අපි පැරිසීයේදි මුණගැහෙමු – නෝආ ලයිල්ස්

Share post:

Give me one moment in time
When I’m more than I thought I could be
When all of my dreams are a heartbeat away
And the answers are all up to me.

වන් මෝමන්ට් ඉන්ටයිම් ගීතය ගායනා කරන්නෙ විට්නි හූස්ටන්. 1988 සියොල් ඔලිම්පික් උලෙලේදී ගායනා කෙරුනු මේ ගීතය මෙතෙක් ඔලිම්පික් හෝ වෙනත් ක්‍රීඩා උලෙලක් වෙනුවෙන් නිර්මාණය කෙරෙනු හොදම ගීතය කීවොත් ඒක වැරදි නෑ.

ජීවිත කාලය පුරාම සැලසුම් සකස්කරලා… මහන්සිවෙලා වැඩ කරලා… කැපවීම් දුක් කරදර මැද්දෙ මේ තරම් දුර ආපු ගමනෙ අවසාන කඩ ඉමට දැන් ඇවිත් ඉන්නෙ. මේ මොහොත ග්‍රහණය කරගත්තොත්… මේ සුළු තත්පර කීපයේදිත් මම මාව විශ්වාස කලොත් මුළු ජීවිතයම දිණුම්.
මට දෙන්න එකම එක මොහොතක් මේ කාලයෙන්.
විට්නිගෙ ගායනා කරන කියන්නෙ අන්න ඒ වගේ කතාවක්.
අද හවස නෝවා ලයිල්ගේ ධාවනයත් එක්ක මේ ගීතය ආයෙත් වාරයක් මතක් වුනා.
මුළු ලෝකයේම අවධානය තත්පර දහයක කාලයක් ඇතුලත එක විදිහට රඳවාගන්න පුළුවන් තවත් ක්‍රීඩාවක් තියනවද සැක සහිතයි.
ලෝකයේ වේගවත්ම මිනිසා තේරීමේ තරඟයේ ප්‍රතිඵල සටහන් වෙන්නෙ මෙන්න මේ ආකාරයට.

  1. නෝආ ලයිල්ස් – ඇමරිකා එක්සත් ජනපද –
    තත්පර 9.784
  2. කිශේන් තොම්ප්සන් – ජැමෙයිකාව- තත්පර 9.789
  3. ෆ්‍රෙඩ් කර්ලි – ඇමරිකා එක්සත් ජනපද- තත්පර 9.81

ඇයි මේ තරඟය මේ තරම් වැදගත් වෙන්නෙ.? කෙනෙකුට අහන්න පුළුවන්.
ඊට හේතුවෙන කාරණා කීපයක්ම තියනවා.
එකක් තමයි ජැමෙයිකාව හා එක්සත් ජනපදය අතර කෙටි දුර ධාවන ඉසව් සඳහා ඇති තියුණු තරඟය. මේ තරඟය ධාවන පතයෙදි වගේම මාධ්‍යයේත් ඉතාම දරුණුයි.
කාර්ල් ලුවිස්… ලිරෝයි බුරල් .. මොරිස් ග්‍රීන් වැනි ඇමරිකානු ක්‍රීඩකයන් සතුව තිබුනු කෙටි දුර ධාවන ආධිපත්‍ය උසේන් බෝල්ට්… අසාෆා පවෙල් හා යොහාන් බ්ලේක් වැනි ක්‍රීඩකයන් හරහා ජැමෙයිකාව වෙතට විතැන් වෙන්නෙ 2008 වසරේ සිටයි.

2008, 2012, 2016 වසර තුනේම මීටර් 100, 200, 100x 4 සහාය දිවීමේ ජයග්‍රහණ ලබා ගන්නෙ ජැමෙයිකාව විසින්.
මේ තත්වය වෙනස් කරන බවත්… තමන් ලෝකයේ වේගවත්ම ක්‍රීඩකයා වෙනබවත් සෑම තැනකම ප්‍රකාශ කරන තරුණ ක්‍රීඩකයෙක් ඇමරිකාවෙන් බිහිවෙන්නෙ දැනට වසර කීපයකට කලින්.

2014 වර්ශයේ චීනයේ පැවති යොවුන් ඔලිම්පික් තරඟාවලියේදී මීටර් 200 ඉසව්ව ජයගන්නා මේ තරුණ ක්‍රීඩකයාගේ නම නෝආ ලයිල්ස්. ( Noah Lyles).
මේ ක්‍රීඩකයා තරඟවදින බොහොමයක් ක්‍රීඩා තරඟවලදී වගේම පුහුණුවීම් වලදිත් නිතරම දකින්න ලැබෙන්නෙ තමන්ගෙ අම්මත් එක්ක. ඒක ක්‍රීඩා පිටියට තරමක් අළුත් දෙයක්.

පසුකාලීනව නෝආ කියන්නෙ තමන් කුඩා කාලයේ ඇදුම රෝගයෙන් දරුණුවට පීඩා විඳපු බවත් ඒ නිසාම තමන්ගේ ආරක්ශකයා ලෙස සෑමතැනකමට පැමිණීමට තම මව පුරුදුවූ බවත්.

ෆ්ලොරිඩා විශ්ව විද්‍යාලය නියෝජනය කරමින් ඇමරිකානු හා ජාත්‍යන්තර ක්‍රීඩා පිටියට පැමිණෙන ලයිල්ස් මීටර් 200 ඉසව්වේ විශිෂ්ඨයෙක්.
තමන්ගේ ඉලක්ක හා බලාපොරොත්තු ගැන නෝආ කොයිතරම් කතා කරනවද කීවොත් නෝආව ලෝක මාධ්‍යයේ විවේචනයටත් විහිළුවටත් ලක්වෙනවා.
නමුත් නෝආ ලයිල්ස් ප්‍රකාශ කරන්න පැරිස් ඔලිම්පික් උලෙලේ රන් පදක්කම් හතරක් තමන් දිනාගන්නා බවයි.
ඒ මීටර් 100, 200, 100 x 4 සහ මීටර් 400×4 ධාවන ඉසව්වලින් බවත් නෝආ පවසනවා.
මෙන්න මේ අතරෙයි ඔබ්ලික් සෙවිලේ .. අකීම් බ්ලේක් වැනි තරුණ ජැමෙයිකානු ක්‍රීඩකයන් ධාවනපතයට පිවිසෙන්නෙ.
ජැමෙයිකාවේ කින්ග්සටන් නුවරදී පැවති මීටර් 100 ධාවන තරඟයකදී ඔබ්ලික් සෙවිලේ නෝආ ලයිල්ස්ව පරාජය කරන්නෙ ධාවනය අවසානයේදී තමන්ගෙ හිස ලයිල්ස් දෙසට හරවමින් සමච්චල් බැල්මකුත් සමගයි. මේ පරාජයෙන් පස්සෙ ට්විටර් පණිවිඩයක් යවමින් නෝආ පවසන්නෙ අපි පැරිසීයේදි මුණගැහෙමු යනුවෙන්.

I can remember this. Let’s meet in Paris.
නෝආ ආයෙත් කටමැත දොඩවන විදිහට ලෝක මාධ්‍යයේ මේ පණිවිඩය සටහන් වෙනවා.
නෝආගේ කොන්ඩා විලාසිතා… ආභරන… පාට කරනලද නියපොතු මේ හැමදේම මාධ්‍යයේ දැඩි අවධානයටත් විවේචනයත් ලක්වෙනවා නොකඩවාම.
මේ අතරෙ කිශේන් තොම්ප්සන් නම් තරුණ ජැමෙයිකානු ක්‍රීඩකයා 2024 වසරේ වේගවත්ම ධාවන කාලය වාර්තාකරන්නෙ ජැමෙයිකානු තේරීම් තරඟවලදී.

ඒ සමගම ලයිල්ස්ව නැවත වතාවක් විහිළුවටත් විවේචනයත් ලක්වෙන්නෙ කිශේන් තොම්ප්සන් ඔලිම්පික් රන් පදක්කම දිනාගන්න බව සටහන් කරමින්.
උසේන් බෝල්ට්ගෙන් පස්සෙ නැවත වරක් කෙටි දුර ධාවන කිරුල ජැමෙයිකාව දිනාගන්න බවට ක්‍රීඩා විචාරකයන් වැඩි දෙනෙක් සටහන් කරද්දි දකුණු අප්‍රිකාවේ අකීම් සිම්බිනි… බොට්ස්වානා රාජ්‍යයේ ලෙට්සිල් ටොබේගෝ.. ඉතාලියේ මාර්සෙල් ජාකොබ්ස් .. මීටර් සීය ඉසව්ව දිනාගන්නා බවට තවත් අනාවැකි පලවෙනවා.

මෙන්න මේ වගේ ඉතාම තරඟකාරී වාතාවරණයක් යටතේයි පැරිස් ඔලිම්පික් උළෙලේ මීටර් 100 ධාවන තරඟය පැවැත්වෙන්නෙ.
ධාවන පතයෙන් පිටතදි වගේම ධාවන පතයෙදිත් සියළුම ප්‍රේක්ශකයන්ගේ අවධානය දිනාගන්න නෝආ ලයිල්ස් ඉතාම දක්ශයෙක්.
උසේන් බෝල්ට්ගෙන් හිස්වුනු ධාවන පතයට ප්‍රේක්ශකයන් වගේම මාධ්‍යත් කැඳවාගෙන එන්න නෝආ ලයිල්ස් සමත්වෙනවා. ක්‍රිඩාංගණය තුලදී ලයිල්ස් මවන්නෙ ඉලෙක්ට්‍රික් ඇම්බියන්ස් එකක්.

තමන්ගෙ කතාවෙන්.. අභියෝග කිරීමෙන්.. හැසිරීමෙන් හැමදේකින්ම මේ ක්‍රීඩකයා කියන්නෙ තරඟය දිනන්නෙ තමන් බවයි. ඒ කියන විදිහටම කරන්න ලයිල්ස් සමත්වීම නිසයි ඔහු මේ තරම් ජනප්‍රිය ක්‍රීඩකයෙක් බවට පත්වෙන්නෙ.
බේස් බෝල්… බාස්කට් බෝල්… ඇමරිකානු ෆුට්බෝල් සඳහා ඇති ප්‍රමුඛතාවය මලල ක්‍රීඩාවට නැත්තෙ ඇයි ලයිල්ස් ප්‍රශ්ණ කරනවා.
බාස්කට් බෝල් සෙල්ලම් කරන ක්‍රීඩකයෙක් ඩොලර් මිලියන ගණනාවක් උපයද්දි ඇයි මලල ක්‍රීඩකයන්ට ඒ තැන නොලැබෙන්නෙ..?
එන් බී ඒ ශූරතාව දිනන ක්‍රීඩකයන් කොහොමද ලෝක ශූරයන් වෙන්නෙ.?
ලෝකයේ හැම රටකම ජනප්‍රිය ධාවන තරඟවලට… මලල ක්‍රීඩාවට නිසි තැන නොලැබීම අසාධාරණයි.
ධාවන තරඟවලත්… මලල ක්‍රීඩාවත් හිමිතැන නොලැබෙනවානම් අපි ඒ නිසි තැන දිනාගන්න ඕනෙ. නෝආ ලයිල්ස් කියනවා.
ඒ කොහොම වුනත් අද ලෝකයේ මීටර් 100 ඔලිම්පික් ශූරයාත් … ලෝක ශූරයාත් නෝආ ලයිල්ස්.
නෝආ කියන විදිහට තවත් රන් පදක්කම තුනක් ඔහු දිනාගත යුතුයි.
ඒ මෙතතෙක් කිසිම ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් නොකරපු දස්කමක් ඔලිම්පික් ධාවන පතයේදී.
1988 ඔලිම්පික් උලෙලේදී ෆ්ලොරන්ස් ග්‍රිෆිත් ජොයිනර් මේ ආසන්නයට පැමිනෙන්නෙ මීට 100, 200 , 100 x4 ඉසව්වලින් රන්පදක්කම් තුනකුත්.. මීටර් 400 x 4 ඉසව්වේ රිදී පදක්ක්මත් දිනාගනිමින්.
2000 සිඩ්නි ඔලිම්පික් උලෙලේදී මේරියන් ජෝන්ස් මේ දස්කම දක්වන්න ගත්ත උත්සාහය අසාර්තක වෙන්නෙ තහණම් උත්තේජක භාවිතයෙන් ඇගේ ක්‍රීඩා ජීවිතයත් අවසන් කරමින්.
මීටර් 200 ඉසව්ව නෝආගේ ප්‍රියතම ධාවන ඉසව්ව. එහි රන් පදක්කම දිනාගැනීම මීටර් 100 ඉසව්වේ රන් පදක්කම තරම් අවිනිශ්චිත නැහැ.
ක්‍රිස්ටියන් කෝල්මන්.. ෆ්‍රෙඩ් කර්ලි… කෙනී බෙඩ්නරෙක් සමග මීටර් 100×4 ධාවන ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමේ හැකියාවත් එක්සත් ජනපදය සතුව තිබෙනවා.
නමුත් ගැටළුව තියෙන්නෙ මීටර් 400x 4 ධාවන ඉසවේ ස්ථාන සම්බන්ධයෙන්.
තත්පර හතලිස් හතරට අඩුවෙන් මීටර් 400 ඉසව්ව නිමකරන මයිකල් නෝර්මන්.. රායි බෙන්ජමින්.. ක්වින්සි හෝල් වැනි ක්‍රීඩකයන් අතර නෝආ ලයිල්ස්ට අවස්ථාවක් ලැබේවිද.?
සේන්ට් ලූශියා දූපතේ ජුලියන් ඇල්ෆ්‍රඩ් ලොව වේගවත්ම ක්‍රීඩිකාව බවට පත්වෙද්දි නෝආ ලයිල්ස් ලොව වේගවත්ම ක්‍රීඩකයා බවට පත්වෙනවා.
ඒ කරුණ බොරු කරන්න කිසිවෙකුට හැකියාවක් නැහැ.
මලල ක්‍රීඩාව කියන්නෙ වසර ගනනාවක් කැපවීම් කරලා.. පුහූනුවීම් කරලා … ඒ හැමදෙයක්ම තත්පර ගනනකට.. විනාඩි ගණනකට ඔට්ටු තියන අමුතුම ක්‍රීඩාවක්. ඒ මොහොත ග්‍රහණය කරගත් ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව මුලු ලෝකයම දිනනවා. ඒක සූදුවක් වගේ.
Just one moment in time.
දැන් මුලු ලෝකයම බලාගෙන ඉන්නෙ නෝආ ලයිල්ස් ඉතිරි රන් පදක්කම් තුන දිනාගන්නා ආකාරය දෙසයි.
ඒක කරන්න නෝආ සමත්වුනොත් එවැනි දස්කමක් කරපු පලමු මලල ක්‍රීඩකයා ලෙස නෝආ ලයිල්ස්ගේ නම ඉතිහාස පොතට එක්වනු ඇති.

Malcolm Sang

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...