ලංකාවේ ආධිපත්‍යධාරී ව්‍යාපාරික – දේශපාලන පංතිය NPP ඉදිරි ජයග්‍රහණයන් සම්බන්ධව ඇති බිය

Share post:

වාමාංශික-විමුක්ති දේශපාලන අරුතෙන් ජාතික ජන බලවේගය යනු ‘පරමාදර්ශීය යහපත’ නොවෙයි. ඉදිරි ආණ්ඩු බලය ලබාගැනීම හා පවත්වා ගැනීම වෙනුවෙන් නව ලිබරල් ගෝලීයකරණයේ ආර්ථික-දේශපාලන අණසක,භූ දේශපාලනික විජිතකරණයන් හා වෙළදපොළ ධනවාදය සමග යම් අයුරකින් සම්මුතිගත වීමට ඔවුනට සිදුවී තිබෙයි. එමනිසා ජවිපෙ/ජාජබට විකල්පව ඉහත කී නව ලිබරල් ගෝලීය හා ලංකා ආර්ථික-දේශපාලන බලවේගයන්ට එරෙහි ස්වදේශීය සටන්කාමී වාම ව්‍යාපාරයක් හා ඉන් ඔබ්බට ධනේෂ්වර ශිෂ්ටාචාරයටම විකල්පයක් යෝජනා කරන ගෝලීය විමුක්ති-දේශපාලන න්‍යායපත්‍රයක් වාමාංශයේ පරමාදර්ශී තෝරාගැනීම විය යුතුය.

එහෙත් මෙවර ජනාධිපතිවරණයෙන් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කිරීමේ ඇති ඓතිහාසික වැදගත්කම ඉන් නිශේධනය වන්නේ නැත. ලංකාවේ ආධිපත්‍යධාරී ව්‍යාපාරික-දේශපාලන පංතිය ජාජබ ඉදිරි ජයග්‍රහණයන් සම්බන්දයෙන් යම් බියකට පත්වී ඇති බවත්,ඊට එරෙහිව පොදු අදහසකින් කටයුතු කරන බවත් මේ වනවිට පැහැදිළිය. ඊයේ පාර්ලිමේන්තුව තුළ තලතා අතුකෝරාල මන්ත්‍රීවරිය අතින් විවෘතව ප්‍රකාශ කෙරුණේ ඉහත කරුණයි.
වාමාංශික අර්ථයෙන් පර්මාදර්ශී යහපත කෙරෙහි දේශපාලනිකව අනුරාගික වන මා වැනි අය ඉහත තීරණාත්මක හා ප්‍රායෝගික සුසමාදර්ශී මොහොත නොදැක්කා ලෙස හෝ ඊට එරෙහි වී කටයුතු කරන්නද ?

ඒ සදහා වන කිසිදු සාධාරණ තර්කයක් නම් මට වැටහෙන්නේ නැත. මෙතෙක් රට පාලනය කළ දූෂිත-ප්‍රභූ ව්‍යාපාරික දේශපාලන පංතිය පරාජය හෝ දුබල කිරීමේ අවස්ථාවට කුහක වතින් පිටු පෑමක් මට නම් සිතිය නොහැක.

ඉදිරි ජනාධිපතිවරණයෙන් සලකුණු විය හැකි එකී ඓතිහාසික හැරවුම දෙස සුබවාදීව නොබලා හෝ ඊට එරෙහි වෙමින් ඉන් ඔබ්බෙහි වන වාම පරමාදර්ශී යහපතක් වියුක්තව වැළදගැනීම ව්‍යාජයකි. එය හෘද සාක්ෂියට එකග නැති ආත්මීය බොරුවකි. කවර වියුක්ත තර්ක-කතාවන්ගෙන් එවැනි ව්‍යාජයන් සාධාරණීකරණය කළද ඉන් උපක්‍රමිකව අප තුළ තැන්පත් වන උණ්ඩයන් අප පිහිටා සිටින වාමාංශික ආචාර ධාර්මික පදනම් ක්‍රමිකව බිද දමනු ඇත.
එහෙයින් ඉදිරි ජනාධිපතිවරණයේදී ජාජබ ජයග්‍රහණයට සහය දීම විසින් අපගේ පරමාදර්ශී වාමාංශික අදහසට හා ක්‍රියාකාරීත්වයන්ට හානියක් වන්නේ නැත. මා ඇතුළු අයගේ පැහැදිළි න්‍යායික කියවීමට අනුව ජාජබ ලබන ජයග්‍රහණය අපගේ ඉදිරි වාමාංශික අරගලයට අතිරේක වාසියකි.

ධනේෂ්වර ක්‍රමය පෙරළා සමාජවාදය ජයග්‍රහණය කිරීම හරයාත්මක වාමාංශයේ පරම ඉලක්කය හා සංතෘෂ්ඨිය බව පැහැදිළිය. බොහෝවිට අපගේ ජීවිත කාලය තුළ එවැනි සිදුවීමක් නොවනු ඇත.

එහෙත්, එතෙක් තව මාසයකින් ලංකාවේ සිදුවිය හැකි යම් ඓතිහාසික දේශපාලන වෙනසක් අමතක කර දමන්නද ? අපගේ පසමිතුරු වත්මන් පාලක පංතීන් එවැනි ‘වෙනසක්’ පිළිබද බිය පළකරද්දී එය ‘වෙනසක්’ නොවන්නේ යැයි අප කියනවාද ? ජාජබ ආණ්ඩු බලයට පත්වීමෙන් ඉතිහාසය අවසන් වන්නේ නැති බව නිශ්චිත වෙද්දීත් මෙවර ජාජබ ජනාධිපතිවරණ ජයග්‍රහණය ලාංකේය දේශපාලන ඉතිහාසයේ තීරණාත්මක පියවරක් නොවී තිබෙන්නේද ?
අවසන් වශයෙන්, මෙතෙක් රට පාලනය කළ ස්ථරයට වඩා අපේ පංතියට පක්ෂපාතී,අපගේ දේශපාලන ලෝක දැක්මට එතරම් දුරස්ථ නැති හා දේශපාලන මතගැටුම් මැද වුවද අපගේ මිතුරන් යැයි කිවහැකි බලවේගයක් රටේ ආණ්ඩු බලයට පත්වීම ගැන සතුටක් ඇති නොවන්නේ කෙසේද ?
වාම ජන අරගලය තුළ ඉදිරියේ මුණගැසෙන අසීරු දුෂ්කර අභියෝගයන් තරණය කිරීමට නම් අපගේ වත්මන් ‘දිදුලන හදවත්’ බිමට වට්ටවා ගත යුතු නැත.

විදර්ශන කන්නංගර (fb)

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...