ජනාධිපතිවරණය කල් දමා ගැනීමේ තවත් උත්සාහයක්? – ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් : අපි හරියට කළා – ආචාර්ය ජයම්පතී : කිසිම හේතුවක් මත එහෙම කරන්න බෑ – මැතිවරණ කොමිසම !

Share post:

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 (2) වගන්තිය නියමිත පරිදි සංශෝධනය කර නොමැති නිසා ජනාධිපතිවරණය පැවැත්වීම අත්හිටුවන ලෙස ඉල්ලා නීතිඥ චමින්ද්‍ර ලේනව විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ කොමසාරිස්වරුන් සමග නීතිපතිවරයා වගඋත්තරකරුවන් කරමින් SC/FR/177/24 දරන මේ පෙත්සම ගොනුකර ඇත.

පෙත්සම විභාග කොට අවසන් වන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 (2) වගන්තිය නියමිත පරිදි සංශෝධනය නොවූ බවට නියෝගයක් නිකුත් කරන ලෙසත් මේ පෙත්සම මගින් අදාළ නීතිඥවරයා ඉල්ලා තිබේ.

පෙත්සමේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මේ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82 (6) ව්‍යවස්ථාවට අනුව අදාළ වගන්තිය නියමිත පරිදි සංශෝධනය වී නොමැති බවයි.
එවැනි තත්ත්වයක් යටතේ මේ අවස්ථාවේ ජනාධිපතිවරණයක් පැවැත්වීමෙන් ව්‍යවස්ථා විරෝධී තත්ත්වයක් මතුවන බවත්, ඒ සඳහා විශාල මුදලක් වැයකිරීමෙන් රටේ ආර්ථික ප්‍රශ්නය තවත් උග්‍ර වන බවත්, මේ හේතු නිසා තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත් පෙත්සම මගින් වැඩිදුරටත් අවධාරණය කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධිත 30 (2) ව්‍යවස්ථාවේ දැක්වෙන්නේ මෙසේ ය.
‘ජනරජයේ ජනාධිපතිවරයා ජනතාව විසින් තෝරා පත්කරගනු ලැබිය යුතු අතර, පස් අවුරුදු කාලයක් ධුරය දරන්නේය.’
එය මීට පෙර පැවතුණේ සය අවුරුදු කාලයක් ලෙස ය.

පෙත්සමේ සඳහන් වන 82 (6) ව්‍යවස්ථාවේ මෙසේ දැක්වේ.
‘යම් කිසි නීතියක යම් කිසි විධිවිධානයක් මේ ව්‍යවස්ථාවේ ඉහතින් වූ නියමයන්ය අනුකූලව පනවනු ලැබුවහොත් මිස එයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නැතහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම්කිසි විධිවිධානයක් සංශෝධනය නොවන්නේය. පරිච්ඡින්න නොවන්නේය. ප්‍රතියෝජනය නොවන්නේය.’

මේ අතර මේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව ද පෙත්සමේ දැක්වේ. ඒ සම්බන්ධයෙන් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සකස් කිරීමේ මූලිකයකු වූ ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පතී වික්‍රමරත්නගෙන් කළ විමසීමේදී ඔහු සඳහන් කළේ ධුර කාලය වැඩි කිරීමට මිස අඩු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව පැහැදිලිව සඳහන් වූ බවයි. එය මේ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ විවාදයේදී ද ඉස්මතු කෙරුණු බවත්, ජනතාවගේ ඡන්ද බලය අත්හදා බැලීමට නියමිත කාලයට පෙර අවස්ථාවක් ලැබීම වඩා වැදගත් බවත් ඔහු අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාර්ශ්වයෙන් අවස්ථා ගණනාවකදී ජනාධිපතිවරණය කල්දැමීමේ උත්සාහයන් පිළිබඳ ප්‍රකාශ පළකෙරිණි. ඒ අතර එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මෙන්ම වජිර අබේවර්ධන ද වූහ.

මෙහිදී මතුවන පරස්පරතාව පිළිබඳව මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායකගෙන් කළ විමසීමේදී ඔහු පැවසුවේ නියමිත දිනය වන, ඔක්තෝබර් 18 දිනට වඩා එක් දිනයක් හෝ ධුරයේ රැඳීසිටීමට ඡන්දයෙන් පත්වූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහට කිසිදු අවස්ථාවක් නොමැති බවයි. එම නිසා මේ වසරේ සැප්තැම්බර් 17 සිට ඔක්තෝබර් 17 අතර කාලය තුළ ජනාධිපතිවරණය පැවැත්වීම අනිවාර්යෙන්ම සිදු විය යුතු බව ද ඔහු පෙන්වා දුන්නේය.

Related articles

ජනාධිපතිවරණය කල්දැමීමේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිශ්ප්‍රභ කරයි : ලක්ෂයක නඩු ගාස්තු ගෙවන්නත් නියෝග !

ජනාධිපතිවරණය කල්දමන ලෙස ඉල්ලා ඉදිරිපත් කරන ලද පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය මීට සුළු මොහොතකට පෙර නිෂ්ප්‍රභ කර තිබේ. ඊට අමතර නඩු...

19 හැමෝම එකතු කරයි : ජනාධිපතිවරණය කල්දාන්න කිසිම විදිහක් නෑ – ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා !

ජනාධිපතිවරණය 2024 වසරේදී පැවැත්වීම සැකසහිත බවට සංවාදයක් ජනතාව අතර මතුවෙමින් තිබේ. ඊට හේතු වී ඇත්තේ වරින්-වර විවිධ පාර්ශ්ව...

MGRගේ නම ඇහුණු සැණින් තමිල්නාඩුවේ ප්‍රේක්ෂකයන්ගේ ඉහේ මල් පිපෙනවා !

මේ දවස්වල ඉන්නේ චෙන්නායි නුවර. ගින්දර වාගේ රස්නෙයි. පාන්දර පහ වෙනකොට සෙල්සියස් අංශක විසි නවයයි. දවල් වෙනකොට...

ලයනල් ප්‍රනාන්දු ආදර්ශය

අද (07) දින අභාවප්‍රාප්ත වූ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරි ලයනල් ප්‍රනාන්දු මහතා (ලයනල් ප්‍රනාන්දු යනු ප්‍රතිභාපූර්ණ සිනමා සහ වේදිකා...