මහියංගනයේ පස් දරු මවක් ඇදගෙන ගොස් පොලිස් නිලධාරීහු මාංචුවලින් හිසට සහ පයින් පහර දෙති – දින 7ක් රෝහලේ : පොලිස් අපරාධ මෙතැනින් කොතැනටද?

Share post:

පොලිස් නිලධාරියකුට විරුද්ධව මහියංගනය සහකාර පොලිස් අධිකාරිවරයාගේ කාර්යාලයට පැමිණිල්ලක් කිරීමට ගොස් සිටි පස් දරු මවක එම කාර්යාලයේ සිට ඇදගෙන ගොස් පහරදීම හේතුවෙන් දින 07ක් ප්‍රතිකාර ලැබීමට සිදුවූ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට සහ ජාතික පොලිස් කොමිෂන් සභාවට පැමිණිලි ලැබී තිබේ.

මේ ලිපිය එය උදාහරණ කොට ගනිමින් සමස්ත යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ගැන සැකසුණකි.

ඉහත කී කාන්තාව විසින් ඉදිරිපත් කර ඇති පැමිණිලිවල දැක්වෙන්නේ සහකාර පොලිස් අධිකාරි කාර්යාලය ඉදිරිපිටදී ම ඇයගේ හිසට අත් මාංචුවලින් පහර දී ඇති බවත්, ඇයට පයින් පහර දී ඇති බවත් ය.

පහරදීමෙන් පසු ඇය පොලිසියේ රඳවාගෙන සිටියදී ඇයට වමනය යෑම නිසා වැඩ බලන පොලිස් ස්ථානාධිපතිවරයාගේ මෙහෙයවීමෙන් ඇය වහාම මහියංගනය රෝහලට ඇතුළත් කර ඇති අතර, ඇගේ බාරකරු ලෙස පොලිස් කාන්තාවකගේ නමක් සඳහන් කර තිබේ. මූලික ප්‍රතිකාරවලින් පසු වැඩිදුර පරීක්ෂණ සඳහා ඇය බදුල්ල රෝහලට මාරු කර යවා ඇති අතර, ඇය එහි දින 06ක් පමණ නේවාසිකව ප්‍රතිකාර ලබා ඇත.

රෝහලෙන් ටිකට් කැපූ පසු ඇය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ බදුල්ල කාර්යාලයට සහ ජාතික පොලිස් කොමිෂන් සභාවට ගොස් පැමිණිලි කර තිබේ. පොලිස් කොමිෂන් සභාවේ සහ මානව හිමිකම් කොමිෂන් සභාවේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඇයට මහියංගනය පොලිසියේ සැරයන්වරයකු ඇතුළු නිලධාරීන් කිහිපදෙනකුගෙන් සිදුවූ අඩන්තේට්ටම් ගැන මේ වන විට පැමිණිලි කිහිපයක්ම ඉදිරිපත් කර ඇති බවයි. ‍

හේරත් මුදින්සේලාගේ පොඩි කුමාරිහාමි නම් මෙම පස්දරු මව මහියංගනය ජාතික පාසල අසල අක්කර 05ක ඉඩමක ජීවත් වී ඇත. 1989 වසරේදී ආණ්ඩුවේ ව්‍යාපෘතියක් සඳහා ඇගේ ඉඩම පවරා ගැනීමෙන් පසු ඇයට වෙනත් ස්ථානයක ඉඩමක් රජයෙන් ලබාදී තිබේ. ඇය එම වසරේ සිට නිවසේ වත්ත මායිමේ වැලිගොඩ දැමීම කර තිබෙන අතර, 2006 ජූලි 25දා මහියංගනය පොලිසියට අනුයුක්ත පොලිස් සැරයන්වරයකු ප්‍රමුඛ පොලිසියේ කිහිප දෙනකු එම ඉඩම මිලදී ගැනීම සඳහා කාන්තාවගෙන් ඉල්ලීම් කර ඇතත් ඇය ඊට අකමැත්ත ප්‍රකාශ කර තිබේ.

ඒ් අනුව පොලිස් නිලධාරීන් පැමිණ තර්ජනය කළ අවස්ථාවක ඇය නිලධාරියකුට ඉදලකින් පහරදී ඇති අතර, ඒ් අනුව ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ. පසුව එම සිද්ධියට සම්බන්ධ නිලධාරියා ස්ථාන මාරු කර ඇතැයි වාර්තා වේ.

නැවත 2014 වසරේ එම නිලධාරියා පොලිසියට පැමිණ ඇති බවත්, ඔහු ඇතුළු නිලධාරීන් කිහිපදෙනකු තම ඉඩම මැදින් ගොස් තමන්ගේ වැලිතොටුපොළින් වැලි   ගොඩ දැමීම සිදු කර ඇති බවත්, දිගින් දිගටම එය සිදු කරද්දී පොලිසියට පැමිණීමට නොහැකි ලෙස ඇය වැලි තොටුපොළට යන පාර වසා දැමූ බවත් ඇය විසින් කරන ලද පැමිණිලිවල සඳහන් වේ.

එතැන් සිට මේ දක්වා ඇයට එරෙහිව පොලිසිය නඩු 38ක් පවරා ඇති බවත්, ඒ අතර මත්ද්‍රව්‍ය නඩු දෙකක් ද වන බවත්, එක් මත්ද්‍රව්‍ය නඩුවකින් නිදහස් වූ බවත්, මේ වන තෙක් පොලිසිය පැවරූ කිසිම නඩුවකට තමන් වැරදිකරුවකු වී නැති බවත්, පොලිසිය තමන්ට සහ පවුලේ අයට හිරිහැර කරන්නේ සහ ව්‍යාජ නඩු පවරන්නේ 2014 දී පොලිසියට එරෙහිව පැමිණිලි කිරීමෙන් පසුව බවත් පොඩිකුමාරිහාමි මහත්මිය කළ පැමිණිලිවල සඳහන් වේ.

මේ සියල්ලට එරෙහිව එම කාන්තාව ජාතික පොලිස් කොමිසමට, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට, ප්‍රදේශයේ සහකාර පොලිස් අධිකාරිවරයාට සහ පොලිස් මූලස්ථානයට ද පැමිණිලි කර තිබේ.

මෙවැනි සිදුවීම් ශ්‍රී ලංකා පොලිසියට එරෙහි බරපතළ කළු පැල්ලමක් වන අතර, වධහිංසා නඩුවකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වරදකරු කරන ලද දේශබන්දු තෙන්නකෝන් එම පොලිසියේ ප්‍රධානියා ය. පසුගිය ජූලි 24දා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සිදුකරන ලද්දේ දේශබන්දු තෙන්නකෝන්ට පොලිස්පති ධුරයට අදාළ බලතල සහ කාර්‍යයන් ක්‍රියාවට නැංවීම තහනම් කිරීමයි. එම තීන්දුව පිළිගත් දේශබන්දු තෙන්නකෝන් වහාම සිය කාර්‍යාලයෙන් ඉවත් විය. එහෙත් ඒ ඔස්සේ වෙනත් දේශපාලන වාසි ගැනීමේ මෙහෙයුමක් ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කර ඇත. තීන්දුවකට එකඟ නොවීම එකකි. තීන්දුවකට අවනත නොවීම වෙන එකකි.

පොලිසිය භාවිත කරමින් මෙවැනි දේශපාලන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමත්, ඒවායේදී සිදු කරන අපරාධ වසං කිරීම සඳහා බලය යෙදවීමත් නිසා පහළ පොලිස් නිලධාරීන් නීතියෙන් ලැබී නැති බලයක් ආරූඪ කරගෙන සිටී. ඔවුන් ගමේදී ලයිෂන් චණ්ඩින් වී ඇත්තේ මේ නිසා ය. පොඩිකුමාරිහාමිගේ සිදුවීම වැනි සිදුවීම් මේ රටේ කොපමණක් ද? ඒවාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ආයතන, මේ සිදුවීම්වලට අදාළ ව සාධාරණය ඉටුකර ගැනීමට ස්වාධීන කොමිෂන් සභා ජනතාවගේ මුදලෙන් ක්‍රියාත්මක වන බව නිවැරදිව දන්නේ රටේ ජනතාවගෙන් කොයිතරම් ප්‍රතිශතයක් ද? පොඩිකුමාරිහාමි ද මේ ආයතන වෙත පැමිණිලි කොට, තමන්ට සාධාරණය ඉටුකර ගැනීමට උත්සාහ දරමින් සිටින්නේ මුල් ම අසාධාරණය සිදුවී වසර ගණනාවකට පසු ය.

මේ සිදුවීම් මෙතැනින් එහාට ගිය විට පොලිස් නිලධාරීන් තමන්ගේ පීඩනය පිටකරන්නේ තමන්ට ලැබී ඇති තුවක්කුවෙනි. නාඋල තරුණයකු ඝාතනය වන්නේ එසේ ය. එවැනි ඝාතන කීයක් ද ?

පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලබන සැකකරුවන් ඝාතනය කිරීමේ හෝ ඔවුන්ට වධහිංසා සිදුකිරීමේ සිදුවීම්වලදී අදාළ මරණ පරීක්ෂණය සිදු කරන මහේස්ත්‍රාත්වරයාට බරපතළ වගකීමක් පැවරුණද, සාපේක්ෂව එය ඉටු නොවන බව ජ්‍යෙෂ්ඨ නීතිඥ එස්.ජී.පුංචිහේවා මීට පෙර සිදුවීමකදී අවධාරණය කළේය.
එම පරීක්ෂණවලදී පොලිසිය පවසන කරුණු ඒ ආකාරයෙන්ම සටහන් කරගැනීම වෙනුවට, සාක්ෂිකරුවන් කැඳවීම, කැඳවූ ආකාරය, ඝාතනයට හෝ වධහිංසාවට ලක්වූ පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන් කැඳවූයේද යන්න වැනි ප්‍රශ්නවලට අනිවාර්යෙන්ම පිළිතුරු ලබාගත යුතු බව ද එහිදී පෙන්වා දුන් ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා, මහේස්ත්‍රාත්වරුන් එම වගකීම මගහැරීම බරපතළ කරුණක් බව ද සඳහන් කළේය.

සාමාන්‍යයෙන් පොලිසිය මෙවැනි අවස්ථාවකදී ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන් කැඳවීමක් පවා සිදු නොකරන බවත්, සාක්ෂිකරුවන්ට බැණවැදීමේ අවස්ථා සුලබ බවත් අවධාරණය කළ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා, එමගින් ජනතාවට ඇත්ත දැනගැනීමට ඇති අයිතිය ඇහිරීමක් සිදු වන බව පෙන්වා දුන්නේය.

1994 කෲර, අමානුෂික සහ අවමන් සහගත සැලකීම්වලින් ආරක්ෂා වීමේ පනත හෙවත් වධහිංසා පනතට අනුව අත්අඩංගුවට ගන්නා සෑම සැකකරුවකුගේම වගකීම අදාළ පොලිස් ස්ථානය බාර ස්ථානාධිපතිවරයා විසින් දැරිය යුතුය. එහෙත් බොහෝ අධිකරණවලින් මෙවැනි ඝාතන සම්බන්ධයෙන් පොලිස් ස්ථානාධිපතිවරයාගේ එම වගකීම ප්‍රශ්න කිරීමක් සිදු නොවන අතර, පොලිසියේ සටහන් සියල්ල ඒ ආකාරයෙන්ම පිළිගනු ලබයි. විශේෂයෙන්ම මෙසේ සිදුවන බොහෝ ඝාතනවලදී සුලබව ප්‍රකාශ කෙරෙන්නේ ආයුධ පෙන්වීමට ගෙන ගිය අවස්ථාවේ, සොයාගත් ආයුධයකින් පහරදීමට උත්සාහ දැරීමේදී ආත්මාරක්ෂාව පතා වෙඩි තැබීම, පළායෑමට උත්සාහ කිරීමේදී වෙඩි තැබීම වැනි කරුණු ය. පසුගිය සතියේ පොලිස් විශේෂ කාර්‍ය බලකායේ පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණයෙන් නියෝග කෙරුණේ ද එවැනි සිදුවීමකට අදාළ ව ය.

යම් සිදුවීමකට අදාළව පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඔහුට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමෙන් පසුව වුවද, අදාළ පුද්ගලයාට අභියාචනා අයිතිවාසිකම් දෙකක් ඇත. එනම් පහළ අධිකරණයකින් ලබාදෙන තීන්දුවක් සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට සහ ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමේ අවස්ථාව සැකකරුවන්ට ලබා දී තිබේ. ඊට හේතුව යුක්තිය පසිඳලීම එතරම්ම විනිවිදභාවයකින් සිදුවිය යුතු වීමයි.

මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය සම්බන්ධයෙන් ය. ඒ අනුව යම් සැකකරුවකු පිළිගත් අධිකරණයක් හමුවේ වරදකරුවකු බව තහවුරු වන තෙක් ඔහු නිර්දෝෂී පුද්ගලයෙකු ලෙස සැලකේ.

එවැනි තත්ත්වයක් යටතේ පොඩිකුමාරිහාමිට පොලිසිය සලකා ඇති ආකාරයෙන් පුරවැසියෙකු ලෙස ඇයට හිමි විය යුතු අවම ගෞරවය පවා ආරක්ෂා කිරීමට නීතිය හෝ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය අසමත් වී ඇති බව පැහැදිලිව පෙනේ. එවැනි සිදුවීමක් කීයක් ද ?

  • ශාලික විමලසේන

Related articles

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...