“අරගලයෙන් ඔබ්බට 200+”: මලයහ දෙමළ ජනයා පිළිබඳ ප්‍රබල දෘශ්‍ය වංශකථාවක්

Share post:

දීර්ඝකාලීනව ලාංකික සිවිල් සමාජයේ බිම් මට්ටමේ ප්‍රජා සේවාවන්හි නියැ⁣ලෙන Center for Policy Alternatives, Suya Shakthi Institute සහ Uva Shakthi Institute ප්‍රධානත්වයෙන් සංවිධානය කල “200+Beyond the struggle”, බොහෝ කලකට පසු දුටු විශිෂ්ට ශ්‍රී ලාංකික ඡායාරූප ප්‍රදර්ශණයකි. ලයනල් වෙනඩ්ට් කලාගාරයේ පැවති මෙම ප්‍රදර්ශණය සඳහා ආධුනික ඡායාරූප ශිල්පීන් 12 දෙනෙකු ඡායාරූප ඉදිරිපත් කර තිබූ අතර, ඔවුන්ගේ නම් මෙහි සඳහන් කිරීම ඔවුනට කරන ගෞරවයක් වනු ඇත. එ නම්, P. Sahidaran, S.Ketheesh, S. Ashwini, K.G. Bevere Peter, M. Tania, P. Mikshala, K. Lakishan, M. Dhanushika, Pratikshan, J. Narayan, J. Dhanush සහ P. Priyanthani.

ජනාමාධ්‍යකරුවෙකුගේ දෘෂ්ටි කෝණයෙන් ඉදිරිපත් කරන මෙම ඡායාරූප ප්‍රදර්ශණයේ ඇති සුවිශේෂ බව පිළිබඳ මගේ අවධානයට යොමු වූ පැති කීපය අතරින් ප්‍රධාන වන්නේ, සමස්තයක් ලෙස ඡායාරූප වල ඇති අව්‍යාජ බව වේ. දේශීය පුවත් පත් කලාවෙන් වියැකී යන ජනමාධ්‍ය ඡායාරූපකරණයේ තිබිය යුතු ඒ අව්‍යාජ බව පවත්වා ගැනීම සඳහා මේ ආධුනික ඡායාරූපශිල්පීන් මෙහෙයවීම පිළිබඳ මෙම ශිල්පීන්ගේ උපදේශකයන්ට මාගේ ගෞරවය හිමි වේ.
ඡායාරූපයක නිර්ව්‍යාජබව යනු කුමක්ද යන්න පිළිබඳව පැහැදිලි අදහසක් බොහෝ දෙනෙකුට නැති බව මම දනිමි. කෙටියෙන් කියනවානම්, සත්‍යතාව, ප්‍රභවය සහ අඛණ්ඩතාවය වේ. “200+Beyond the struggle” ඡායාරූප ප්‍රදර්ශණයේ ඡායාරූපයන්හි සත්‍යතාවය නැතිනම් ඡායාරූප ශිල්පියා විසින් රූපගත කරන මොහොතේ තිබූ යථාර්තය භෞතික මුද්‍රිත පිටපතේ ප්‍රකාශණය තුලද රැඳී තිබීමය. ඡායාරූප නරඹන්නා නොමග නොයවන අතර අර්ථය චිත්තවේගීය සත්‍ය සහ එහි නිවැරිදි බව ආරක්ෂා කරමින් ප්‍රස්තුත “මලයියාහ” ජනතාවගේ සංස්කෘතික සහ මානව පැවැත්මට ගරුකරයි. කෙටියෙන් කියනවානම්, ප්‍රදර්ශනයේ අන්තර්ගතය පුවත් පත් කලාවට අයත් වාර්තාමය සහ වෘත්තීමය සන්දර්භය තුල වන සදාචාරාත්මක වූත් වෘත්තීය ප්‍රමිතීන්ට අනුකූල වන විශ්වාසදායක දෘෂ්‍යමය වාර්තාවකි.

මලය්යහ දෙමළ (Hill Country Tamils / Indian-Origin Tamils) ලෙස හඳුන්වන මෙම ජන කණ්ඩායම, 19 වැනි සියවසේදී බ්‍රිතාන්‍ය යටත්ව්ජිතකරණය විසින් දකුණු ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට ගෙන්වාලන ජනකොටසක් වන අතර ඔවුන් බ්‍රිතාන්‍යයන්ගේ තේ, කෝපි සහ රබර් වතුයායවල වැඩ කිරීමට බඳවා ගන්නා ලදී. එම කම්කරු ක්‍රමය තුළ ඔවුන් භූගෝලිකව සහ සමාජීයව තනිවූ, නොතකා හරිනු ලද සමාජ පන්තියක් ලෙසින් සලකනු ලැබූහ. 1948දී ශ්‍රී ලංකාව ස්වාධීන වූ පසු, ඔවුන්ට පුරවැසිභාවය අහිමි කරන පනත් මඟින් ඔවුන්ව තවත් වංචාකාරී භාවිතයකට ලක්විය. නීතිමය, ආර්ථික සහ සමාජීය වශයෙන් ඔවුන් විශාල වශයෙන් වන්දි නොලැබූ යුගයක් ගෙවූ අතර, එම භූමිකාව මෙතෙක් නවීන සමාජය තුලද සම්පූර්ණයෙන්ම වෙනස් වී නැත. පරම්පරා ගනණාවක් පුරා හැරී හැරී පැමිණි ඔවුන්ගේ ඉතිහාසයට නව පරම්පරාව විසින් මෙම ඡායාරූප හරහා ගැඹුරු සමාජීය සබැඳි තත්ත්වයක් එක්කරයි.
සන්දර්භීය සත්‍යතාවයෙන් යුක්ත ප්‍රදර්ශණයේ ඡායාරූප සත්‍ය ලෙසම “මලය්යාහ” ජනතාවගේ දෛනික ජීවිතවල සිදුවීම් වල කාලය, ස්ථානය සහ යථාස්වරූපය පෙන්වයි. ප්‍රදර්ශණය පුරා මට තොරතුරු විස්තර කරමින් සිටි ඡායාරූපශිල්පීනී K.G.Bevere Peter ගිනි ගනිමින් තිබෙන නිවෙසක ඡායාරූපයක් පෙන්වමින් කියා සිටියේ, එම සිදුවීම දැනගෙන ඉතා සූළු මොහොතකින් ඇය එතනට ගොස් එම ඡායාරූපය ගත් බවය.

ඇගේ කතාව ප්‍රදර්ශණය පිළිබඳ තවත් සිත් ඇදගන්නා සුළු කරුණක් හෙළිදරව් කෙරුවේය. එනම්, ප්‍රදර්ශණයේ සියළු ආධුනික ඡායාරූප ශිල්පීන් “මලය්යාහ” ජන කොට්ඨාශයට අයත් නව පරම්පරාවේ තරුණ තරුණියන් වීමයි. බ්‍රිතාන්‍ය යටත් යටත් විජිතකරණය ඉතිරි කර ගිය තවමත් පොදු මානව ඇගැයීම් යටතේ නොවිසිඳුනු, තමා අයත් ජනකොට්ඨාශය දෙස ඔවුන් ඉතා සියුම් ලෙස බලන බව ඡායාරූප සාක්ෂි දරයි. ඡායාරූප රැවටීමට අදහස් කරන ලද ගොතන ලද හෝ වේදිකාගත ප්‍රකාශනවලට වඩා අව්‍යාජ මිනිස් හැඟීම් හෝ සැබෑ ජීවිත තත්වයන් ග්‍රහණය කරයි. මෙය විශේෂයෙන් මානුෂීය, ගැටුම් හෝ සමාජ ගැටළු ඡායාරූපකරණයට අදාළ වේ.

“200+ Beyond the Struggle” ප්‍රදර්ශනය යනු සරල ඡායාරූප ප්‍රදර්ශනයක් නොවෙයි. මෙය සත්‍යය, මතකය සහ හැමෝම නොතකා හරින ලද ජීවිතවල කථා දෘශ්‍ය වශයෙන් ලියන ලද සාක්ෂියකි. මේ තුළින් නව පරම්පරාවක් – තමන්ට අයත් ජාතික කතාව, ඉතිහාසය, සංස්කෘතිය සහ අර්ථයක් කැමරාව මඟින් ඉදිරිපත් කරයි.

අනුරුද්ධ ලොකුහපුආරච්චි

Related articles

“තවදුරටත් ට්‍රම්ප්ගේ වචන විශ්වාස කරන්න බෑ. මින් ඉදිරි හෝරා කිහිපය අතිශයින්ම තීරණාත්මකයි” – ඉරානය

ඇමරිකාව ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනක් ඉලක්ක කරගෙන 22 වැනිදා අළුයම ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පැය කිහිපයකට පස්සේ අල්-ජසීරා රූපවාහිනය...

ඇමරිකානු නිළධාරීන් පුදුමයට පත්කරමින් ට්‍රම්ප් සටන් විරාමයක් නිවේදනය කරයි…

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ ඉරාන නිලධාරීන් සමඟ කතා කිරීමෙන් පසු ජනාධිපති ට්‍රම්ප් හදිසියේම ඊශ්‍රායලය සහ ඉරානය අතර...

අකටයුතු නාදකයන්ගේ දිනය අදයි – ඒ කවුද? : මොනවද කරන්නෙ?

අද (23) අකටයුතු නාදකයන්ගේ ජාත්‍යන්තර දිනයයි. (International Whistleblowers Day) අකටයුතු නාදකයන් යනු කවුද, ඔවුන් සමාජයක ඉදිරි ගමනට කොපමණ...

මේ දිනවල ලොවම කතාබහ වන විශිෂ්ට වාර්තාමය චිත්‍රපටය

බ්‍රිතාන්‍ය ජාතික ශ්‍රීමත් ඩේවිඩ් ඇටන්බරෝග් ( Sir David Frederick Attenborough / B 1926) ) වූ කලී ලොව එතෙක්...