ඒ කිකිළී “උදිතාක්ෂියෙහි” කිමිඳුණු කල….- මංජුල වෙඩිවර්ධන

Share post:

සිතුවමක අර්ථය සෙවීම මෙන්ම ජීවිතයේ අර්ථය සෙවීමත් නිස්සාර ප්‍රයත්නයක් ද ? ලුම්පන් ජීවිතයක් තුළ බොහීමියානු රිද්මයක් පැවතිය නොහැකි ද ? එමෙන්ම බොහීමියානු පැවැත්මක ලුම්පන් ලාලසාවක් නොතිබේ ද ? අතීතය සහ අනාගතය යනු වර්තමානයම ද ? බැඳීම සහ අත්හැරීම අතර ඇත්තේ වෙනසක් ද නැතහොත් සාම්‍යයක් ද ?

මංජුල වෙඩිවර්ධනගේ නවතම කෙටිකතා සංග්‍රහය වන කුකුළෙක් අතින් ගත් කිකිළි සහ රත්මලානේ වෙනත් කතා කියවූ විට ඉහත ප්‍රශ්න නිරායාසයෙන් සිතට නැඟේ. මෙය මීට පෙර ඔහු රචනා කළ දුෂ්ටකමේ සවුන්දර්ය සහ රත්මලානේ තවත් කතා කෘතියේ දිගුවක් ලෙස සැලකිය හැකිය .ඔහුට රත්මලාන යනු නොසිඳෙන කතාසරිත් සාගරයකි.

අර්ධ නාගරික ලුම්පන් චරිත මෙම කෙටිකතා බහුතරයකට විෂය වේ. මෙම චරිතවලට ජීවිතය යනු අහස පොළොව ගැටලන කල්පනාවන්⁣ සමඟ කරන පොරබැදීමක් නොවේ. ඊට වඩා ඔවුනට එය දෛනිකත්වයේ වත්මන් නිමේෂය සමඟ සහවාසයේ යෙදීමකි.ඔවුන්ගේ ජීවිත තුළ සෞන්දර්ය ගොඩ නැඟෙනුයේ අතීතයත් අනාගතයත් වර්තමානයට නාභිගත කිරීමෙනි. එවිට අතීතය, වර්තමානය සහ අනාගතය ද දෛනිකත්වය සහ උත්කෘෂ්ටත්වය ද යථාර්ථය සහ මායාව ද එකම මොහොතක පවතී. ලුම්පනීයත්වය තුළ බොහීමියානු බවත් බොහීමියානු බව තුළ ලුම්පනීයත්වයත් පවතී. මංජුලගේ පරිකල්පනය සැරිසරන්නෙ මෙවන් ප්‍රතිවිරෝධතා ඒකාත්මික වන ප්‍රබන්ධ අවකාශයකය.

මංජුල මෙම කෙටිකතා බොහොමයක රත්මලානීය ලුම්පත් බස්වහර නොඅඩුව යොදා ගනී. එය පාඨකයා ප්‍රේක්ෂකයකු බවට පත් කරන දෘශ්‍ය රෑප පිටාර ගලන බසකි. එමෙන්ම එය භාෂාවේ දෘශ්‍යමය අලංකාරය තුළ පවත්නා අනෙකාගේ බැල්මට පාඨකයා ගොදුරු කර ගැනීමට සමත් භාෂා ව්‍යවහාරයකි. ලුම්පන් අවකාශය ඉක්මවා යාමට පාඨකයාට හැකියාව සලසන ලුම්පන් ව්‍යවහාරයකි. එම දෘශ්‍යමය හැඟවුම් ආත්මීයය; දේශපාලනිකය; සාමාජීයය; සංස්කෘතිකය. මේ ආකාරයේ බහුවිධ හැඟවුම් දැකීමට සලස්වන දෙබස් ඛණ්ඩයක් නිදසුනක් ලෙස දැක්විය හැකිය. එය වාම දේශපාලනික අදහස් ඇතැයි සිතිය හැකි තරුණයන් දෙදෙනෙකු සමඟ වෙසෙන තරුණියක් ඔවුන් දෙදෙනාගේ අතීරණාත්මක බව උපහාසයට ලක් කරන ප්‍රකාශයකි.
“යකෝ හැමිණෙද්දි විතරද තොපේ පිරිමිකම? තොපේ සෙල්ලම් හැටහුටාමාරම? ඇත්ත මානුෂීය ප්‍රශ්නයක් ගෙනැල්ලා ඇස් ගෙඩි ඉස්සරහින් තිබ්බහම…..මෙන්න ඇට දෙකත් එක්ක හීතල වෙලා.”

සැබැවින්ම , මංජුල වෙඩිවර්ධනගේ කුකුළෙක් අතින් ගත් කිකිළි කියවීමෙන් භාෂාවේ දෘශ්‍යමය අලංකාරය නම් වූ අනෙකාගේ බැල්මෙන් සලිතවීමේ අත්දැකීම පාඨකයාට නොමඳව ලබා ගත හැකිය. අර්ථ සොයා යාමේ නිරර්ථක උත්සාහයට වඩා ජීවිතයේ සෞන්දර්ය පවතින්නේ මෙම සලිත වීමේ ලාලසාව තුළ නොවේද ?

උදිත අලහකෝන්

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...