බාහු නම් වන ඔහු

Share post:

බාහු එනම් වික්‍රමබාහු කරුණාරත්න මට මුල් වරට සම්මුඛ වූයේ මා වැඩ කර ඇති පුවත් පත් සඟරා අතරින් එකකට සම්මුඛ සාකච්ඡාවක් ලබා ගැනීම සඳහා ගිය ගමනක දී බැරැක්ක පටු මගේ ඔහු ගේ කාර්යාලයේ දීය. ඔහු අවසන් ගමන් යන්නට සූදානම් වන මේ මොහොතේ ඔහු ගැන කල්පනා කරන විට දැන් සිතෙන්නේ ඔහු ගේ දේශපාලන ගමන ද කාර්යාලයට යන එන ගමන වැනි බවය. බැරැක්ක පටුමඟ කෝවිල අසල; ඉහළ මහලක තිබුණු ඔහුගේ කාර්යාලයට පිවිසෙන අඳුරු, පටු, දූවිලි සහිත, පඩි පෙළ යාපහුව ගල් පඩි පෙළ වැනි දණට අත තබා නැඟිය යුතු දුෂ්කර එකකි. බාහු තම දුෂ්කර දේශපාලන ගමන මියයන තුරු ම හැකි උපරිමයෙන් ආරක්ෂා කර ගත්තේය. කිසි විටෙක ජාතිවාදය හෝ ජාතිවාදීන් සරණ ගියේ නැත කියා කවුරුත් කියා ඇති බැවින් ඒ ගැන යළිත් කියන්නට අවශ්‍ය නැත. රස්සා නැති වී කොම්පැනි සමඟ නඩු කියන්නට බාහු නීතිඥයන් දුන්නේ ය. වර්ජන කර කාර්යාලවල ඉඩ ඇහිරුණු විට සාකච්ඡා කරන්නට බාහු ගේ කාර්යාලයේ පහසුකම් තිබිණ. වරක් දේශපාලන පෙරමුණක් ගොඩනඟන අවස්ථාවක කිසිවෙක් බාහු ගෙන් ” ඔයාට වෙඩි තියන්න ආව ජේවීපී එක එක්ක එක් විය හැකිද ?” කියා ප්‍රශ්න කළ විට බාහු කීවේ, ” ඒ කාලෙ ජේවීපී එකෙත්, මගෙත්, ඔයා අතෙත්, යූඑන්පී එකෙත් තුවක්කු තිබුණා, ඒ නිසා ඒ උණ්ඩෙ යූඑන්පීද ජේවීපීද කියල මම හරියටම දන්නෙ නැහැ.” යනුවෙනි. ඒ පිළිතුර වනාහී බාහු ගේ දේශපාලන සවිඥානකත්වයේ තරම පැහැදිලි කෙරෙන ප්‍රකාශයකි. එසේම, ඔහු ගේ දේශපාලන භාවිතයේ ස්වරූපය ද එමගින් ප්‍රකාශ වේ. බාහු පිළිබඳ මගේ මුල් ම මතකය ⁣පක්ෂ තහනමට පෙර ජවිපෙ පෙළපාලියක සටන් පාඨයකි ” වාසු බාහු දඩාවතේ ඉව අල්ලයි හතර අතේ ” වාසු සම්බන්ධයෙන් ඒ සටන් පාඨය 100%කටත් වඩා නිවැරදි නමුත්, බාහු සම්බන්ධයෙන් එය ඒ තරමට වලංගු නැත. කොතරම් කැපවීමෙන් දේශපාලනය කළා වුව රාජ්‍ය බලය පෙනෙන සීමාවකට වත් ගමන් කරන්නට බාහුට හැකියාවක් ලැබුණේ නැත. ඊට හේතුව ලෙස මා දකින්නේ, වෘත්තීය සමිති,අරගල ව්‍යාපාර, සිවිල් සංවිධාන අතරට පමණක් බාහු ගේ දේශපාලනය ⁣රාමු වී පැවතීමය. තම දේශපාලනයට පොදු ජනතාව රැස් කරගෙන පැරැණි සමසමාජ කොමියුනිස්ට් පක්ෂ තරමේ ජනතා ව්‍යාපාරයක් බවට පත්වන්නට හෝ බාහු ට හැකි නො වූයේ මන්ද? තම දේශපාලන ව්‍යාපාරය ජනතා ව්‍යාපාරයක් බවට පරිවර්තනය කරන්නට බාහුට නොහැකි වූ හේතුව නූතන වාමවාදීන් විසින් හැදෑරිය යුතු ගැටලුවකි. ඒ කටයුත්ත සඳහා සුදුසු මධ්‍යස්ථ චින්නයකින් යුතු වමෙක් සිටීද යනුත් ගැටලුවකි. දැඩි මතධාරී වාමවාදී බව බාහුටත් වමටත් පොදු ලක්ෂණයකි.

ඒ ආකාරයෙන් ගත් කල බාහු දායක වී ඇත්තේ වමේ ව්‍යාපාරය ශක්තිමත් කරන්නට නොව දුර්වල කරන්නට ය. මේ කියුම ඇතමකුට කෝපයට හේතු විය හැකි නමුත්, ලෙනින්- ස්ටාලින් වාද අනුවත්, මවෝ සේතුං මතුවන විටත්, ට්‍රොස්කි- ලෙනින් වාද අනුවත්, ජාතික ප්‍රශ්නය වැනි හේතු මතත් බෙදීම හේතුවෙන් මෙරට වම අද පුවක් වල්ල පොළොවේ ගැසුවා සමාන තත්වයකට පත්ව තිබේ. බාහුටද එහි වගකීමේ කොටසක් පැවරී තිබේ. ජනතා ගැටලුවලට වඩා දේශපාලන න්‍යායික ගැටලුවල එල්බගෙන සිටීම මෙරට වමේ ඇචිලස් විලුඹ වැනිය. විවිධ මත දරන්නන් එක පෙරමුණකට ගත් යසර් අර්පත් කෙනෙක් ගේ භූමිකාවට පණ දෙන්නට බාහුට හෝ ඒ පරම්පරාවේ වෙනත් වම්මුන්ට නොහැකි වන්නට හේතුව ෂෙල්ටන් පයාගල විග්‍රහ කරන්නේ, ” දෑකැත්ත ගිලල මිටිය පිටේ බැඳගෙන සිටීම ” නිසා යනුවෙනි. බාහු සහෝදරයා ට අපේ ගෞරවයත් ආදරයත් හිමි වන නමුත් ඔහු අද වේදිකාවෙන් සම්පූර්ණයෙන් බැස යන්නේ භූමිකාව වෙනුවෙන් දිවිහිමියෙන් කැපවණු නමුත් රංගනය මුළුමනින් අවසන් නොකළ තැනැත්තෙකු වශයෙනි. බාහු සහෝදරයා ගේ දේපාලන භාවිතාව පිළිබඳ නැවත කල්පනා කිරීම වමේ බොහෝ කණ්ඩායම්වලට වැදගත් වන්නේ එහෙයිනි. බාහු සහෝදරයා කළ සියලු දේට ඔබට ප්‍රණාමය වේවා!

අනුර කේ එදිරිසූරිය

2024/ 07 / 27

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...