර්තයට අනුව කවදාවත් ජාතියක් වශයෙන් වෙනස් නොවූ බව පෙනේ. එහිලා කාලෙන් කාලෙට එක් එක් පුද්ගල ප්‍රතිරූප මතද තවත් විටෙක – පක්ෂ – පාට මත ද ඉන් ඔබ්බට ගොස් ඒ ඒ පක්‍ෂ- පාට විසින් ලබාදෙන කප්පරක් බලාපොරොත්තු ( විශේෂයෙන් සහනාධාර ) මතද යැපීමට හෝ ඒ පිළිබඳව සිහින දල්වාගෙන මනෝමය වශයෙන් ජීවත්වීමට අපි පුරුදු පුහුණු වී සිටියෙමු . එහි අවසානයට අපි දැන් පැමිණ ඇත්තෙමු .
සැබවින්ම ශ්‍රීලාංකේය ජනතාව යුගයේ යථාර්තයට අනුව වෙනස් විය යුතුද ?
මිනිසා ( මානවයා ) විසින් ශිෂ්ටාචාර නිර්මාණය කර ගැනීමේ ක්‍රියාවලිය දෙස විමර්ශනාත්මකව කල්හි එහි අන්තර්ගත ජයග්‍රහණය හා පරාජයන් සම්මිශ්‍රණය වී ඇත්තේ ය . එහෙත් වසර මිලියන ගණනාවකට පෙර සංචාරක දඩයක්කරුවකු ලෙස ගතකොට එම තත්ත්වය සාපේක්ෂව ඉතා දියුණු හා ඉතා සංකීර්ණ ශිෂ්ටාචාර දක්වා ඔහු පැමිණි ගමන්මග අතිශයින්ම විචිත්‍රණ ය. එසේම විශ්මයජනක ය .
මෙම ගමන් මගෙහි වූ සුවිශේෂී ලක්ෂණයක් ඇත්තේ ය . එනම් ඒ යුගය සාපේක්ෂව වෙනස් වී නව දැක්මක් සහිතව ඉදිරි අභියෝගයවලට මුහුණදීමට ඔහු විසින් පන්නරය හා ශක්තිය උපදවා ගැනීමයි . එය අපට මිනිසාගේ පරිණතභාවය හා දුරදක්නා නුවන යැයි තවත් ආකාරයකට අර්ථ දැක්විය හැකිය.
මෙය තවත් ආකාරයකට විග්‍රහ කර බලන්නේ නම් ලෝක ඉතිහාසයේ දේශපාලන, සමාජීය හා ආර්ථික ප්‍රගමනයන් එදාමෙදාතුර සිදුවූයේ විවිධ අත්හදා බැලීම් මතය. එහිලා මිනිසුන් ඒ ඒ යුගයට සාපේක්ෂව තම විවිධ අත්හදා බැලීම් සිදුකරන ලද්දේ පවතින පීඩාකාරී හෝ ජරාජීර්ණ තත්ත්වයට ප්‍රතිවිරුද්ධව හෝ අභියෝගයක් වශයෙනි. මෙම යුගයේ යථාර්තයට එදා මිනිසා විසින් මගහැර ගියේ නම් මිනිසා තවමත් සිටිනුයේ ගෝත්‍රික යුගයේ බව පෙනේ.
මේ තීරණාත්මක මොහොතේ දී ශ්‍රී ලාංකේය ජනතාව ද අතිතයේදී තමුන් අතින් සිදුවූ කප්පරක් දේශපාලන වැරදි තීන්දු – තීරණ පිළිබඳව
ස්වයං-විවේචනයක් කොට පවතින යුගයේ යථාර්තයට නිසි-පරිදි අවබෝධ කොටගෙන ඊට අනුකූලව දේශපාලන, සමාජීය හා ආර්ථික වශයෙන් වෙනස් නොවෙත් ද අප රටක් හා ජාතියක් වශයෙන් මෙතැනින් කොතැනට ද යන්න සිතාගනු බැරිය .
පුරා හැත්තෑහත්වසරක් පුරා අප මෙතෙක් පැමිණි දේශපාලනය ගමන් මග අප කැමති වූවත් අප අකමැති වූවත් අනිවාර්යයෙන්ම වෙනස් කළයුතු තැනට කරුණු-කාරණා යෙදී ඇත්තේ ය.
එසේ නොකලහොත් මෙරට ට තවදුරටත් ඉදිරිගමනක් නොමැති බව යුගයේ යථාර්තයට අනුව පෙනේ. එහිලා රට වෙනුවෙන් හෝ අපගේ අනාගතය වෙනුවෙන් හෝ එසේත් නැතිනම් නූපන් මතු-පරපුර වෙනුවෙන් හෝ එම තීරණය ගැනීමට අපට අනිවාර්යයෙන්ම සිදුවනු ඇත.
එම තීරණය ගැනීමට හෝ ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වීමට අපට ඉතිරිව ඇති අවසන අවස්ථාව එළැඹෙන ජනාධිපතිවරණය හා මහ මැතිවරණය බව පෙනේ. අපේ හෝ සමස්ත ජාතියේ කිසියම් හෝ අවාසනාවකට එසේ වෙනස් නොවුනහොත් අපට මෙම පාදඩ දේශපාලන හා ඉන් නිර්මිත පාදඩ දේශපාලන සංස්කෘතිය තුළ තවදුරටත් ඇලීගැලී හා එතුළම මතුයම් දිනෙක මියැදීමට සිද්වනු ඇත. එසේ නොවී අප රටක් හා ජාතියක් වශයෙන් එතැනිනට යනවාද එතැනින් ඔබ්බට ගොස් අතීතයේ දී මෙන් පෞඩ නිවහල් නිදහස් ජාතියක් වශයෙන් ලෝකය හමුවේ විරාජමාන වෙනවද යන්න තීරණය කිරීමට දැන් අපට සිදුවී ඇත්තේ ය. එහි කිසියම් වූ ප්‍රමාදය හා මඟහැර යෑම අප හා රටේ සමස්ත විනාශය බව අපි හොදින් මතක තබාගත යුතුව ඇත.
විසිඑක්වැනි සියවසේ ගෝලීය දේශපාලන ( Global Politics ) වූ කලී ඒ ඒ රටවල් යුගයේ යථාර්තයට අනුව දේශපාලන, සමාජීය හා ආර්ථික වශයෙන් යාවත්කාලීන ( Update ) වෙමින් නව ලිබරල් ආර්ථිකයට ( A New Liberal Economy ) අනුව ලෝකය හමුවේ රටක් හා ජාතියක් වශයෙන් විරාජමාන වීමයි . එහිලා තම රටේ දේශීය සම්පත් – මැනවින් කළමණාකරණය කරගැනීම, නව-දැනුමෙන් හා නව-තාක්ෂණයෙන් උපරිමයෙන් ප්‍රයෝජනය ගැනීම හා තම රටේ මානව සම්පත ලෝකය ඉල්ලාසිටින ආකාරයට නිර්මාණය කරගැනීම යනාදී කරුණු- කාරණා මූලික වන්නේ ය.
ඉහත සදහන් කරන ලද ලෝකයට සරිලන රටක් නිර්මාණය කරගැනීම අවැසි නම් , එම රටේ සමස්ත ජනතාවට තම රටේ දේශපාලනය හා එහි යාන්ත්‍රණය කුමක් විය යුතුද යන්න පිළිබඳව ගැඹුරු චින්තනයක් හෝ දැක්මක් අනිවාර්යයෙන්ම තිබිය යුතුය. අප ලෝකය දෙස හැරී බලන්නේ නම් ලොව බලවතුන් සේ දේශපාලන, සමාජීය හා ආර්ථික වශයෙන් විරාජමාන වන සෑම රටකම මිනිස්සුන්ට එම රටේ දේශපාලනය යනු කුමක් ද රට කුමන දිශාවනියට ගමන් කළ යුත.ද යන්න පිළිබඳව ගැඹුරු කියවීමක් තිබෙන බව පෙනේ.
දේශපාලන විද්‍යාව අනුව රටේ සමස්ත ජනතාවගේ චින්තනය මත එම රටේ දේශපාලනය හා දේශපාලන සංස්කෘතිය නිර්මාණය වන්නේ යැයි කියැවේ.
ඉහත මවිසින් සදහන් කරන ලද දේශපාලන න්‍යායට අනුව එදා මෙදාතුර මෙරට සුවහස් ජනතාවකට රටේ අනාගත අභිවෘද්ධිය පිණිස කුමන දේශපාලනයක් හෝ දේශපාලන ක්‍රමවේදයක් රටට අවශ්‍ය වන්නේ ද යන්න පිළිබදව අවම වශයෙන් හෝ කියවීමක් තිබුණාද යන්න අප අපෙන්ම ප්‍රශ්න කරගත යුත්තේ ය.
නව ජනාධිපතිවරයා හා නව ආණ්ඩුව හමුවේ ඇති දැවැන්ත අභියෝගය කුමක්ද ?
ඉදිරි ජනාධිපතිවරණයෙන් හා මහ මැතිවරණයෙන් තේරීපත්වන ජනාධිපතිවරයා හා ආණ්ඩුව හමුවේ වචනයෙන් විස්තර කළ නොහැකි මහා අභියෝග සමුදායක් නිර්මාණය වී ඇති බව පෙනේ. එහිලා රටේ ආර්ථික අර්බුදය ප්‍රධානතම කාරණාවක් බව පෙනේ .
2022 දී නිල වශයෙන් බංකොළොත් වූ රට 2024 මුල් කාර්තුව වනවිට 5.2 ආර්ථික වර්ධනයකට පැමිණ තිබෙන බව මහබැංකුව පවසයි. මෙම ආර්ථික සංවර්ධනය අප විසින් ලබාගෙන ඇත්තේ රටේ දේශීය නිෂ්පාදන ආර්ථිකය වර්ධනය කරගැනීමෙන් නොව රට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ( IMF ) , ලෝක බැංකුව ( WB ) හා ආසියානු සංවර්ධන බැංකුව ( ADB ) යනාදියේ කොන්දේසිවලට සිත්පිත් නොමැතිව කිටිකිටියේ බැඳ තබමිනි.
“අපි IMF හා අනෙකුත් මූල්‍ය ආයතන හා ඔවුන්ගේ කොන්දේසිවලට සහමුලින්ම එකඟ වී අවසානයි . ඉදිරියට කොයි ආණ්ඩුව ආවත් ඒවා වෙනස් කරන්න බැහැ . බැරිවේලාවත් ඒවා වෙනස් කළහොත් රටේ 2022 තිබුණු තත්ත්වයට අනිවාර්යයෙන්ම වැටෙනවා” යැයි කියා පසුගියදා රනිල් වික්‍රමසිංහ මහතා තම කොට්බෑය දෙපැත්තට පද්දවමින් මහ උජාරුවෙන් රට හමුවේ ප්‍රකාශ කර සිටියේ ය. එය ඔහු හා ඔහුගේ වටා සිටින බොහෝ උදවිය දකින්නේ ජනාධිපතිවරයාගේ විශිෂ්ට අනාගත දේශපාලන දැක්මක් වශයෙනි .
( මතු සබැඳේ )