19 හැමෝම එකතු කරයි : ජනාධිපතිවරණය කල්දාන්න කිසිම විදිහක් නෑ – ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා !

Share post:

ජනාධිපතිවරණය 2024 වසරේදී පැවැත්වීම සැකසහිත බවට සංවාදයක් ජනතාව අතර මතුවෙමින් තිබේ. ඊට හේතු වී ඇත්තේ වරින්-වර විවිධ පාර්ශ්ව දේශපාලන වේදිකාවල පළකරන අදහස් ය. එසේ ජනාධිපතිවරණය කල්දැමිය හැකිද යන්න සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය පිළිබඳ විශාරදයකු ලෙස ප්‍රකට ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වාගෙන් අපි විමසීමු.
මේ ඔහු සමග කළ සම්මුඛ සාකච්ඡාවයි.

ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් මතුවෙලා තියෙන සංවාදය පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය පිළිබඳ විද්වතකු ලෙස ඔබේ අදහස කුමක්ද?

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් එක්ක මීට පෙර ජනාධිපතිවරයාට තිබුණු අවුරුදු හයක ධුර කාලය අවුරුදු පහක් දක්වා අඩු වුණා. ඒ සඳහා ව්‍යවස්ථාවේ 30 (2) වගන්තිය සංශෝධනය කළා. ඒ අවුරුදු පහ අවසන් වුණාට පස්සෙ තවදුරටත් ඒ ධුරය දරන්න ඒ වෙනකොට බලයේ ඉන්න ජනාධිපතිවරයාට කිසිම අයිතියක් හෝ බලයක් නෑ. ඒ නිසා අවුරුදු පහ අවසන් වෙනකොට අනිවාර්යෙන්ම ජනාධිපතිවරණයක් තිබිය යුතුමයි.

(ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 (2) ව්‍යවස්ථාව –
ජනරජයේ ජනාධිපතිවරයා ජනතාව විසින් තෝරා පත්කරගනු ලැබිය යුතු අතර, පස් අවුරුදු කාලයක් ධුරය දරන්නේය.)

මෙතැනදි ඡන්දයෙන් තේරීපත්වූ ජනාධිපතිවරයෙක් සහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් අතර යම් වෙනසක් තියෙනවද, ජනතාව අතර රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් එහෙම සැකයක් තියෙන්න පුළුවන් නිසා ඒකත් පැහැදිලි කරගෙනම යමු …?

නෑ. කිසිම වෙනසක් නෑ. ඒ ගැන සැකයක් තියාගන්න අවශ්‍ය නෑ. යම් ජනාධිපතිවරයෙක් ධුරය දරද්දි ඔහු මියගියොත් හෝ වෙනත් හේතුවක් නිසා ඒ ධුරය පුරප්පාඩු වුණොත් පාර්ලිමේන්තුව විසින් ඒ වෙනුවට පත්කරන ජනාධිපතිවරයා ධුරය දරන්නෙ අර ජනාධිපතිවරයගෙ ඉතිරි කාලයට පමණයි. බලතල ගැන කතා කළොත්, බලතලවල වෙනසක් වෙන්නෙ නෑ. ඡන්දයෙන් පත්වූ ජනාධිපතිවරයා සතු සියලු බලතල අනුප්‍රාප්තික ජනාධිපතිවරයාට තියෙනවා.

පසුගිය 03 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරපු මූලික අයිතිවාසිකම් පෙත්සමක් මගින් මේ ධුර කාලයට අදාළ 30 (2) ව්‍යවස්ථාව සම්මත වූ ක්‍රමය ප්‍රශ්න කරනවා. ඇත්තටම එතැන ප්‍රශ්නයක් තියෙනවද.. ?

සංශෝධනයක තියෙන ගැටලු හෝ අඩුපාඩු, නැත්නම් සම්මත වීමේ ක්‍රමවේදය පිළිබඳ ගැටලු මේ සියල්ල ප්‍රශ්න කරන්න පුළුවන් පනත සම්මත වෙන්න පෙර විතරයි. ලංකාවෙ දැනට පවතින නීතියට අනුව ඊට පස්සෙ, ඒ කියන්නෙ කෙටුම්පත සම්මත වුණාට පස්සෙ අභියෝගයට ලක්කරන්න බෑ. සමහර රටවල්වල එහෙම සම්මත වුණාට පස්සෙත් අභියෝගයට ලක්කරන්න පුළුවන්. වෙනස් කරගන්න පුළුවන්.
අපෙත් 1972 ව්‍යවස්ථාවට පෙර පැවැති තත්ත්වයේදි නීති සම්මත කළාට පස්සෙත් නීතියක් අභියෝගයට ලක්කරන්න පුළුවන්කම තිබුණා. නමුත් 72 සහ 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යටතේ පනතක් සම්මත වුණාට පස්සෙ එහෙම අභියෝගයට ලක්කරන්න බෑ. ඒ පිළිබඳ විවිධ මතවාද තිබුණත්, ඒක තමයි දැනට පවතින නීතිය.

එතකොට මේ වගේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකාබැලීම ශ්‍රේෂ්ඨාධිකරණයේ වගකීම. එහෙම නේද, ඒකෙන් පවතින තත්ත්වයට යම් ගැටලුවක් මතුවෙනවා නේද ?

විධායක හෝ පරිපාලන ක්‍රියාවකට අදාළ ව හෝ නොකර හැරීමකට අදාළ ව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකරන්න පුරවැසියෙකුට පුළුවන්. ඒ ගොනුකරන පෙත්සම් සලකාබැලීම අධිකරණයේ වගකීම. අපිට අධිකරණය මෙතැනදි මොකක්ද කරන්නෙ කියන එක ගැන අදහසක් ප්‍රකාශ කරන්න බෑ. ඒක තියෙන්නෙ අධිකරණය ඉදිරියෙ. අධිකරණය මේ සියලු කරුණු සලකා බලලා යුක්තිගරුක තීන්දුවක් ලබාදෙයි.

අපි නිශ්චිත සංවාදය ගැන කතා කළොත්, ජනාධිපති ධුර කාලය වෙනස් කිරීම සම්බන්ධයෙන් ජනමත විචාරණයක් නොපැවැත්වීම ඇත්තටම ප්‍රශ්නයක් ද, මොකක්ද නීතිමය පසුබිම… ?

ජනමත විචාරණයක් සම්බන්ධයෙන් මේකෙදි පැහැදිලිව සඳහන් වෙන්නෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 83 වැනි වගන්තියෙ. ඒ වගන්තියෙ අ සහ ආ වශයෙන් කොටස් දෙකක් තියෙනවා. අ කොටස කියන්නෙ 1, 2, 3, 6, 7, 8, 9, 10, 11 කියන වගන්ති. මෙන්න මේ වගන්තිවලට පටහැනිව හෝ මේ වගන්ති වෙනස් කරන්න යම්කිසි සංශෝධනයක් ගේනව නම්, ඒකට අනිවාර්යෙන්ම ජනමත විචාරණයක් ඕනෙ. මේකෙදි ජනාධිපතිවරයගෙ ධුර කාලය අවුරුදු පහයි කියන වගන්තිය හරි, පාර්ලිමේන්තුවෙ ධුර කාලය ගැන සඳහන් වෙන 62 (2) වගන්තිය හරි සංශෝධනය කරනව නම් හරි ජනමත විචාරණයක් අවශ්‍ය වෙනවා.

(ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 62 (2) ව්‍යවස්ථාව –
සෑම පාර්ලිමේන්තුවක් ම පළමුවරට රැස්වීමට නියමිත දින පටන් පස් අවුරුද්දකට නොවැඩි කාලයක් පවත්නේ ය. එහෙත් නියමිත කාල සීමාව ඉකුත් වීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේය. එකී පස් අවුරුදු කාලය ඉකුත්ව ගිය විට ම පාර්ලිමේන්තුව විසිර ගියාක් සේ සැලකෙන්නේය.)

83 වැනි වගන්තියෙ කියනවා ජනාධිපති ධුර කාලය අවුරුදු හයට වැඩිය දීර්ඝ කරන්න බෑ කියලා. කලින් තිබුණෙ අවුරුදු හයනෙ.

(83 (ආ) –
30 වන ව්‍යවස්ථාවේ 2 වන අනුව්‍යවස්ථාවේ නැතහොත් 62 වන ව්‍යවස්ථාවේ 2 වන අනුව්‍යවස්ථාවේ විධිවිධාන සංශෝධනය කිරීම හෝ පරිච්ඡින්න කොට ප්‍රතියෝජනය කිරීම හෝ සඳහා වූ ………., අවස්ථාවෝචිත පරිදි ජනාධිපතිවරයාගේ ධුර කාලය සාවුරුද්දක් ඉක්මවා දීර්ඝ කරන්නාවූ නැතහොත් පාර්ලිමේන්තුව පවත්නා කාලය සාවුරුද්දක් ඉක්මවා දීර්ඝ කරන්නාවූ ද පනත් කෙටුම්පතකට ජනමත විචාරණයක් අවශ්‍ය වන බව.)

30 (2) වගන්තිය සංශෝධනය කරන කොට මේ කොටස සංශෝධනය වුණේ නෑ. නමුත් මේක සංශෝධනය නොවුණට, ව්‍යවස්ථාවෙ තුන් වැනි වගන්තියට යම් සංශෝධනයක් පටහැනියි නම් ඒකට ජනමත විචාරණයක් අවශ්‍යයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ තුන්වැනි වගන්තියේ කියනවා වැදගත් කාරණයක්, ඒ කියන්නෙ ජනතාවගේ පරමාධිපත්‍යය කියන එකට ඡන්ද බලයත් ඇතුළත් වෙනවා කියලා එතැන කියනවා.

(ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 03 ව්‍යවස්ථාව –
ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේය. පරමාධිපත්‍යය අත්හළ නොහැක්කේය. පරමාධිපත්‍යයට පාලන බලතල, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය ද ඇතුළත් වන්නේය.)

මේක ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථ නිරූපණය වෙලා තියෙන්නෙ මැතිවරණයක් කල්දාන්න බෑ කියන අර්ථයෙන්. ඒ කියන්නෙ ජනතාවගෙන් අහන්නෙ නැතුව ධුර කාලය වැඩි කරගන්න බෑ. එහෙම කළොත් ඒක ජනතාවගේ පරමාධිපත්‍ය බලයට පටහැනියි. නමුත් ධුර කාලය අඩුකරගන්න පුළුවන්. තමන්ගෙ ධුර කාලය අඩු කරගෙන, ඔයගොල්ලොන්ට ඕනෙ කෙනෙක් පත්කරගන්න කියලා ජනතාවට කියන්න පුළුවන්. ඒකෙන් වෙන්නෙ ජනතා පරමාධිපත්‍යය වැඩිවීමක් මිසක් අඩුවීමක් නෙමෙයිනෙ.
ඒ නිසා ධුර කාලය වැඩි කරන්න යම්කිසි සංශෝධනයක් ගෙනාවොත් ඒක රටේ ජනතාවගේ පරමාධිපත්‍ය බලයට සෘජුවම බලපාන කාරණයක්. නමුත් ඒක අඩු කරගන්න එක ගැන ජනතාවගෙන් විමසන්න අවශ්‍ය නෑ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ තුන්වැනි ව්‍යවස්ථාවට පටහැනි වුණොත් කොහොමත් 83 වැනි වගන්තිය යටතේ ජනමත විචාරණයක් අවශ්‍යයි. ඒ නිසා ධුර කාලය වැඩිකරගන්න උත්සාහ කළොත් ඒක පරමාධිපත්‍ය බලයට පටහැනියි.
ඒ නිසා මේක ප්‍රායෝගිකව බැලුවම පැහැදිලිව තේරුම්ගන්න පුළුවන්. මොකද තුන්වැනි ව්‍යවස්ථාවෙ පැහැදිලිව තියෙනවා ඡන්ද බලය පරමාධිපත්‍යයේ කොටසක් කියලා. ඒක තවත් විස්තර කරනවා, හහතරවැනි ව්‍යවස්ථාවෙන්. ඒක නිසා ජනතාවගේ පරමාධිපත්‍යයට හානියක් කරන්න හදන කිසිම සංශෝධනයක් පිළිගන්න බෑ.
පහුගිය කාලෙ ආණ්ඩුව ගෙනාපු හැම පනත් කෙටුම්පතක් ම ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්වුණා. එතැනදි අධිකරණය පැහැදිලිව හැම වෙලාවෙම කිව්වෙ ව්‍යවස්ථාවට පටහැනියි කියලනෙ. ඒකට හේතුව තමයි, රටේ ජනතාවගේ පරමාපධිත්‍ය පිළිබඳ කිසිදු සැලකිල්ලක් නොදක්වා මේ කෙටුම්පත් සකස් කිරීම. පරමාධිපත්‍ය තුට්ටුවකටවත් ගණන් ගන්නෙ නැති ආණ්ඩුවලට වෙන්නෙ ඕක තමයි.
ඒ නිසා මගේ අදහස නම් ඡන්ද කල්දාන්න බෑ. ඡන්ද වෙලාවට පවත්වන්න ඕනෙ. ඒ බලය මැතිවරණ කොමිසමට ව්‍යවස්ථාවෙන් දීලා තියෙනවා. එහෙම කල්දැම්මොත් ඒක සෘජුවම ජනතාවගේ පරමාධිපත්‍ය බලය උල්ලංඝනය කරනවා. එක වරක් ඡන්ද කල්දැමීම පිළිබඳ අර්ථ නිරූපණයක් ගන්නත් ජනාධිපතිවරයා උත්සාහ කළානෙ. ඒකත් පැත්තකට කරගන්න වුණේ අධිකරණයෙන් ඊට ඉඩක් නැති නිසා.

  • ශාලික විමලසේන

Related articles

ඉන්දියාවෙන් පාඩමක්

ටාටා ස්ටීල් චෙස් තරගාවලිය අවසන් වුණා. ටාටා සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් ඉන්දියාවේ පැවැති එම තරගාවලියට ජාත්‍යන්තර ක්‍රීඩකයන් රැසක් සහභාගී...

පාර්ලිමේන්තු ඉතිහාසයට නව පිටුවක් – කාන්තාවන් 22ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ලෙස දිවුරුම් දෙති !

හෙට (21) ආරම්භ වන දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදී පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩි ම මන්ත්‍රීවරියන් පිරිසක් දිවුරුම් දීමට නියමිත...

ජුලම්පිටියෙ අමරෙගේ මරණ දඬුවම අභියාචනාධිකරණයෙන් ස්ථිර කරයි – මහ මොළකරුවන් නිදොස් කොට නිදහස් ද?

2012 වසරේ හම්බන්තොට කටුවන ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ගීගනගේ ගමගේ...

BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ කළමනාකරණ කුසලතා සංවර්ධන වැඩසටහන දියත් කරයි !

BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ එක් වී පිරිනමන නවතම අධ්‍යාපන වැඩසටහන වන කළමනාකරණ කුසලතා සංවර්ධන...