‘මමත්වතා’ – ඉසුරු චාමර සෝමවීර

Share post:

ඉසුරු චාමර සෝමවීර යනු ඉතා සීරුවෙන් නිර්මාණකරනයෙහි යෙදෙන ඉවසිලිමත් සහ පුළුල් නිරීක්ෂණයකින් හෙබි නිර්මාණකරුවෙකි. ඔහුගේ නිර්මාණ තුළ කැපී පෙනෙනම ලක්ෂණය වනුයේ එහි ඇති සියුම් බව ය. ඒ සියුම් බව යනු විසල් කැන්වසයක අතිශය අලංකාරවත් ඒ සමගින්ම අතිශය පුළුල් වපසරියක් පාඨකයා හමුවේ ගෙනහැර පානා දක්ෂකමකි. ඔහුගේ කවිය යනු සිහින් සරින් පාඨක හදට ආමන්ත්‍රණය කරන්නකි. එහෙත් ඒ සිහින් ස්වරය කියවන්නාගේ හදවතෙහි ඇති කරන බර ඔහුට ලෙහෙසියෙන් ඉවත ලිය නොහැකිය. එහෙයින් පාඨකයාහට සිදුවන්යේ තමන් සමගින් ඒ බර රැගෙන යන්නටය. ඒ බර යනු පාඨක ලෝකය පුරවාලන්නකි. කවියා සිය වදන් හරහා පාඨකයාගේ ලෝකයේ මායිම් තව තවත් ඈතට ගෙන යමින් ඔහුට නව වින්දන පරාසයක් තිළිණ කරයි.

ඔහු සිය කවි එකතුව අරඹනුයේ සිහින නිවහන නම් අපූර්ව කවියකිනි. එ කව ඒ සමගම පරිණත එමෙන්ම අපේ නූතන කවියෙහි කැපී පෙනෙනම නිර්මාණකරුවෙකුගේ කවියක්ද අපට සිහිපත් කරවයි. මේ කවියා යනු පරාක්රපම කොඩිතුවක්කුය. කවියෙහි නම කුලී ගේක පදිංචියට යන වගයි. කොඩිතුවක්කු කවියා සිය කවිය මගින් කුලීකාර පවුලක විවිධ සිදුවීම් හරහා ජීවිතය විමසුමට ලක් කරයි. එහි පාත්රය වර්ගයා යනු දාහත් වැනි කුලී ගෙදරට යාමට සැරසෙන පිරිසකි. කවියා සිය කවිය හරහා මේ තැන් මාරු කරන්නන්ගේ ජීවිතයේ ඇති කටුක බව මෙන්ම හැලහැප්පුම් අපට ගෙනහැර පායි. විටෙක එහි ඇත්තේ උපහාසයකි. විටෙක දත්මිටි කැවෙනා කෝපයක් ඉන් දනවනු ලබයි. මේ අප ජ්යෙ ෂ්ඨ කවියාගේ අගනාම නිර්මාණයකි. ඔහු එහි එක් තැනෙක ගංවතුර ගැන කරන විස්තරය උපහාස මෙන්ම ශෝක රසයද දනවයි.

කලින් නොදන්වා
ලියුමක්වත් නොඑවා
අප දැක ගන්නට
කළු ගං කොමළිය
රෙද්ද ලිහාගෙන ගෙදරට රිංගුව දවසේ
රෑ තුන්යම නිදිමැරුවා අපි
බාල්කයක් උඩ….

එහි ඇතැම් තැනෙක ඔහු භාවිතා කරනා යෙදුම් ව්‍යංගයෙන් දනවන අරුත් විවිධාකාරය.

දවසක්දා අල්ල්පු ගෙයි බුද්ධදාස
පොඩි නංගිගෙ තනේ ඉඹලා
නංගිගේ (ස්වර්ණමය) අනාගතය රැක ගන්නට
ඒ ගෙයින් සීරුවෙන් මාරුවෙන්….

මෙහි බුද්ධදාස සහ ස්වර්ණමය යන යෙදුම් කවියෙහි අර්ථ කලාපයට එක් කරන ආලෝකය අතිශය වැදගත්ය.
ඉසුරුද සිය කවිය හරහා ඇතුළු වන්නේ මේ අත්දැකීමටමය. එහෙත් ඔහු අප ජ්‍යේෂ්ඨ කවියාට මුළුමනින්ම වෙනස් අත්දැකීම් සම්භාරයකි අප වෙත ගෙනෙන්නේ. ඔහු කුලී ගෙයින් කුලී ගෙට මාරුවීම දකිනුයේ විශාල අහිමිවීම් තොගයක සංකා සහගත හැඟුම්ද විදහමිනි. ඔහුට අනුව ඒ කුලී ගෙවල දිවිය යනු ජීවිතය සුපසන් කලඑකකි. එ ගෙයින් ගෙට මාරුවීම යනු නෙත තෙත් කරනා සුන්දර වියොවකි.

දෑතින්ම දොර යතුරු බාර දී
ගිහින් එන්නම් යැයි කියා
අදත් නෙත් තෙත් කරන
මතක පමණක් රැගෙන ආවෙමු….

එපමණක්ද? කවියා අපට පවසන ආකාරයට ඒ කුලී ගෙදර ජීවිතය යනු ජීවිතය විකසිත කරන්නකි.

පටු මගක කෙලවර
එක් කුලී නිවසක
බට පඳුරු හෙවණක
පළමු හාදුව ලදිමි
පැටි වියෙන් මා මිදවූ

කවියා අපට ගෙන එන ජීවිතාවබෝධය ඉතා පුළුල්ය. කුලී ගෙදර යන සාමාන්යත සංකල්පය ඉක්මවා ඔහු ඒ වපසරිය තුළ ජීවිතය පිම්මක් පනින්නට හේතු වූ තැනක් ලෙස සංකාසහගත ලෙස සිහිපත් කරයි. මනුෂ්‍ය හැඟුම් ස්පර්ශ කිරීමේ ලා ඉසුරු සතු ශක්යහතාව වටහා ගන්නට මේ අපූරු කවකි. එසේම එය කොඩිතුවක්කුගේ කවිය පරිදිම නැතිනම් එයද ඉක්මවා යන සාර්ථක නිර්මාණයකි.

ඔහු 40 නමින් ඉදිරිපත් කරනා කවියද ජීවිතයේ යථා ස්වභාවය සියුම් ලෙස විමසන්නට සමත් කවියකි. දිවියෙහි 40වැනි විය යනු අප වන් රටකට වසර හාරසියයක විඩාව දනවන වයසකි. අකාලයේ වියපත් වන ජීවිත පිරි අප වන් රටක සෙක්කු ගමනක් වැනි දවස් අතර දැනෙන විඩාව සහ කලකිරීම ඔහු මේ කවියෙහි මනාව කැටි කරයි. ජීවිතයට හිතකර නොවන සමාජ පද්ධතියක සිරගතව සිටිනා මිනිසුන්ට ඔහු මේ අල්ලනුයේ විසල් කැඩපතකි.

හැරෙන්නත් බෑ දැන්
පරක්කුයි

ඔහු අරඹනුයේ එලෙසිනි. ඉන්පසුව මේ ඔහු ජීවිතය විමසන ආකාරයයි.

බදාදා පොලෙන් ගෙනවිත්
ගෝවා තක්කාලි
බටු මෑ කරල් කංකුං
බිත්තර හුරුල්ලන්
ශීතකරණයේ අසුරමි

කවිය කියවන විට පාඨකයාටද තමන් ඒ ශිතකරණය ඉදිරිපිට ඉන්නා පුද්ගලයා සමග අනන්‍යවන සෙයක් දැනෙයි. අප කාගේත් ජීවිත එවන් ගොහොරුවකි. ඔහු සිය කවිය හරහා මධ්‍යම පාංතික ජීවීන්ගේ අන්‍යෝන්‍ය රැවටීමෙන් පොහොසත් විඩාබර දිවිය බිඳෙන් බිඳ අනාවරණය කරයි. ඔහු සිය කවිය අවසන් කරනුයේ මේ අනම්යය විලංගුවේ පීඩනය අපටද කාන්දු කරමිනි.

සතියක කුණු කිලුටු
සෝදමි වේලා නමමි
සුදු කෙස් කළු කරමි
බිම මදිමි දූවිලි පිසිමි

මේ ජීවිතයෙහි රඟහල් සිනමාහල් නැති. ගීත, කව් නැති. ඒ සියල්ලෙන් වියෝව ගෙවෙනා දිවියට උරුමව ඇත්තේ තෙහෙට්ටුව සහ කලකිරීම පමණි.

එකට එක පෙලට
එක වගේ දිගු දවස්
වැතිර ඇත ඉදිරියට
රැයෙහි සුසුමක් හෙලමි
හැරෙන්නත් බෑ දැන්
පරක්කුයි

සිංහල කවිය දින දින වඩ වඩාත් අභියෝගාත්මක වැඩ බිමක් බවට පත්වෙමින් යයි. තවදුරටත් එහි තම හැඟුම් විදාරණයෙන් පමණක් රැඳෙන්නට නොහැකිය. කවිය යනු බරපතල අභ්යාතසයක් බව මිටින් ඇන ඇන පවසන දක්ෂ කවි කිවිඳියෝ දින දින රොද බඳිති. එවන් පිරිස් මැද තවදුරටත් පාඨක ආකර්ෂණය දිනා ගැන්මට නම් කවියෙහි අර්ථ කලාපය මෙන්ම එහි නිර්මාණාත්මක නව්යරතාවද රැකගැනීම අනිවාර්ය කොන්දේසියක්ව තිබේ. ඉසුරු යනු මේ කොන්දේසිය මනාව දන්නා එලෙසම එහිලා එම අභියෝගය බාරගැනීමට සමත් අත්හදා බලන්නෙකි. ඔහුගේ කවිය උඩින් බලන්නෙකුට පෙනෙනා පිහිනුම් තටාකයක් වැනිය. උඩින් බලන විට එහි සැබෑ ගැඹුර වටහා ගත නොහැකිය. ඒ වටහා ගැනීමට නම් යමකු කල යුත්තේ එහි බැසීමය, කිමිදීමය. ඉදින් මේ නිර්මාණයන්හී කිමිදෙන්නට තරම් ඉවසිලිවන්ත පාඨකයෙකු හට ඉසුරුගේ කවි මගින් අපූර්ව අත්දැකීම් රැසක් අත් කරගත හැකිය. ඉසුරුගේ කවි තුළ වර්තමාන නැතිනම් මෙතෙක් හැමදා අප අත්විඳි දේශපාලනයද සියුම් ලෙස ගැබ්වෙයි. මහජනතාව නම් කව ඒ සඳහා නිදසුනකි.

තුනෙන් දෙක
පහෙන් හතර
ඒ ඔක්කොමලා
මේ කියන මහජනතාව

මං කන්නෙ මොනවද
Love කරන්නෙ කාටද
නිදාගන්නේ කොහොමද
රස්සාව මොකක්ද
යන්නෙ කොහෙද
මගේ ඇඳුම්
ඔක්කොම තීරණ උන්ගේ

උන් මාව දන්නවද?
මං උන්ගෙන් එකෙක්ද?
මට සැකයි
තමුන් ගැන තීරණ ගන්න බැරි
එක එකා එක්කහු වෙලා
මහජනතාව වෙනුවෙන්
තීරණ ගන්නවා

ඉදින් ඉසුරු ගේ කවි කෙසේ පසෙක ලන්නද?

චූලානන්ද සමරනායක

Related articles

‘ආච්චිලා මිනිබිරීලා සහ තවත් ගැහැණු’ – කුමුදු කුමාරසිංහ

කුමුදු ගෙ ආච්චිලා මිනිබිරීලා සහ තවත් ගැහැනු එක්ක ටික දවසක් තිස්සෙ කරළ ගමන අදින් අවසන් කරගත්තා. එතකොට මං...

ඉන්දියාවෙන් පාඩමක්

ටාටා ස්ටීල් චෙස් තරගාවලිය අවසන් වුණා. ටාටා සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් ඉන්දියාවේ පැවැති එම තරගාවලියට ජාත්‍යන්තර ක්‍රීඩකයන් රැසක් සහභාගී...

පාර්ලිමේන්තු ඉතිහාසයට නව පිටුවක් – කාන්තාවන් 22ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ලෙස දිවුරුම් දෙති !

හෙට (21) ආරම්භ වන දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදී පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩි ම මන්ත්‍රීවරියන් පිරිසක් දිවුරුම් දීමට නියමිත...

ජුලම්පිටියෙ අමරෙගේ මරණ දඬුවම අභියාචනාධිකරණයෙන් ස්ථිර කරයි – මහ මොළකරුවන් නිදොස් කොට නිදහස් ද?

2012 වසරේ හම්බන්තොට කටුවන ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ගීගනගේ ගමගේ...