1975 තාත්තාව එළවූ බංග්ලාදේශ් ජනතාව 2024දී දියණිය එළවයි : විරෝධතාකරුවන් සිය ගණනක් ඝාතනය කරයි – පවුලේ කිසිවකුටත් හානියක් නෑ !

Share post:

බංග්ලාදේශ් අගමැතිනිය වන ෂීක් හසීනා තම ධූරයෙන් ඉවත්ව ඩකා අගනුවරින් පළාගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.

විරෝධතාකරුවන් අගමැති මන්දිරයට කඩා වැදෙන අවස්ථාවේ ඇය පළාගිය බව ඇතැම් වාර්තා දක්වන අතර, ඇය ධූරයෙන් ඉවත් වූයේ හමුදාවෙන් ලබාදුන් අවසන් ඉල්ලීම අනුව බව තවත් මාධ්‍ය වාර්තා කර තිබිණි.
බංග්ලාදේශය බිහිවුණේ 1971 ඉන්දියා- – -පකිස්ථාන් යුද්ධයෙනි. ඉන්පසුව එහි ප්‍රථම අගමැති වූයේ ෂීක් හසීනාගේ පියා වූ ෂීක් මුජිබර් රහමාන් වේ. බංග්ලාදේශ් නිදහස් සටනේ පුරෝගාමියා වූ ෂීක් මුජිබර් බලයට පත්වූ පසු ආඥාදායකයෙකු වීමට ගතවූයේ වසර තුනක් පමණකි.

විපක්ෂ මෙන්ම ප්‍රතිවිරුද්ධ මත මර්දනය කළ ඔහු 1975 ජනවාරියේදී තමන් ප්‍රධානත්වය දරන අවාමි ලීග් පක්ෂය හැර සෙසු පක්ෂ තහනම් කරමින් තනි පක්ෂ ආඥාදායකත්වයක් බවට රට පත්කරන ලදී.

එහෙත් ඔහු 1975 අගෝස්තු මස 15 දින හමුදා කුමන්ත්‍රණයකින් පවුලේ සාමාජිකයන් බහුතරයක් සමඟින් ඝාතනය කෙරිණි. මෙහිදී දිවි ගලවා ගත්තේ එවකට විදේශගතව සිටි ෂීක් හසීනා සහ ඇයගේ නැගණිය පමණි.
ෂීක් හසීනා දේශපාලනයට එන්නේ 1980 දශකයේදී ය​. ඒ අවාමි ලීග් පක්ෂයේ නායිකාව වශයෙනි. ඉන්පසුව ඇය 1996 – -2001 දක්වාත්, නැවතත් 2009 සිට 2024-.08.-05 දින දක්වාත් අගමැති ධුරය හෙබවීය​. ඇය 2009 අගමැති වීමෙන් පසු විරුද්ධ පක්ෂ මෙන්ම විරුද්ධ මතධාරීන් මර්දනය කිරීමට මෙන්ම අතිශය ඒකාධිපති සහ සහචරවාදී පාලනයක් ගෙන ගිය බවට චෝදනා එල්ල වූ අතර, ඇගේ පාලන සමයේදී බංග්ලාදේශ් ආර්ථිකය දියුණු වුවත් එහි ප්‍රතිඵල ඇයගේ සහචරයන් සහ හිතවතුන් අතට මිස රටට පොදුවේ බෙදී නොගිය බවට සහ ඇයත්, ඇයගේ පවුලේ සාමාජිකයන්, පක්ෂයේ අය සහ හිතවතුන් මහා පරිමාණයේ දූෂණ ක්‍රියා සඳහා දායක වූ බවටත් චෝදනා එල්ල විය.

නමුත් ඇය අද දිනයේ බලයෙන් ඉවත්වීමට පාදක වූයේ තරුණ විරෝධතාවකි. බංග්ලාදේශ් නිදහස් සටනේ කොටස්කරුවන් වූවන්ගේ පවුල්වලට රජයේ රැකියා අවස්ථාවලින් සියයට 30ක් ලබාදීමට එරෙහිව පැනනැගුණු ශිෂ්‍ය සහ තරුණ විරෝධතාව ඉතා කුරිරු ලෙස මර්දනයත්, ඒවායේ නිරතවන්නන් ජාති දේ‍රා්හීන් සහ රට පාවාදෙන්නන් යන ඇයගේ හුරුපුරුදු පරිභවයනුත් මෙවර සිදු කළේ විරෝධතා තව-තවත් වැඩි කරමිනි.

අන්තර්ජාලය අත්හිටුවීම​, සමාජ මාධ්‍ය අවහිර කිරීම​, ඇඳිරි නීතිය ප්‍රකාශයට පත්කිරීම සහ නිවාඩු දින ප්‍රකාශයට පත්කිරීම තුළින් මෙම විරෝධය මර්දනය කිරීමට ඇය අපොහොසත් වූවා පමණක් නොව​, එය විරෝධතාවයේ ස්වරූපය වෙනස් කිරීමට​, එනම් ෂීක් හසීනාගේ ඉල්ලා අස්විම​ ඉල්ලා සිටින විරෝධයක් දක්වා වර්ධනය කිරීමට හේතු විය​.

මෙහි අවසන් ප්‍රතිඵලය වන්නේ තම පියාට මීට 49 වසරකට පෙර සිදුවූවාක් මෙන්ම අගෝස්තු මාසයකදී දැනට 76 වැනි වියේ පසුවන ෂීක් හසීනාට ද බංග්ලාදේශ් අගමැති ධූරය අහිමි වීම වන අතර, ඒ අනුව බලන කල ඇය තම පියාට වඩා වාසනාවන්ත බව පෙනේ. ඒ මෙම විරෝධතාවන් මර්දනයේදී ජීවිත සිය ගණනක් අහිමි වුවත්, ඇයත් පවුලේ සැමගේ ජීවිත ආරක්ෂා වී තිබීමයි.

  • ආචාර්ය ජගත් ගුණවර්ධන
  • (ජ්‍යෙෂ්ඨ පරිසරවේදියකු, ජ්‍යෙෂ්ඨ නීතිඥයකු සහ ආචාර්ය උපාධාධාරියකු වන ජගත් ගුණවර්ධන මහතා, කාලීන සිදුවීම් සම්බන්ධයෙන් නිරන්තරයෙන් ස්වාධීන අදහස් පළකරන්නකු ලෙස ප්‍රකට ය.)

Related articles

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...