මේ දිනවල ලොවම කතාබහ වන විශිෂ්ට වාර්තාමය චිත්‍රපටය

Share post:

බ්‍රිතාන්‍ය ජාතික ශ්‍රීමත් ඩේවිඩ් ඇටන්බරෝග් ( Sir David Frederick Attenborough / B 1926) ) වූ කලී ලොව එතෙක් මෙතෙක් බිහිවූ විශිෂ්ටතම ජීව විද්‍යාඥයෙකි, ජීව ඉතිහාසඥයකි, සාගර විශේෂඥයෙකි , පරිසරවේදියෙකි හා ගුවන් විදුලි හා රුපවාහිනී මාධ්‍යවේදියෙකි. එසේම ලෝප්‍රකට ලේඛකයෙකි. බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් ( University of Cambridge ) තම උසස් අධ්‍යාපන ලද එතුමා ලෝකය පිළිබඳව තම ගවේෂණය ආරම්භ කරනුයේ හතලිහේ දශකයේ ආරම්භයේ දී ය. ඒ මුහුදු ගවේෂකයකු ලෙසිනි. වර්තමානය මුදුමහත් ලෝකයේම සම්භාවනාවට පාත්‍ර වන එතුමා විශිෂ්ට පරිසර ගවේශකයකු හා පරිසර විද්‍යාව පිළිබඳව ප්‍රාමාණික විද්වතෙකු ද
වන්නේ ය.

එතුමාගේ ගවේෂණ ඇසට හසුනොවූ ලෝකයේ මහද්වීපයක් , වැසි වනාන්තරයක් , කාන්තාරයක් – සාගර කලාප හෝ ගොඩබිම් – මුහුදු පතුල් ( Ocean floors / beds ) , සාගර නිධි ( Ocean deposits ), නානා විධ කොරල්පර හෝ මුහුදු ජීවියකු නොවූ තරම්ය. එදාමෙදාතුර එතුමාගේ උපදේශකත්වයෙන් තිර රචනයෙන් හා ඉදිරිපත් කිරීමෙන් නිර්මාණය වූ පාරිසරික රූපවාහිනී වැඩසටහන් , වාර්තා චිත්‍රපට මෙතෙකැයි කියා කියනු බැරිය. එසේම එතුමන් ට යුරෝපයේ විවිධ ප්‍රකට විශ්ව විද්‍යාලවලේන් පිරිනමන ලද සම්මාන ආචාර්ය උපාධි හා ලද විවිධ ගෞරව සම්මාන ද මෙතෙකැයි කියා කියනු බැරිය.

එවන් අති – විශිෂ්ටයකුගේ හා ජේෂ්ඨතමයකුගේ නවතම වාර්තාමය චිත්‍රපටය ( පරිසර වාර්තා චිත්‍රපටය / A Nature Documentary ) වනුයේ Ocean – 2025 ය. මෙය මෙමස එනම් , ජූනි මස 08 වැනිදින Hulu හා Discovery ලෝප්‍රකට
රූපවාහිනිය නාලිකාව ඔස්සේ විකාශය කරන ලදි. පසුව පෙරේදා දින එනම්, ජූනි මස 18 වැනිදින අන්තර්ජාලයට මුදාහරින ලදි.

Ocean වාර්තා චිත්‍රපටයේ නාමාවලිය:

             Release Date: June 8, 2025 
                            Directors
                       Colin Butfield
                        Toby Nowlan
                        Keith Scholey
                Producer Toby Nowlan
                 Executive Producers
                              Albert II
                      Prince of Monaco
                       Louise Pedersen 
               Francoise Van Rappard 
                  Language: English 
         Country  United Kingdom 🇬🇧 
               Running Time: 1h 35m

මගේ විචාර සටහන :

Ocean : සමුද්‍රය , සාගරය හා මහ මුහුද යන මේ විවිධ නාමයන්ගෙන් හැදින්වෙන මහ මුහුද අපගේ මිහිමඬලෙන් 3/4 පමණක් පුරා පැතිර පවතින්නේ ය. එය විටෙක නෙතට සුන්දර දසුනක් මවන අතර තවත් විටෙක රුදුරු රළ , කුණාටු හෝ සුනාමි යනාදිය සමගින් අතිශයින්ම ප්‍රචණ්ඩ වන්නේ ය. එහො ඉතිහාසය වසර මිලියන ගණනාවකට දිවයයි. එහි ජීවත් වන නානාවිධ ලක්ෂ සංඛ්‍යාත ජලජ හා වෙනත් සත්ව කොටස් පිළිබඳව වෙනමම කතාබහ කරනු වටී. එවන් කතාබහකට මා සුදුසු නැත. මොකද සත්ව විද්‍යාව හෝ සාගර විද්‍යාව පිළිබඳව මගේ දැනුම එවන් ශාස්ත්‍රීය කතාබහකට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බැවිනි. සමස්තයක් වශයෙන් ගත් කල්හි සාගරය යනු මානව ශිෂ්ඨාචාරයේ කවම කවදාවත් අධ්‍යනය කොට අහවර කළ හැකි මාතෘකාවක් හෝ විෂයයක් නොවන්නේ ය. ඒ පිළිබදව මානවයා විසින් එදාමෙදාතුර අණාවරණය කරගත් කරුණු කාරණාවලට පරිභාහිරව තවත් ගවේෂණය කොට අණාවරණය කරගත යුතු වැදගත් කරුණු කාරණා මෙතෙකැයි
කියා කියනු බැරිය. ඒ තරමටම සාගර විද්‍යාව යන විෂයය ඉතා පුලුල් හා සංකීර්ණ වපසරියක් පුරා පැතිර පවතින්නේ ය.
Ocean වාර්තාමය චිත්‍රපටය සමුද්‍රය හෝ මහ මුහුද පිළිබඳව හරස් කඩකි. එහිලා
මීට අවුරුදු ලක්ෂ ගණනාවකට පෙර එහි මූලාරම්භය, එය විවිධ සාගර කලාපවලට බෙදී වෙන්විය ආකාරය , එම සාගර කලාපවල විවිධත්වය, ඒවා විවිධ දේශගුණික හා කාලගුණික තත්ත්වයන් යටතේ වෙනස්වන ආකාරය , එම සාගර කලාපවල ජීවත්වන විවිධ ජීවීන් හා ඔවුන්ගේ හැසිරීම් රටාවන් , එම සාගර කලාපවල කොරල්පර හා ඒවායේ විවිධත්වය, ලෝකයේ විවිධ ජනතාව දෛනිකව මහ මුහුද සමගින් කරන ගණුදෙනු හා එහිලා බැදුණු ලෝක සංචාරක ව්‍යාපාරය යනාදිය පිළිබඳව අතිශයින්ම තියුණු විවරණයක් මෙමගින් ඉදිරිපත් කෙරේ.

ඊළග කාරණාව නම් මෙහි කැමරාකරණය යි. මෙහි කැමරාකරණයේ විශිෂ්ටත්වය පිළිබඳව කීමට හෝ විස්තර කිරීමට මගේ ශබ්දකෝෂයේ වචන නැතුවා සේය. ඒ තරමට මෙහි කැමරාකරණය විශිෂ්ට ය . මෙහිලා මුහුද පත්ලේ චමත්කාරය, එහි තල්මසුන් – මෝරුන් ඇතුළුව ලක්ෂ සංඛ්‍යාත විවිධ ජීවීන්ගේ ජීවන ස්භාවය ද මුහුදු ගල්පර මුහුදු කලාපයෙන් කලාපයට වෙනස්වන ආකාරය මෙහි කැමරාකරුවන් විසින් තම විවිධ කැමරා කෝණ ( Camera Angeles ) ඔස්සේ කැමරා කාචවල සටහන් කරගෙන ඇති ආකාරයට සැබවින්ම විශ්මයජනක ය. ඊළග කාරණාව නම් සමස්ත වාර්තාමය චිත්‍රපටයේ “වර්ණ සරණිය” ( Color grading ) යි. එය එහි විශිෂ්ටත්වය කොතරම්දයත් ප්‍රේක්ෂකාගාරයේ පුරා විනාඩි අනූපහක පමණ කාලයක් විටෙක ප්‍රේක්ෂකාගාරය විවිධ මුහුදු කලාප පරිසර වෙතද තවත් විටෙක විවිධ මුහුදු කලාපවල ගැඹුරු විසිතුරු ලෝකයට ද මනෝමය වශයෙන් කැඳවාගෙන යන්නේ ය.

Ocean වාර්තාමය චිත්‍රපටයේ තවත් විශේෂ කාරණාවක් වනුයේ ප්‍රේක්ෂකාගාරය මවිත කරන එහි දසුන්වල ඇති චමත්කාරය ( A Picture Quality ) ය. ඒ ඇයිද යන්න සොයා බලන්නකුට එක අතකින් එය පුදුමවීමට කාරණාවක් ද නොවන්නේ ය.

Ocean වාර්තාමය චිත්‍රපටය රූපගත කිරීම හය දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් විසින් ඉෂ්ට-සිද්ධ කර ඇතිබව කියැවේ. ගොඩබිමෙහි රූපගත කිරීම්වලට වඩා ගැඹුරු මුහුදෙහි රූපගත කිරීම් අතිශයින්ම අසීරු හා අභියෝගාත්මක වන්නේ ය. ඊට විශේෂ පුහුණුවක් තිබිය යුතුය. මෙහි විශේෂ කැමරා කණ්ඩායමක් යොදාගෙන ඇත්තේ ලොව විවිධ ස්ථානවල පිහිටි සාගර කලාපවල රූපගත කරනු පිණිස ය. එහිලා ගොඩබිම් හා මුහුදු ජලයෙන් යට රූපගත කිරීම් පිණිස භාවිත කර ඇත්තේ SONY VENICE – 2 / 8.6K or Full Frame Sensor අති-නවීන සිනමා කැමරා යි. එවන් සිනමා කැමරා දහතුනක් පමණ මෙම කාර්යය සදහා භාවිතා කර ඇතිබව වැඩිදුරටත් කියැවේ. එය මට නම් පුදුමවීමට කාරණාවක් නොවනු ඇත. මොකද .. National Geographic හා Disney Company යන ලෝප්‍රකට ආයතන එදාමෙදාතුර නිර්මාණය කරනුයේ ලොව ඉහළම තාක්ෂණයෙන් යුතු වෘතාන්ත චිත්‍රපට හා වාර්තාමය චිත්‍රපට බව බැවින. එහි දිගුවකි, Ocean වාර්තාමය චිත්‍රපට ය.

Ocean වාර්තාමය චිත්‍රපටය ඉදිරිපත් කරනුයේ ලෝප්‍රකට National Geographic හා Disney Company විසිනි. එය ඉදිරිපත් කරනුයේ ශ්‍රීමත් ඩේවිඩ් ඇටන්බරෝග් විසිනි. මේ වනවිට එතුමාගො වසය අවුරුදු අනූනමයකි. සාමාන්‍ය මිනිසකුගේ උපරිම ආයුෂද අතික්‍රමණය කොට තවමත් ඉතා ඉහළ කායික හා මානසික තත්ත්වයකින් පසුවන මහල්ලකු විසින් මේසා වූ දැවැන්ත වාර්තාමය චිත්‍රපටයක් ඉදිරිපත් කිරීම සැබවින්ම විශ්මය දනවන කාරණාවක් නොවන්නේ ද ? මට නම් ඒසා වූ වයසක මහල්ලකු වැඩසටහනක් ඉදිපත් කිරීම තියා කොන්ද කෙලින් තබාගෙන මුහුදු වෙරළක ඇවිදීමත් පුදුමයක් හෝ ආශ්චර්යයක් වන්නේ ය.

Ocean වාර්තාමය චිත්‍රපටයේ මා දකින අනෙක් විශේෂත්වය වනුයේ මෙම වාර්තාමය චිත්‍රපට ඉදිරිපත් කරන ඩේවිඩ් ඇටන්බරෝග් විටෙක කිමිදෙමින් ද තවත් විටෙක විශේෂ රොබෝ යානයකින් ගැඹුරු මුහුද ගවේෂණය කරමින් ද ප්‍රේක්ෂකාගාරය දැනුවත් කිරීම යි. එය සැබවින්ම විශ්මයජනක ය.
Ocean වාර්තාමය චිත්‍රපටය තුළ ඔහුගේ ඉදිරිපත් කිරීම ද තවත් විටෙක පසුබිම් කථිනයද ( Narration ) ඉතා ඉහළම තලයක තිබෙන අතර එහිලා එතුමන් ගෙනහැර දක්වන දැනුම් සම්භාරය කොතරම්ද යන්න සිතන විට මට නම් හැගෙන්නේ වචනයෙන් විස්තර කළ නොහැකි විශ්මයකි. එතුමන්ගේ දැවැන්ත පෞරුෂය Ocean වාර්තාමය චිත්‍රපටය වසාගෙන පැතිර ඇත්තේ රාජාලියකු තම තටු දෙක දිගුකර තමාගේ පැටවුන් ආරක්ෂා කරන්නේ සේය. එතරම්ම පෞරුෂයක් එතුමන් විසින් Ocean වාර්තාමය චිත්‍රපටය පුරාම ‍පුකට කරන්නේ ය. එම දැවැන්ත පුරුෂය තම ප්‍රාමාණික දැනුම් සම්භාරය හා අත්දැකීම් සමගින් ද එසේම තම වයස සමගින් ද සම්මිශ්‍රණය වී ඇතැයි කියා මට සිතේ.

“ගසේ කටු උල් කිරීමට අවශ්‍ය නැතැයි” කියා අපේ ජන-කියමනක් තිබේ. එවන් ජන-කියමන් අපේ ආදි-මුතුන් මිත්තන් විසින් කියා ඇත්තේ කට-කහනවාට නොවේ යැයි සිතෙනුවේ පහත සදහන් කරන කාරණාවලට අනුව බව පෙනේ.

ඩේවිඩ් ඇටන්බරෝග් ට සොහොයුරන් දෙදෙනකු සිටියේ ය. එනම් ඒ වැඩිමහල් සොහොයුරා ශ්‍රීමත් රිචඩ් ඇටන්බරෝග් ( Richard Attenborough 1923 – 2014 ) ය. එතුමා ඇකඩමි සම්මානනීය නළුවෙකි, නිෂ්පාදකයෙකි , අධ්‍යක්ෂකවරයෙකි. එතුමා විසින් අධ්‍යක්ෂණය කරන ලද සම්මානනීය චිත්‍රපට අතර A Bridge Too Far 1977 / Gandhi – 1982 / Cry Freedom – 1987 / Chaplin ( A Cinama Biography ) – 1992 / In Love and War – 1996 / Grey Owal – 1999 යනාදිය චිත්‍රපට ප්‍රධාන වේ.

ඩේවිඩ් ඇටන්බරෝග් ගේ බාලා සොහොයුරා වූයේ ජෝන් ඇටන්බරෝග් ( John Attenborough 1929 – 2012 ) ය. ඔහු වෘත්තියෙන් කීර්මත් බ්‍රිතාන්‍ය කාර්මික ඉංජිනේරුවෙකු වූයේ ය.

Ocean වාර්තාමය චිත්‍රපටය පිළිබඳව:
Discovery Magazine
Daily Mail
TV Times
The Garden
Washington Post

මගේ විශේෂ සටහන :

Ocean වාර්තාමය චිත්‍රපටය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විශිෂ්ට වාර්තාමය චිත්‍රපටයක් බව වරක් නොව දෙවරක් නොව තෙවරක්ම සදහන් කරනු වටී. එසේම මෙම වාර්තාමය චිත්‍රපට මෙරට ඕනෑම තරාතිරමක චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු කැමරාශිල්පියකු හා සිනමා ක්ෂේත්‍රයට අවතීර්ණවන්නට බලාපොරොත්තුවෙන් පසුවන ඕනෑම අයකු විසින් අනිවාර්යයෙන්ම නැරඹිය යුතුම විශිෂ්ට වාර්තාමය චිත්‍රපටයක් ද වන්නේ ය.
එපමණක්ද නොව මෙරට පාසැල්වල , විශ්ව විද්‍යාලවල අනිවාර්යයෙන්ම ප්‍රදර්ශනය කළ යුතු අතර මෙරට පරිසරය පිළිබඳව උනන්දුවකු දන්වන හා ඒ පිළිබදව විවිධ ගවේෂණයන් කරන සෑම අයකු විසින්ම අනිවාර්යයෙන්ම නැරඹිය යුතුම වාර්තාමය චිත්‍රපටයක් ද වන්නේ ය.
අධ්‍යනය – ගවේෂණය හා කැපවීම පිළිබඳව දියහැකි හොදම උදාහරණයකි, Ocean වාර්තාමය චිත්‍රපටය.

පූජ්‍ය ඇතිපොළ මංගල හිමි

Related articles

පොලිස් වධහිංසාවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තවත් තීරණාත්මක තීන්දුවක් !

2019 වර්ෂයේදී තරුණයකුට වධහිංසා පැමිණවීමෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ ඌරගස්මන්හන්දිය පොලිසියේ හිටපු නිලධාරීන් දෙදෙනකුට රුපියල්...

‘සුනිල මිණි’ – වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල

ලෝකයේ නන් දෙස විහිදී පැතිරී තිබෙන කෙටි කවිය පිළිබඳ සංවාදයක යෙදෙන්නේ නම්, මුදු මානවීය ගුණය හාත්පස විහිදුවා සුඟද...

සිතුවමක් නැති සිත්තරාගේ කාව්‍ය සිත්තම්

ශර්මිලා බංදුනි දංවත්ත කිව්ඳියගේ කවිගැන ඉතා කෙටි කියවීමක්. ශ්‍රී ලංකා හයිකු ලෙස හඳුන්වමින්, "සඳට රහසින් පෙම් කළා මම" නමින්...

බෞද්ධ භික්ෂුණීන්ගේ අරගලය ශ්‍රේෂ්ඨාධිකරණයේදී ජයග්‍රහණය කරයි !

බෞද්ධ භික්ෂුණීන්ට සිල් මාතා වෙනුවට භික්ෂුණී යන පිළිගැනීම ලබා දී ජාතික හැඳුනුම්පත් ලබා දෙන ලෙස පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ...