මේ සටහනට නිමිත්ත වුණේ සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු කල පසු ක්‍රීඩකයන්ගේ විනය හැදීමට සියලුම ක්‍රීඩකයින්ට කොණ්ඩෙ කපාගෙන කරාබු ආදිය ගලෝගෙන එන්නට කීමයි. මිනිසුන් විනයානුගත කිරීමට විලාසිතා පාලනය කිරීම පොදුවේ ශ්‍රී ලංකා සමාජයේ තදින් මුල් බැස ගත් සමාජ සහ රාජ්‍ය දුෂ්ඨිවාදයක් බැවින් මෙය යම් පරීක්ෂාවකට ලක් කර බලමු.
ශ්‍රී ලංකාව තුළට මේ විදිහට මිනිසුන්ව පතිනිර්මාණය කිරීම මුලින්ම එන්නේ යටත් විජිත සමයේ බ්‍රිතාන්‍යයන්ගේ මිෂනාරී අධ්‍යාපනය හරහායි. අපි දන්නවා එම අධ්‍යාපනයේ තිබූ එක ප්‍රධාන ඇජෙන්ඩාවක් නම් යටත් විජිත වැසියන්ව බ්‍රිතාන්‍යයන්ට අනුව ශිෂ්ඨගත කිරීම. එතනදි ඔවුන් පුළුල් අර්ථයෙන් බලාපොරොත්තු වුණේ සියලුම දේශීය සංස්කෘතික ඇවතුම් පැවැතුම් විලාසිතා නොදියුනු දේ ලෙස හලා දමා වැදගත් ඉංග්‍රීසි මහත්මයෙකු (Decent Englishman) විදියට භෞතිස්ම කිරීමයි. ඒ කාලයේ ශ්‍රී ලංකාවේ සමහර පිරිමින් කොන්ඩය දිගට වැව්ව අතර සමහරු කන් ආභරණ ආදිය පවා පැලඳුවා. තවත් ප්‍රාදේශීය ආගමික සහ සංස්කෘතික විශ්වාසවලට අනුව ඇඳුම් පැළඳුම් විලාසිතා තිබුණා. මේ සියල්ල හලා දමා කොණ්ඩය කොටට කපා පැත්තකට පීරා කිසිදු ‘විච්චූරණයක්’ නැති ඩීසන් ලෙස ඉංග්‍රීසි කලිසම් සහ කමිස ඇඳ ඔවුන් කියන සිරිත් විරිත් සහ පිළිවෙලකට අනුව පාසල් එන්නට නියම කළා. ක්‍රමයෙන් මේ විදිහට හැඩ ගැසී සංස්කෘති ගත වුණු දේශීය මැද පන්තියක් බිහිවුණ අතර ගුරුවරුන්ගේ සිට රාජ්‍ය පරිපාලන නිලධාරීන් දක්වා ගිය මෙම පන්තිය තමන් යටතේ ඉන්නා සමාජයන් මේ විදිහට ශිෂ්ඨ ගත කරන්න පටන් ගත්තා. එපමණක් නොව ඔවුන් තමන් මෙන් එසේ ඉගෙන ගන්නට බැරි වුනු තමන් ආ පසුබිමේම සිටි ගැමියන්ව ‘ගොඩයින්’ හෝ ‘රස්තියාදුකාරයින්’ විදිහට හෙවත් නොදියුණු අශිෂ්ඨ මිනිසුන් විදිහට.ලේබල් කලා. ඉගෙනගෙන ඉහළට යන අය මේ ‘සුද්දා වගේ’ ඩීසන් – වැදගත්කම තියෙන අය විදියට සමාජගත වුණා. “මගේ පුතා හොඳට ඉගෙනගෙන ලොකු මහත්මයෙක් වෙන්නයි” කියන මේ ප්‍රකට කියමනේ ‘මහත්මයා'( Sir) බිහිවෙන්නේ මේ හරහායි. සාමාන්‍යයෙන් අදත් වෙළඳපොළක ආදියේදී නොදන්නා කෙනෙකුට සර් කියන්නේ මේ විදිහට විව්චූර්ණ නැති ඩීසන් ඇඳුමෙන් ඇදගෙන ඉන්න අයටයි.
ඒ අනුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය අධ්‍යාපනයේ සිට සියලුම ආයතන වලට , පුනරුත්ථාපනය කරන්නන් සහ සිරකරුවන් ආදිය දක්වා මේ සෑම තැනකටම මිනිසුන් ශිෂ්ට ගත කිරීමට, විනය ගත කිරීමට කොණ්ඩේ ආදිය කපා දමමින් විලාසිතා වාරණය කිරීම ඉතා තද දෘෂ්ටිවාදයක් ලෙස මුල් බැස ගන්න පටන් ගන්නවා.
ශ්‍රී ලංකාවට පමණක් නොව බ්‍රිතාන්‍ය සියලුම යටත් විජිතවලට අධ්‍යාපනය හරහා මෙම ක්‍රමය ක්‍රියාත්මක වුනා.
බ්‍රිතාන්‍ය තුළම මෙය වඩාත් තදින් මතු වන්නේ වික්ටෝරියා රැජිනගේ වකවානුව තුළයි.(1837–1901)හොඳ බ්‍රිතාන්‍ය ජාතිකයෙක් නිර්මාණය කිරීම උදෙසා රැජින විසින් යෝජනා කරපු අදහස් වලට අනුව පාසල්වල බෝඩිං ස්කූල් ( Bording school) සංකල්පය මතු කරනවා. ප්‍රථමයෙන් ඉහළ පන්තියෙන් වල ළමයින්ව හදන්නට යොදාගෙන තිබුණු බෝඩිං ස්කූල් ආකෘතියට පහළ පන්තින්වල ළමයිට ද මුලින්ම වෙනමම බෝඩිං ස්කුල්ස් හදනවා. එම පහළ පන්තීන්වල ළමයි අශිෂ්ට සහ නොහැදුන එවුන් ලෙස පූර්ව නිගමනයක සිට හදන මෙම බෝඩිං ස්කූල් වලට යවා ඔවුන්ව ශිෂ්ඨගත කරන්න හෙවත් විනයානුගත කරන්න උත්සාහ කරනවා. බෝඩින් ස්කුල්ස් වල ළමයි හදන්න ගෙනෙන මේ පිළිවෙල බ්‍රිතාන්‍යයන් හරහා යටත් විජිත කරා යනවා. බොහෝ විට මීට යොදා ගන්නේ බයිබලයේ එන ඉගැන්වීම් සහ හමුදාවේ යම් යම් අංගයි. මේ සදහා පරිවර්තනය කරපු වඩාම ජනප්‍රිය පාසල හෙවත් ආදර්ශමත් බ්‍රිතාන්‍ය ජාතිකයා බිහිකිරීමේ පාසල ලෙසට වඩාත් පිළිගැනීමට ලක් වූයේ ඊටන් කොලේජ් (Eton College) එකයි. කෙසේ හෝ ශ්‍රී ලංකාවේ ද බ්‍රිතාන්‍ය පාලනය යටතේ ස්ථාපිත කරපු සෑම පාසලකම වගේ හොස්ටල්ස් එන්නේ මේ ව්‍යාපෘතිය හරහායි. ශ්‍රී ලංකාවේදී සාමාන්‍ය දෙමාපියන්ට තම ළමයි හදා ගැනීම සඳහා හොස්ටල්ස් වලට යැවීමට අවශ්‍ය වුණා. ශ්‍රී ලංකාවේදී කොස්ටල්ස් යනු පන්ති කාමරයටත් වඩා ළමයින්ගේ විනය ගැන හිතපු විලාසිතා වාරණය කරපු තැනක් බවට පත්වුණා.
බටහිර සහ යුරෝපීය ජාතිකයින් ශ්‍රී ලාංකිකයින්ට වඩා මිනිස් අයිතිවාසිකම් වල සිට විද්‍යාත්මක දැනුම දක්වා අලුතින් සොයාගෙන ඒ අනුව වෙනස්වීමට සූදානම් වුන අතර අද එම රටවල විෂයන් තුල මිනිසුන් විනය ගත කිරීමට මෙවැනි අභ්‍යාස යොදා ගන්නේ නැහැ. මිනිසුන් හැඩගැස්වීමට ඉතා පැහැදිලිව විනයක් තිබිය යුතු අතර නමුත් අද ඔවුන් විනය කියන එක තේරුම් ගන්නේ ඒ පැරණි විදිහට නෙවෙයි. අද එම සමාජයන් තුළ පාසල් ගුරුවරුන්, වෛද්‍යවරුන් සහ ක්‍රීඩකයින් ගේ සිට පොලිස් නිලධාරීන් දක්වා මේ ඕනෑම කෙනෙකුගේ ශරීරයේ පච්චා, කරාඹු- මාල,(piercing) විවිධාකාර කොණ්ඩ මෝස්තර තියෙනවා. (ඒ අතර තාමත් පල්ලිය සමීපව ඇසුරු කරන ක්‍රිස්තියානි පාසල් වගයක් තියෙනවා ඇඳුම් පැළඳුම් ආදිය සඳහා ගොඩාක් දුරට පැරණි විනයම අනුගමනය කරන.) කෙසේ හෝ විනය විදියට දැන් ඔවුන් සලකන්නේ සාමූහිකව වැඩ කිරීමේදී එකිනෙකාට ගරු කිරීම, නීතිය සහ මිනිස් අයිතිවාසිකම් වල පිහිටීම, අදාළ උපදෙස් වලට ගරු කිරීම, වෙලාවට පැමිණීම, අදාල කටයුත්ත තුළ දී මත් ද්‍රව්‍ය භාවිතා නොකිරීම, දූෂණ වංචා නොකිරීම, නියමිත වැඩ නියමිත වෙලාවේදී සම්පූර්ණ කිරීම වැනි දේටයි. ඒ වගේම ඔවුන් රැකියාවෙන් බාහිරව පුද්ගලික ජීවිතයක් කෙනෙකුට ඇති බව පිළිගන්නා අතර ඊට පුද්ගලයාගේ ශරීරය ද ඇතුළත් වන බැවින් එම ශරීරයට සම්බන්ධ වූ දේවල් ඉවත් කිරීමට රැකියාවට අයිතියක් නැහැ. රැකියාවක් අවශ්‍ය මිනිස්සුන්ට ජීවත්වීමට විනා මිනිසුන් ජීවත් වන්නේ රැකියාව උදෙසා නොවේ. සාමාන්‍යන් රැකියාවේ කටයුත්තට අදාළ කාලයට පමණක් යොදා ගන්නා නිල ඇඳුම හැරුණු කොට මිනිසුන්ගේ ශරීරයට බද්ද වූ දේවල් වෙනස් කිරීම රැකියාවේ කටයුත්ත නෙවෙයි. ඒ වගේම බාහිරින් විලාසිතා විදිහට පෙනුනද සාමාන්‍යයෙන් මේ විලාසිතාවලට මිනිසුන්ගේ ඊට වඩා ගැඹුරු මනෝවිද්‍යාත්මක සම්බන්ධයක් තියෙනවා. කෙනෙකු රැවුල,කොන්ඩය, ඇඳුම් සහ ආභරණ මෝස්තර ලෙස තෝරාගන්නේ එයින් තමන්ට යම් කිසිම මානසික ශක්තියක්, හැඟීම් වලට බලවත් බවක් හෝ ජීවිතයට ප්‍රබෝධයක් ආදී ද ආදිය ඇති කරන නිසයි.( උදාහරණයකට, සනත් ඔහුගේ ඉතුරුවුන සුළු කෙස් ප්‍රමාණය ද බූ ගා දමා සම්පූර්ණ තට්ටය විලාසිතාවක් විදිහට තබා ගැනීම). කෙනෙකුට එසේ ශරීරයට බද්ධ වූ විලාසිතා ක්ෂණිකයෙන් ඉවත් කර දමන ලෙස කියන විට විශාල මානසික අර්බුදයක් ඇති කරනවා. එසේම එසේ කීම එදා බ්‍රිතාන්‍යයන් දේශීය ජනතාවට පැනෙව්වා හා සමාන අධිරාජ්‍යවාදී ආඥාවක්.
මෙවැනි විනය නීති රීති ඉතා පහසුවෙන් අභියෝගයට ලක් කළ හැකියි. එනම් එවැනි විලාසිතා ඉවත් කිරීමෙන් හැකියාව වර්ධනය වන්නේ කෙසේදැයි තහවුරු කරන්න කියලා. ශ්‍රී ලංකාවේම ක්‍රිකට් ක්‍රීඩාව ගත්තොත් ලසිත් මාලිංග වැනි කෙනෙක් මේ සියල්ල සහිතව දක්ෂයෙක් වුණේ කෙසේද? සනත්ගේ පරම්පරාවේ අයට එවැනි විලාසිතා ඒතරම් තිබුණේ නැත්තේ විනයකට වඩා එය ඔවුන්ගේ සංස්කෘතිය සහ පරම්පරාවේ ලක්ෂණයක් නිසයි. එය දක්ෂතා වර්ධනයට හේතු වුන ලෙස ඔහු තේරුම් ගැනීම අතිශය වැරදි වටහා ගැනීමක්.
අවසානයේ මෙවැනි විලාසිතා පාලනය කිරීමෙන් කිසියම් විෂයක දියුණුවක් හෝ විනයක් ඇතිවෙන බවට කිසිම තැනකින් සාධක මත තහවුරු වෙලා නැහැ. එය හුදෙක් පෙර කී ලෙස ඓතිහාසිකව වර්ධනය වෙලා ඇවිත් විශ්වාසයක් සහ දෘෂ්ටිවාදයක් ලෙසට තියෙන දෙයක් පමණයි.