ඔබේ ඩොල්කි, ජෙම්බෙ, දර්බක් සවස් ලස්සන කෙරෙන ගීත බොහොමයක හිමිකරු තමයි සරත් ද අල්විස්

Share post:

A.R.රහුමාන් කියන්නේ කීබෝඩ් වාදකයෙකුව ඉඳලා සිනමා සංගීත අධ්‍යක්ෂකවරයෙකු වූ කෙනෙක්. සරත් ද අල්විස් කියන්නෙත් එහෙම කෙනෙක්. ඒත් රහුමාන් ඉන්දියාවේ ඉපදීමත්, සරත් ද අල්විස් ලංකාවේ ඉපදීමත් නිසා දෙන්නා දැන් ඉන්නේ තැන් දෙකක.

80/90 දශකවලදී සිංහල සිනමාව තිබුණේ අද අපි දකිනවාට වඩා වෙනස් තැනක. ඒ කාලය සිනමා තරු හිටපු, සිනමා නිර්මාණ බිහිවුණු, සිනමා ගීත තිබුණු, සිනමා ගායකයන් හිටපු, සිනමාහල් තිබුණු, සිනමා ප්‍රේක්ෂකයන් හිටපු, සිනමා කර්මාන්තයක් තිබුණු, කොටින්ම සිනමා සංස්කෘතියක් තිබුණු රටක් තමයි ශ්‍රී ලංකාව.ඒ දවස්වල ලංකාවේ ඇතැම් නළු නිළියන් පාකිස්තානයේ, ඉන්දියාවේ, හොලිවුඩයේ චිත්‍රපට වලටත් රංගන ආරාධනා ලබපු කාලයක්.
ඒ වෙනකොට නිර්මාණය වුණු සිංහල සිනමා ගීත කියන්නෙත් වෙනම ක්ෂේත්‍රයක්. අද වෙනකොටත් අපට සිනමා ගීත යැයි කියන්න ඉතිරි වෙලා තියෙන්නේ 60/70/80/90 ගීත ටික තමයි. ඊට සාපේක්ෂව 2000න් පස්සේ නිර්මාණය වූ “ජනප්‍රිය” සිංහල සිනමා ගීත තියෙන්නේ ගොඩක් අඩුවෙන්.
ආශාවේ ආශාවේ පායා, දිය කිඳුරිය සේ සාගරේ, ඉපදී ලොවේ නවාතැන්පොලේ, සහෝ මේ පාරම්, විල්ලුද පුංචි දෙපා, දිළි දිළි දිළිසේවි මා දෑසෙ ආලෝකේ, සතුටින් නිදැල්ලේ අවසර ලද ඇසිල්ලේ, සාගර ලවැල්ලේ, මනාලියක් සඳ වාගේ, උන්නා එක ගංගාවක, නිදි නැති රෑ යාමේ, නිල්ල මැදින් යං වගේ ගීත ඇහෙනකොට අපට හැඟීම් දැනෙන්නට ගන්නේ ඒවා සිනමා ගීත නිසා. සරත් ද අල්විස් තමයි ඒ ගීත වල සංගීත අධ්‍යක්ෂවරයා.

එතන තිබුණු ලොකුම වටිනාකම තමයි හින්දි සිනමාවේ ගීත එහෙමම අරගෙන සිංහල වචන ලියලා අපේ කරගත්තු යුගය නිමා කරලා ස්වතන්ත්‍ර නිර්මාණ වලින් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ව දිනාගැනීමට සහ අපේම සිනමා සංගීතයක් හදන්න කරපු දායකත්වය. විශේෂයෙන්ම වාණිජ සිනමාවට. හැමෝම කලාකාමී බහුශ්‍රැතයන් වෙන්න හැදුවට, වාණිජ සිනමාවක් නැතුව සිනමා කර්මාන්තයක් ඉතිරි වෙන්නේ නෑ.

එතකොට සිනමාවෙන් එපිටට ගියහම කීර්ති පැස්කුවල් ගයපු “සඳලතා පායලා”, ප්‍රියා සූරියසේන ගයපු “සුදු පරවි රෑන සේ”, නිරෝෂා විරාජිනී ගයපු “සඳ රාජිනී ඇයිද හැංගී”, ටී.එම්.ජයරත්න ගයපු “ඈ නීල නෙතු සලා”, මිල්ටන් මල්ලවාරච්චි ගයපු “කවුරුද පාවී පාවී”, මර්වින් මිහිඳුකුල ගයපු “මානෙල් මල සේ”, සුනිල් එදිරිසිංහ ගයපු “රන් සමනළයෝ”, මාලිනී බුලත්සිංහල ගයපු “දෑසේ මල් විලේ”, ශෂිකා නිසංසලා ගයපු “සඳේ කැලුම් සිනාසී”, රෝහණ බෝගොඩ ගයපු “ඔබටයි මේ ආරාධනා”, ෆීලික්ස් ඇන්ටන් ගයපු “ආදර ප්‍රිය ලඳුනේ”, දමිත් අසංක ගයපු “සිතේ පෙම් පුරා මෙතරම්”, නලින්ද රණසිංහ ගයපු “සඳුනි”, අජිත් බණ්ඩාර ගයපු “සුදු හංසියේ මිහිරාවියේ” වගේ පරපුරෙන් පරපුරට රස බෙදපු ගීත අමතක කරන්නම බෑ.

සරත් ද අල්විස් කිව්වහම මට ඉස්සර මතක කොණ්ඩෙ බූසෙ වගේ වවාගත්තු, පොන්ටින්ට කලින් පොන්ටින් කට් එක තියපු, ඩ්‍රැකියුලා වගේ කබායක් ඇඳගෙන ඩයිනමයිට් සංගීත කණ්ඩායමේ කීබෝඩ් ගහපු සරත් ද අල්විස්. සුපර්ස්ටාර්ස් වගේ එවකට ජනප්‍රිය සංගීත කණ්ඩායම් වල ඔහු වාදකයෙකු හැටියට හිටියා.

ඔහුගේ ගීත නිර්මාණ ගබඩාව බොහොම ලොකු එකක්. මට හදිසියේ හොයාගන්න පුළුවන් වූ ගීත ටික තමයි මං මෙතන ලිව්වේ. ඔබට මතක සරත් ද අල්විස්ගේ ගීත තියෙනවානම් කමෙන්ට් එකක් දාන්න. ලංකාවේ මෙහෙම ලියවෙන්නේ ගොඩක් කලාකරුවන් මියගියහම. ඒත් ඔහු තාම තරුණයෙකු වගේ වැඩ.

අද සරත් ද අල්විස් මහත්තයාගේ උපන් දිනය. ඒත් ඔහුට ලැබෙන ගෞරවය ඉතාම මදි කියලයි මට හිතෙන්නේ. මමත් මේ උපන් දින කතාව දැක්කේ රනිල් මල්ලවාරච්චි සහෝදරයාගේ ප්‍රොෆයිල් එකෙන්. මිල්ටන්ලා සරත්ලා කියන්නේ ගහට පොත්ත වගේ ඇලිලා හිටපු සංගීත රසකාමියෝ නේ.
අමතක කරන්න එපා, ඔබේ ඩොල්කි, ජෙම්බෙ, දර්බක් සවස් ලස්සන කෙරෙන ගීත බොහොමයක හිමිකරු තමයි සරත් ද අල්විස්. ඔහු ජීවත්ව ඉන්න කාලයේ ඔහුට සුබ පතමු.

දීර්ඝායු වේවා ඔහුට!

අසංක හදිරම්පෑල

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...