සිතුවමක් නැති සිත්තරාගේ කාව්‍ය සිත්තම්

Share post:

ශර්මිලා බංදුනි දංවත්ත කිව්ඳියගේ කවිගැන ඉතා කෙටි කියවීමක්.

ශ්‍රී ලංකා හයිකු ලෙස හඳුන්වමින්, “සඳට රහසින් පෙම් කළා මම” නමින් සංග්‍රහයක් 2023 වසරේදී මුද්‍රණයෙන් පල කළ, ශර්මිලා බංදුනි දංවත්ත කිවිඳිය, 2025 වසරේදී සිංහල කවියන් අතරට

නැවත පැමිණෙන්නේ සිතුවමක් නැති සිත්තරා නම් කාව්‍ය සංග්‍රහයත් සමඟය. සමාජ මාධ්‍යයේ සහ ජාතික තලයේ පුවත් පත් පිටු අතරත් නිරන්තරයෙන් ඇයගේ නිර්මාණ දක්නට ලැබෙයි.

ශ්‍රී ලාංකීක වන හයිකු කවියක් පවතින්නේද යන කාරණය විවාද සම්පන්නය. එකී විවාදය පසෙක තබා ඈ විසින් නිර්මිත සංක්ෂිප්ත කවි කිහිපයක් විමසා බලන්නේ කිවිඳියගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහයෙන් හමුවන රසවත් කවිතා හඳුනා ගන්නටය.

ගඟත් පිට පාරෙම යන හැටි
අනේ මේ කුඹුරු
වියළෙනවා බල බල.

මේ කවිය යම් කිසි දේශපාලන අරුතකින් අපට කියවා ගන්නට පුළුවන. වර්තමාන සමාජයේ වගකිව යුතු තනතුරු දරන්නන්ගේ සමාජ භාවිතයේ ඇති වයාජත්වය සහ අකාරයක්ෂමතාව කෙරෙහි කිවිඳිය සතු විවේචනය මේ කවියට හේතු වූවා වන්නට ඇත. ගඟ ගලා යා යුත්තේ වියළි බිම් තෙත් කරමින් ය. ” වහින්ට හැකිනම් ගිඟුම් දී වියළි ගම් බිම් වලට ඉහළින්” කියා නන්දා මාලනිය ගැයුවේ ඒ උතුම් මිනිසත් කමේ යුතුකම් ගැන ය. එහෙත් අප සමාජ දේහය වසාගෙන ඇත්තේ ඒ යුතුකම් ප්‍රමුඛ අවැසිතාවලියකින් නොවීම කණගාටුවට හේතුවකි. සමාජයේ වගකිවයුත්තන් තමන් තනා ගතා ඉලක්ක කරා හැල්මේ දිව යනු මිස තමන්ගෙන් අනකාට ඉටු විය යුතු යුතුකම් පිළිබඳව තැකීමක් හැඟීමක් නැත. ගඟ යන පාරේම යනවා මිසක අවට වියැළෙමින් ඇති කෙත් බිම් වලට දිය දෙන්නේ නැත. දිය පතන කුඹුරු වියළී හැකිළි විනාශ වී යයි. කිවිඳියගේ පැතුම “නිදන්නට හැකිනම් දෙනෙත් තුළ – සැබෑවෙන සුබ සිහිනයක් ” වන්නටය.

ඔහු සමඟ
සඳත්
ගෙට එමින්

ඔහු යනුවෙන් අදහස් වන්නේ, නිවැසි කතගේ ස්වාමියා විය හැක. ඔහු ගෙට එන්නේ රාත්‍රියේය. ඒ වෙහෙසකාරි දහවලකට පසුව විය හැක. මේ දහවල් කාලය පුරාවට කවියේ කථකයා, සැමියා නොමැති නිවසේ යම් තරමක වෙහෙසක් තනිකමක් පාලුවක් අත්වින්දා වන්නට පුළුවන. කවියට හසු කරගන්නා මොහොත රාත්‍රිය උදාවන මොහොතයි. ඒ සැමියා රැකියා කට‍යුතු නිමවා නිවසට පැමිණෙන වෙලාවයි. ඔහු එන විට ඔහු සමඟ සඳත් පැමිණෙනවා ය යි පැවසීමෙන් කිවිඳිය රාත්‍රියේ සොඳුරු කලාපයක් රසිකයාට විවෘත කර පෙන්වන්නීය. සඳ එළිය, සඳ සිසිල මිනිස් ගතත් සිතත් නිවා සනසවා වෙහෙස සංසිදවන්නට සමත් වන්නාසේ ම, අකාශය ඒකාලෝක කරයි, අවට පරිසරය ද සුන්දරවත් කරවයි. ඒ සැම දෙයටත් වඩා මිනිස් හදවත් තුළ ශෘංගාරය වඩවයි. ගේහසිත ප්‍රේමයේදි ස්ත්‍රී පුරුෂ සම්බන්ධතා ශක්තිමත් වන්නට ශෘංගාරාත්මක සැන්දෑවල් කෙතරම් අගනේ ද?
මේ එම කාව්‍ය සංග්‍රහයේ හමුවන තවත් රසවත් කවි කිහිපයකි.

මකන්න මකන්න
මතුවෙන හැටි
මේ ඡායාව
**
මෙගොඩ වී
එගොඩ බලමි
හිස් බව!
**
වසන්තය
දළඹුවෝ
නැද්ද තවමත් තටු

සිතුවමක් නැති සිත්තරා කාව්‍ය සංග්‍රහයෙ, මුද්‍රණයෙන් පළවන ඇයගේ දෙවන කාව්‍ය සංග්‍රහය යි. ඇය මෙම කව්‍ය සංග්‍රහය ගෙන එන්නේ “ශ්‍රි ලංකා හයිකු” නෑදැකමක් නැතිව වීම විශේෂයකි. එහි හමුවන්නේ, නිදහස් ආරෙන් නිර්මිත කවි පන්තින් ය.
එහි හමුවන “මිහිරැති වසන්ත කාලේ” යන සිරසින් යුතු කවිය මා සිත් ගත් කවියකි.

“මිහිරැති වසන්ත කාලේ”

ගියා කොවුලෙක් කියාගෙන
කෝ…
කොහිද ඒ වසන්තය
බැලුවා වට පිට මම
ගස් උඩ
ගස් යට
තණ පදුරු මත
වැටී තිබුණා මල් තුහින
මේක වෙන්න ඇති වසන්තය
සිතුනා මට
සිනාසී…
අහැක් ගැහුවා ඉර
අහවරයි වසන්තය
මිය ගියා මල් තුහින
දහවල පුටුව මත
නින්ද අගුණයි මට
නැගිටලා…
මම ගියා ගෙට

උක්ත කවියේ නාමකරණය පවතින්නේ කවියෙන් පිටත රසිකයාට මග සලකුණු කියන්නට නොව කවිය ඇතුළත ම කවියේ කොටසක් ලෙසටය. එහිද වසන්ත කාලේ යන යෙදුම මිහිරැති යන වචනයෙන් වෙන් කර තබා ඇත්තේ, ඇත්තෙන් ම වසන්ත කාලය මිහිරිදැයි විමසන්නට රසිකයාට ඉඩ හරිමින් ය.
එකී කවිය තුළ සදය උපහාසයක් ද ඇත. කථකයා තමාට කොතැන හෝ වැරදින බවක් සිතා තමාට ම සිනා සෙන්නාක් මෙනි. “ඇහැක් ගැහුවා ඉර අහවරයි වසන්තය – මිය ගියා මල් තුහීන” කාලය සහ සෘතු වෙනස්වීම තීරණය වන්නේ ඉර නැගීම බැසීම අනුවය. කථකයා වසන්තය එන තුරු බලා හිඳී. කථකයා පසුකර යන කාලයේ වෙනස්වීම නොදකී. ඔහුටත් හොරා කාලය ගෙවී යයි. ඔහු දැන් වියපත් ය. ඔහු සොයමින් හුන් ජීව්තය ඔහුටත් හොරාම ගත වී ගොස් ය. අප බොහෝ දෙනෙක් අනාගතයේ උදාවෙන හොඳ දවස එනතුරු වර්තමානය කල් දමමින් සිටින්නෝ නොවෙත් ද?

කවිය රසිකයා වෙත ආගමික විදර්ශනාලෝකයක් විහිදුවන බවද කෙනෙකුට සිතෙන්නට පුළුවන. එය මේ ධම්මපද ගාථාවේ වඩා පුළුල් අරුතින් කියැවෙන බව මගේ අදහසයි.

“අපපමාදො අමතපදං
පමාදො මච්චුනො පදං
අප්පමතාත න මියනති
යෙ පමතත යථ මතා”

සිතුවමක් නැති සිත්තරා යන හිසින් යුතු කවියේ ඇය ස්පර්ෂ කරන්නේ ජීව්තයේ එකම එක ක්ෂණයක අත ගැටි ගිලිහී යන සංසාරගත දැන හැදුනුම්කමක උණුසුමකි.

සිතුවමක් නැති සිත්තරා

ඔබව දැක්කේ දුරින්
තරු මැද දිලෙන
සඳටත් වැඩිය එලියෙන්
ඔබත් සිටියා
බිත්තියේ තිබුණ
සිතුවමක් අගයමින්
වහා ඒ සිතුවමින්
ඇයින්කර සුර ලියක්
ඇන්දා මවව මම
නෙත් දෙකින්
මගේ හද කැන්වසය
ඔබ රුවට උමතුවෙන්
වෙන කිසිම සිතුවමක්
අඳෙන් නෑ පින්සලෙන්
එදා තුර
මෙදා තුර
සොයනවා මම
ගැලපෙනම පින්සලක්

මේ කවියත් සමඟ, මට පෝලෝ කොයිලෝ කතුවරයාගේ බ්‍රීඩා සිහිපත් වෙයි. “ඔබව දැක්කේ දුරින් – සඳටත් වැඩිය එලියෙන්” යන කොටස මට සිහි කරන්නේ, බ්‍රීඩා අමතා විකා පවසන මේ වචන ය. “You could tell your Soulmate by the light in their eyes” කෙනෙක්ට හමු වූයේ සිය ආත්ම සහකරුද යන්න හඳුනාගත හැක්කේ ඔවුන්ගේ දෑසේ දිලෙන ආලෝකයෙන් බව විකා බ්‍රීඩාට කියා දෙන්නේය. කිවිඳිය දුරින් සිටී “ඔබ” සඳටත් වඩා ආලෝකයකින් දකින්නේ ඒ සිය ආත්ම සහකරුවා වන බැවින් නොවෙද?

පෝලෝ කොයිලෝ පවසන ආකාරයට, අපගේ ආත්මය දෙකඩ වී ඇත. ඒ ගැහැනු පිරිමි වශයෙනි. ආත්මයේ අපෙන් ගිලිහිනු අනෙක් කොටස සොයා ගැනීමේ වගකීම අප සතු ය. අඩුම තරමින් ජීවිතයේ එක අවස්ථාවක අපෙන් බිඳුන ආත්මයේ අනෙක් කොටස අපට හමු වන්නට නියමිතය. එම හමුවීමේ මොහොතය අපේ ජීවිතයේ ඉදිරි ඉතිරි දවස්වල පැවැත්ම තීරණය කරනු ඇත. එබැවින් සැබෑ ලෙසම මේ හමු වීම පවා විටෙක මහ විශාල අවදානමක් ගැනීමකි.

මගේ හද කැන්වසය
ඔබ රුවට උමතුවෙන්
වෙන කිසිම සිතුවමක්
අඳෙන් නෑ පින්සලෙන්
එදා තුර
මෙදා තුර
සොයනවා මම
ගැලපෙනම පින්සලක්

මෙම කාව්‍ය සංග්‍රහය පුරාවට ම රසවත් කවි නිර්මාණ රැසක් ඇතුළත් ය. කිවිඳිය සිය අත්දැකීම් කවි කරන්නේ ඉවසීමෙන් හා සංයමයෙන් ය. ඇය නැවුම් නොඉඳුල් කාව්‍යෝක්ති නිර්මාණය කරන්නට සමත් ය. කටවහරින් – ගැමි වහරින් පෝෂණය කරගත් ඇගේ කවි බස නිරවුල් ය. ඇය නි බයව සි‍ය අත්දැකීම් කවි කර ඇති බවක් දක්නට ලැබේ.

ශර්මිලා බංදුනි දංවත්ත කිවිඳියට ඇයගේ නැවුම් කාව්‍ය අස්වැන්නේ සාර්ථකත්වය වෙනුවෙන් අපගේ උණුසුම් සුබපැතුම්.

නිරෝෂ ප්‍රනාන්දු

05/25/25

Related articles

පොලිස් වධහිංසාවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තවත් තීරණාත්මක තීන්දුවක් !

2019 වර්ෂයේදී තරුණයකුට වධහිංසා පැමිණවීමෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ ඌරගස්මන්හන්දිය පොලිසියේ හිටපු නිලධාරීන් දෙදෙනකුට රුපියල්...

‘සුනිල මිණි’ – වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල

ලෝකයේ නන් දෙස විහිදී පැතිරී තිබෙන කෙටි කවිය පිළිබඳ සංවාදයක යෙදෙන්නේ නම්, මුදු මානවීය ගුණය හාත්පස විහිදුවා සුඟද...

බෞද්ධ භික්ෂුණීන්ගේ අරගලය ශ්‍රේෂ්ඨාධිකරණයේදී ජයග්‍රහණය කරයි !

බෞද්ධ භික්ෂුණීන්ට සිල් මාතා වෙනුවට භික්ෂුණී යන පිළිගැනීම ලබා දී ජාතික හැඳුනුම්පත් ලබා දෙන ලෙස පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ...

ඉරාන – ඊශ්‍රායල් යුද්ධය අපිට දුර ද !

ඉරාන-ඊශ්‍රායල් ගැටුම් තව තවත් වර්ධනය වෙමින් තිබෙන්නේ තවදුරටත් මේ ප්‍රශ්නය මැදපෙරදිගට විතරක් නොව මුළු ලෝකයේ ම ආර්ථිකයට බලපාන...