MGRගේ නම ඇහුණු සැණින් තමිල්නාඩුවේ ප්‍රේක්ෂකයන්ගේ ඉහේ මල් පිපෙනවා !

Share post:

මේ දවස්වල ඉන්නේ චෙන්නායි නුවර. ගින්දර වාගේ රස්නෙයි. පාන්දර පහ වෙනකොට සෙල්සියස් අංශක විසි නවයයි. දවල් වෙනකොට හතලිස් දෙකට විතර නගින දවසුත් තියෙනවා. රස්නෙයි කියලා ගෙවල් අස්සට වෙලා හිටියොත් ආව වැඩේ කරගන්න බැරි වෙනවා. මේ වතාවේ ආවේ අළුතින් ලියන නවකථාවට අදාල චරිත කිහිපයක් මුණගැහෙන්නට. ඒ අතරේ විවේකයක් ලැබුනු හැම අවස්ථාවකම අළුත් අනුභූතීන් හඹායනවා. ඊයේ සන්ධ්‍යාවේ අතිශය මනරම් අත්දැකීමක් ලැබුවා. ඒක ලියන්නම ඕනේ එකක්.

ඉන්දියාවේ ප්‍රේක්ෂකයින් සිනමා තාරුකා වන්දනා කරනවා කිව්වොත් හරි. හින්දි සිනමාවේ නම්, අමිතාබ් බච්චන්, ෂාරුක් ඛාන්, දීපිකා පඩුකෝනේ, දේව් ආනන්ද් වාගේ අය. දකුණේ අය අතර රැජිනි කාන්ත්, විජේ, කමල් හසන්, නයනතාරා සහ සමන්තා කැපී පේනවා. ජීවතුන් අතර නැතත්, මේ තරු පොකුරේ දිදුළනම තරුව ලෙස MGR ගේ නම මුලටම එනවා. MGR ගේ නම ඇහුනු සැනින් තමිල්නාඩුවේ ප්‍රෙක්ෂකයින්ගේ ඉහේ මල් පිපෙනවා. ඔහු ඒ තරම්ම ජනප්‍රියයි.

MGR ඉපදුනේ ලංකාවේ. එයා ඉපදෙන්නේ එක්දාස් නවසිය දාහතේ ජනවාරි දාහත්වෙනිදා. මහනුවරදි. එයාගේ අම්මයි අප්පයි දෙන්නම කේරලෙන් මෙහේ ඇවිත් පදිංචි වෙච්ච අය. අප්පා මේලකාත් ගෝපාලන් මෙනන්. අම්මා මරුතූර් සත්‍යබාමා. MGR ගේ සම්පූර්ණ නම මරුතූර් ගෝපාල රාමචන්ද්‍රන්. අප්පා මැරෙනකොට එයාට වයස අවුරුදු දෙකහමාරයි. ඒ ළඟම දවසක එයාගේ සහෝදරිත් මැරෙනවා. හොයා ගන්න බැරි ලෙඩක් හැදිලා. ඊට පස්සේ ඒ ගොල්ලංගේ අම්මා එයාවයි එයාගේ වැඩිමහල් සහෝදරයාවයි එක්කගෙන කේරලේ මුල් ගමට සංක්‍රමණය වෙනවා.

ඊයේ අත්විඳි රස ගුලාව සොයා යන්නට පාර පෙන්නුවේ මගේ සහෝදරයා. එයා පික්චර් පිස්සෙක්. එයා MGR ගේ මුල්ම චිත්‍රපටිය, සති ලීලාවතී සිට අවසන් චිත්‍රපටිය නල්ලත්තෙයි නාඩු කේකුම් වෙනකල් චිත්‍රපටි නාමාවලිය කටපාඩමින් කියන්න දන්නවා. එයා කිව්වේ බාලාජි සරවන තියටර් එකේ, ඉරිදා හයයි තිහේ ෂෝ එකක් අත්නොවිඳි කෙනෙක් ජීවත් වෙන්න වටින්නෑ කියලා.

බාලාජි සරවන සිනමා ශාලාව තියෙන්නේ චෙන්නායි නුවර පුරසායිවක්කම් කිට්ටුව, ඔටෙරි කියන තදාසන්න ජනාවාසයේ. ඒ ජනාවාසයේ වෙසෙන සියල්ලෝම පාහේ සමාජයේ අන්න දරිද්‍ර කුලහීනයන්. ඔවුන්ගෙන් බහුතරය එදිනෙදා වියදම් සරිකරගන්නේ තමන් වාගේ පස් ගුණයක් විශාල මල්ලක් කරේ දමාගෙන, පාරවල් ගානේ ඇවිද, කසල එකතු කිරීම, වර්ග කිරීම සහ වෙන්කිරීමෙනුයි. ඒවා විකුණා ලැබෙන සොච්චම තමයි ඒ අයගේ එකම ආදායම් මාර්ගය. ඉංග්‍රිසි භාෂාවෙන් ඔවුන් හඳුන්වන්නේ Rag pickers කියලා.

ඉරිදා හවස හයයි තිහේ දර්ශනය නරඹන්න බාලාජි සරවන සිනමා ශාලාවට එන බහුතරය කොණ්ඬේ රිදී පාට වෙච්ච හැට පැනපු වැඩිහිටියෝ කොල්ලන්ගේ භාෂාවෙන් ලියනවානං ‘නාකි සෙට් එකක්’ මටත් දැන් හැට තුනක් නිසා මේ පිරිස සමග සංගත වෙන එක දුෂ්කර වුනේ නැහැ.

චිත්‍රපටිය බලන්න එන බහුතරයකගේ අයගේ උඩ සාක්කුවේ බීඩි තුන හතරයි ගිණි පෙට්ටියයි. සරමට යටින් චීත්ත කලිසං සාක්කුවේ කාලක් හරි බාගයක් හරි. කසිප්පු. ඇරත් ඒ අහිංසකයින් වෙන මොනවා බොන්නද. ඇතැම් අය ආසනයක තැන්පත් වුනු සැනින් ඉදිරියේ ඇති ආසනයේ ඇඳි දෙක මත තමන්ගේ දෙපා තැන්පත් කර හරිබරි ගැහෙනවා. ආයේ ඉතිං සක්‍ර දේවේන්ද්‍රයා අණ කළත් නෙවෙයි ඒ කකුල් දෙක බිමට ගන්නේ. ඇතැම්මු වාඩි වෙන්න ඉස්සරම කමිසේ ගලවලා ඉස්සරහා පුටුවේ වනනවා. සමහරු වාඩි වෙන්නේ ආසන අතරින් තිරය දෙසට ගමන් කරන්නට වෙන්කර ඇති ඉඬේ බිම. කොහොමත් විසිපහක් තිහක් විතර බිම වාඩි වෙනවා. චිත්‍රපට දර්ශනය ආරම්භ වෙන වෙලාව එනකොට ශාලාව ඇතුලත බීඩි – සිගරට් දුමෙන් පිරෙනවා. හරියටම සීත කඳුකරේ මීදුම වාගේ.

ඔන්න චිත්‍රපටිය රිදී තිරය මත පතිත වුනා. 1968 නිකුත්වුනු MGR සහ ජයලලිතා ප්‍රධාන චරිත රඟපාන ඔලි විලක්කු චිත්‍රපටියයි තිරගත වෙන්නේ. පොඩි කොල්ලෙක් කඩේකින් ටී බනිසක් හොරකං කරගෙන දුවන දර්ශනයකින් අනතුරුව නාමාවලිය දිගහැරෙන්න පටන් ගත්තා. MGR කියලා අකුරු තුන තිරය මත දිස්වෙනවාත් එක්කම මුළු ශාලාවම අත්පොලසන් සහ විසිල් හඬින් ගිගිරුම් දුන්නා. ඇතැම් අය සන්තෝසේ ඉහවහා නොහී MGR ගේ නම කියලා කෑගහන්න ගත්තා. ජයලලිතාගේ නම වැටුනමත් එහෙමයි. චිත්‍රපටියේ දෙබස් වලට සමගාමීව නරඹන්නන් දෙබස් කියනවා. කටපාඩමින්. සද්දෙට. සටන් ජවනිකාවලදී MGR ගේ පසුපසින් දුෂ්ටයා හිටගත්තම කෑගහනවා ‘අයියා අන්න අරූ පිටිපස්සේ’ කියලා. සටන් කරන්න ඕනේ හැටි ගැන, වාහන එළවන විදිය ගැන MGR ට උපදෙස් කන්දරාවයි.

ඔය අතරේ අර බිම වාඩි වෙච්ච කට්ටිය, සරමට යටින්, චීත්ත කලිසං සාක්කුවේ හංගාගෙන ආව කසිප්පු වඩිය සප්පායං වෙන්න පටන් ගන්නවා. සමහරු කාලේ බෝතලේ එක හුස්මට ගොජ ගොජ ගාලා කටේ හලා ගන්නවා. තවත් සමහරු සාක්කුවක ඔබාගෙන ආව මුරුක්කුවක්, වඩේ එකක් බුදිමින් කසිප්පු සිප් කරනවා. ගීතයක් වාදනය වෙන්න පටන්ගත් සැනින් මුළු ශාලාවෙම සෙනග ඒ ගීතය ගායනා කරන්න ගන්නවා. ගීතයට තාල තියනවා. දෙවැනි සිංදුවට එනකොට දැන් අර බිම වාඩිවෙලා හිටපු අය ගානට පදම් වෙලා. කට්ටියම නටන්න ගන්නවා. එක එක්කෙනා එක එක විදියට. සරම් කැහැපොට ගහගෙන, දෑත් වනමින්, උඩ පැන පැන, පුටු උඩ, පුටු යට ආදී වශයෙන් තමන්ට රිසිසේ නටනවා. හිත හයිය කෙනෙක් දෙන්නෙක් සරම කරේ ඔතාගෙන, ජන්ඩා වන වනා හෙළුවෙන්ම නටනවා. කිසි කෙනෙකුට වගේ වගක් නැහැ. අපරාදේ. මටත් Old Monk රම් කාලක් ඉනේ ගහගෙන සරමක් ඇඳන් එන්න තිබුනේ. එහෙම ඇවිත් හිටියානං මං සිංදු වලට විතරක් නෙවෙයි. දෙබස් වලටත් නටනවා. මගේ සම වයසේ, මේ පිරිමි පාරාදීසයේ ආයේ කාගෙන් තහනමක්ද. අනෙක, අහවල් කාරණේකට ලැජ්ජා හිතෙන්ඩද.

ඒක පුදුමාකාර රසවත් සිනමා අත්දැකීමක්. පැතලි කොළයක ලියන්න බැරි ආනන්දයක්. ඉන්ටවල් එකේදි මට හිතුනා, සතියේ හැමදාම ඉරිදාවක් වෙනවා නං කොච්චර හොඳ ද කියලා. ලංකා දූපතේ විශිෂ්ට යැයි සම්මත සිනමාකරුවෝ චිත්‍රපටි හදන්නේ විදේශ සිනමා සම්මාන උත්සව ඉලක්ක කරගෙන. බහුශ්‍රත ප්‍රෙක්ෂකයින් ඒ අපබ්‍රංශ චිත්‍රපටි නරඹන්නේ හොටු පෙරාගෙන. චිත්‍රපටිය ඉවර වෙන්න ඔන්න මෙන්න කියලා මට ඔය සිද්ධි දාමය මතක් වෙලා බක බක ගාලා හිනා ගියා. මගේ හිනා හඬට බාලාජි සරවන සිනමා ශාලාවේ වහල හිල්වෙලා අහසේ තරු පේන්න පටන් ගත්තා.

විෂ්ණු වාසු (Vishnu Vàsu)

Related articles

ඉන්දියාවෙන් පාඩමක්

ටාටා ස්ටීල් චෙස් තරගාවලිය අවසන් වුණා. ටාටා සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් ඉන්දියාවේ පැවැති එම තරගාවලියට ජාත්‍යන්තර ක්‍රීඩකයන් රැසක් සහභාගී...

පාර්ලිමේන්තු ඉතිහාසයට නව පිටුවක් – කාන්තාවන් 22ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ලෙස දිවුරුම් දෙති !

හෙට (21) ආරම්භ වන දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදී පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩි ම මන්ත්‍රීවරියන් පිරිසක් දිවුරුම් දීමට නියමිත...

ජුලම්පිටියෙ අමරෙගේ මරණ දඬුවම අභියාචනාධිකරණයෙන් ස්ථිර කරයි – මහ මොළකරුවන් නිදොස් කොට නිදහස් ද?

2012 වසරේ හම්බන්තොට කටුවන ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ගීගනගේ ගමගේ...

BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ කළමනාකරණ කුසලතා සංවර්ධන වැඩසටහන දියත් කරයි !

BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ එක් වී පිරිනමන නවතම අධ්‍යාපන වැඩසටහන වන කළමනාකරණ කුසලතා සංවර්ධන...