මාලන් බණ්ඩාර කපුවත්තගේ අභිනව කවි සරණිය – ‘නටු’

Share post:

සිංහල කවියන් අතර මට සිටින පැරණිම මිතුරා මාලන් බණ්ඩාර කපුවත්ත ය. ‘ අයියා ඔයා නිවුන්හැල්ල නේද?’ යැයි 2004 වසරේ
දිනයක පොළොන්නරුවේ සිට අනුරාධපුර දක්වා යන බසයක සිටි තරුණයකු ඇසූ සැටි අදත් මතකය. ඒ වන විට ඔහු රජරට විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යකු ලෙස ඉගෙන ගනිමින් සිටියේය. මගේ මිත්‍රශීලී ශිෂ්‍යකු වන අනුර බණ්ඩාර හේරත් සමග එක්ව හද පැල්ලම නම් කුළුඳුල් කාව්‍ය සංග්‍රහය එළිදැක්වීම සඳහා ඒ වන විට සියලු කටයුතු සූදානම් කර තිබුණි.

ඔහුගේ දෙවන කාව්‍ය සංග්‍රහය ලෙස අප අතරට පැමිණියේ අඟුණ මල් නම් කාව්‍ය සංග්‍රහයයි. ඒ2015 වර්ෂයේ දීය. 2016 වසරේ ප්‍රකාශයට පත්වන ලියනගේ අමරකීර්තිගේ නව කවි සලකුණ කෘතියට සංගෘහිත ‘කෙටි කවිය සහ කවිතාව : හයිකුමය කවියේ තාක්ෂණය, කලාව සහ සෞන්දර්‍ය නම් ලිපියට මාලන්ගේ කවි කීපයක් අන්තර්ගත විය. ඉතා මෑතක එළිදුටු සරත් විජේසූරියගේ කවි මංජුසාව කෘතියේ කෙටිකවි ගැන කරනු ලබන සංවාදයේ දී ඔහු හඳුන්වා දී ඇත්තේ මෙසේය .

‘සංක්ෂිප්ත කවිය ඔස්සේම කවියට පිවිසි මාලන් බණ්ඩාර කපුවත්ත කවියා, රසික විචාරක දෙපාර්ශවයේම අවධානය දිනාගන්නට ‘අඟුණ මල්’ කාව්‍ය සංග්‍රහයෙන් සමත් විය . ඔහු නිසි අවබෝධයකින් මේ කාව්‍ය ස්වරූපය ඔස්සේ සිය කවිත්වය පළ කළේය .

2019 වර්ෂයේ පළ වූ අපරැක්කේ සිරිසුධම්ම හිමියන්ගේ කෙටි කවි ලකුණ කෘතිය තුළ ද මාලන්ගේ කවි කීපයක්ම ඇගයුමට පාත්‍ර වී තිබුණි . ‘නටු’ නමින් දැන් අප අතරට පැමිණ ඇති කාව්‍ය සංග්‍රහය මගින් ඔහු වෙත රසික විචාරක පර්ෂද තැබූ බලාපොරොත්තුව තව දුරටත් තහවුරු කර සිටියි.
මේ කාව්‍ය සංග්‍රහයට සංගෘහිත විශිෂ්ට කවියක් ලෙස මට සිතෙන කවියක් පහත දැක්වේ.

වන ගැඹරේ
රැය බිඳිමින්
ලෙන් බිතෙන් වැගිරෙන
දියබිඳු නද

මේ කවිය තුළ ශ්‍රව්‍ය සහ දෘෂ්‍ය චිත්තරූප පරිස්සමින් පරිහරණය කිරීමට මාලන් සමත්වෙයි. හයිකු කවිය පිළිබඳව බෲස් රෝස් නම් ප්‍රකට විචාරකය පළකළ අදහසක් මෙහි දී ගෙන හැර පානු කැමැත්තෙමි .

‘ Hayiku is most usually connected with nature.A season word or a concrete representation connect us to a world of which we are a part but is greater than us.This connection adds depth to our experience.It also ,as in most poetry ,offers us an expereince of beauty and, beyond that insight.

හයිකු කවියේ අභාසය ප්‍රකට කරන දේශජ ස්වරූපයක් ද ගන්නා මාලන්ගේ කවිය කවියෙන් ප්‍රකාශ වන අත්දැකීමට ඔබ්බෙහි වූ වෙනත් තලයක් වෙත අප රැගෙන යයි. මානවව ශිෂ්ටාචාරයේ ඈතට යන්නට මාලන්ගේ කවිය අනුබල දෙයි. අල්ටමයිරා ගුහා සිතුවම් ඈ මනුෂ්‍ය ජයග්‍රහණ කෙමෙන් වර්ධනය වූ තැන් වෙත මේ කවිය ඔස්සේ අපට යා හැකිය. ජලය මනුෂ්‍ය ශිෂ්ටාචාරය සමග කෙතරම් සමීප ද යන්න අමුතුවෙන් කිව යුතු නොවේ.
ගේ හසිත ජීවිතයේ සියුම් බව ස්පර්ශ කිරීමට සමත් කවියක් ලෙස මාලන්ගේ මතු දැක්වෙන නිමැවුම සඳහන් කළ හැකිය.

පියස්සෙන්
ගෙතුළ බඳුනට වට
වැහි බිඳු නද
මේ දැනුත්
මහ වැසි මැද

පහත දැක්වෙන මාලන්ගේ නිමැවුම ද බහු අරුත් සම්පාදනය කිරීමේ ගුණයෙන් සමන්විතය .

ඇල්ව ගිය
ඕට්ස් බඳුන
යා බද නිවසකින් එන
කේතලය උතුරන හඬ

මාලන්ගේ මේ ප්‍රයත්නය කාව්‍ය ප්‍රිය සහෘදයන්ට රමණීය අත්දැකීමක් වනු නොඅනුමානය.

ප්‍රියංකර නිවුන්හැල්ල

Related articles

කාන්තා T20 ලෝක කුසලානය අද ආරම්භ වුණා – චමරි අතපත්තුගේ අවසන් ලෝක කුසලානය විය හැකි

කාන්තා T20 ලෝක කුසලානය අද ආරම්භ වුණාඑහිදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගී වන පළමු තරගයත් අද පැවැත්වෙනවා.ඒ පාකිස්තාන...

බට්ටිලා සහ ලිමන්සා

නවසීලන්ත යොවුන් කාන්තා කණ්ඩායම සමග පැවැති තරගයෙන් ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායම ජය ගත්තා.ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය...

Ceylon Energy හා HJT China එක් වී SESRIP ව්‍යාපෘතිය යටතේ දියත් කළ මහව හා අම්පාර කිලෝ වෝල්ට් 33ක විදුලි බෙදාහැරීමේ පද්ධතිය සාර්ථකව අවසන් කරයි !

Ceylon Energy සමාගම සහ HJT China සමාගම එක් වී දියත් කළ මහව සහ අම්පාර කිලෝ වෝල්ට් 33ක (33 kV) විදුලි බෙදා හැරීමේ...

අධිකරණයට අපහාස කිරීමේ නීතිය අවභාවිත නොකළ යුත්තේ ඇයි? – මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනගේ තීන්දුව සමග අනුපිළිවෙළට කියවා ගත යුතු කරුණු කිහිපයක් !

අධිකරණයට අපහාස වන ආකාරයෙන් කටයුතු කිරීමේ චෝදනා ලත් නීතිඥවරයකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමටත්, ඔහුගේ නීතිඥ වෘත්තීයභාවය අත්හිටුවීමටත් ශ්‍රේෂ්ඨාධිකරණය සිදු...