අදට (ජූනි 23) ඔහු නික්ම ගොස් වසර පහලොවකි. නිතරම සිය රැවුල කසන්නට මෙහෙයවූ දකුණු අත වනා සමුගෙන ගිය ඔහු හැත්තෑ එකේ සගයන්ට සහ පැටි වියේ සිට ඇසුරු කල අයට ෂර්ලි ය. අනෙක් සියල්ලන්ටම ඔහු ෂෙල්ටන් සර් නැතිනම් ෂෙල්ටන් සහෝදරයා ය. සිනමාකරුවෙකු මෙන්ම දේශපාලන ක්‍රියාධරයෙකුද වූ ඔහු බොහෝ පිරිස්වලට සිනමාව කියා දුන් අපූර්ව ගුරුවරයෙකු වීය. අදීනබව අතින් ඔහු විශිෂ්ටයෙකි. පරම්පරා යා කිරීමට අති දක්ෂයෙකි. අන්තිම ඉහල රසවතෙකි. මනරම් ලේඛකයෙකි. මෙසේ ඔහු ගැන ලියන්නට හැකි දේ බොහෝය.
සිය දිවියෙහි අන්තිම කාලයේ ඔහු චිත්‍රපට සංස්ථාවේ සිනමා පාඨමාලාවක දේශකවරයෙකු ලෙස යළිත් කටයුතු කළේය. එසේ දවසක වැඩ කල පසුව ලැබෙන මුදල සාක්කුවේ දාගන්නා ඔහු නිදහස් මාවතේ පිහිටි මගේ කාර්යාලයට එයි. ඉන්පසු අපි දෙදෙනාම මගට බසිමු. අපේ ගමන නතර වනුයේ බම්බලපිටියේ සීඩී කඩ වලිනි. වරෙක ඔහු මෙසේ තම දවසේ ආදායමවූ රුපියල් හත්දහස් පන්සියයක් කැප කර බස්ටර් කීට්න් ගේ සිනමා පට එකතුවක් මිලට ගෙන මගෙන් බසයට මුදල් ඉල්ලාගෙන යන්නට ගියේය. එසේ යන ඔහු ඇතැම් දිනෙක මා එනවිට මගේ නිවසෙහි වාඩිගෙන පොතක් කියවයි. දිගට ලියයි. කෑමවල රස ගැන කියයි. මාක්ස් ලෙනින් එංගල්ස් ස්ටාලින් ට්‍රොට්ස්කි ඇතුළු බොහෝ විප්ලවවාදීන් කැටුව එයි. ඩේව්ඩි ලීන්ට කතා කරයි. ඩොක්ටර් ෂිවාගෝ සමග වටයක් යයි. ජෝ මහත්තයා සහ ගාමිණි ගැන කියයි. ජවිපෙ සමග ඇති ප්‍රතිවිරෝධයන් ගැන දැඩිව පවසන ගමන් ‘සේස කමේ ගියත් අම්මා අම්මනෙ’ කියයි.
කියන්නට ඇති දේ මූණටම කියා දමන ගතිය ඔහු තුළ විශේෂය. එසේම පාවා නොදීම ඔහු තුළ වූ වටනාම ලක්ෂණයයි. වරක් චිත්‍රපට සංස්ථාවේ සිට අප දෙදෙන එලියට එනවිට අපූරු දෙයක් සිදුවිණි. අප පසුකර යන්නට ආ එක් නවීන වාහනයක් කරාස් ගා තිරිංග තදකර අප පසුකර නතර විණි. යතුර කරකවමින් එයින් බැස ආවේ පරසිදු නළුවෙකි. ඔහු පොෂ්ය. ෂෙල්ටන්ගේ කලිසම ගෙවී ගොසිනි. ඔහු දෙස පව් බැල්මක් හෙලූ නළුවා උදාරම් ලීලාවෙන් මෙසේ ඇසීය.
‘ෂෙල්ටන් මහත්තයට මතකද, මං එක දවසක් ඔයාගෙ ෆිල්ම් එකක පොඩි කෑල්ලක් ඉල්ලන්න ආවා?’
ඇඟවෙන පණිවුඩය පැහැදිලිය. ‘එදා මාව ගනං නොගත්තට පේනව නේද අද මම?’
ෂෙල්ටන් උස් හඬින් සිනහ වූවේය.
‘මොකද මතක නැත්තෙ, මං හරවලා යැවුවනෙ. ඔයාට රඟපාන්න බැරි හින්ද.’
නලුවාට ගියර් පැටළුණු බව මම දුටිමි.
ඔහු දෙවරක්ම මරු සමග පොරබදා අප සමග යළි ආවේය. දෙවන වර එය ආරම්භ වූවේ මගේ නිවසෙනි. ඒ අවධියේ කමල් දේශප්‍රිය (සෙනෙවි) සහෝදරයා විසින් පවත්වාගෙන ගිය ළදරු පාසලේ වාර්ෂික ප්‍රසංගයේ ආරාධිත දේශකයා වූවේ ෂෙල්ටන් ය. එහි යනු පිණිස ඔහු මා සොයා ආවේය. මා සමග නිවසට ගොස් කමිසය ගලවද්දී එහි පිට පැත්තේ තෙත් පැල්ලමක් දුටුවෙන් මම ඒ ගැන විමසීමි.
‘පොඩි තුවාලයක්.”
එහෙත් එය පොඩි තුවාලයක් නොවන බවත් සැරව පිරි ගෙඩියක් බවත් මට වැටහිණි. අත තැබූ සැණින් තෙත පනියි. මම ෂෙල්ටන්ව ඇදගෙන දන්නා වෛද්‍යවරයෙකු වෙත ගියෙමි. ඔහු දුටු සැණින් වෛද්‍යවරයා අප්පෝ මේ නං හෙන බෙබේ කෙනෙක්නෙ අයියෙ කීවේය. මම වහා ඔහුට මේ කවුදැයි හෙමිහිට කීවෙමි. ඔහු දවස් දෙක තුනක් බෙහෙත් දැමුවද තුවාලය හොඳවනක සෙයක් නැති. බැරිම තැන ඔහු පලමුද කියා ඇසීය.
ෂෙල්ටන් වහා ඊට එකඟ විණි. දැන් ෂෙල්ටන් වෙදැදුරු රෝගීන් පිරික්සන මේසය මත මුනින් තලාවී හිඳියි. හිරිවට්ටන බෙහෙත් විදින්නට ගිය විට කටුව නැවිණි. අවසන වෙදැදුරු සැත්කම් පිහිය රැගෙන එනවිට දත්මිටි කාගත් ඔහු කපන්න ඩොක්ටර් යයි කීවේය.
දැන් වෙදැදුරු පිහි තලය මෙහෙයවයි. ෂෙල්ටන් දත්මිටි කාගෙන සිටියි. මද වෙලාවක් ගිය තැන සිය කාරිය නැවතූ වෛද්‍යවරයා ම දෙස බැලීය.
අයියෙ මේ ඉන්නෙ නං මිනිහෙක් ඉන්න ඉඳිල්ලක් නෙවෙයි. යකෙක්.
එදා පටන් ඔහු ෂෙල්ටන්ට සැලකුවේ දෙවියකුට මෙනි. තුවාලය මින්දනාවෝ මරියානා අගාධය මෙනි. වෛද්‍යවරයා කතුර බස්සවා පුළුන් දමා තුවාලය සුද්ද කරයි. ෂෙල්ටන් දත්මිටි කාගෙන සිනහ වෙයි. ඒ ෂෙල්ටන්ගේ පෞරුෂයේ තවත් පැත්තකි. කෙසේ වෙතත් ෂෙල්ටන්ගේ දියවැඩියා තත්වය ඉහල මට්ටමක පැවති හෙයින් ඔහුට ඉන්සියුලින් දීමට ඇවැසි විණි. ඒ එන්නත් රාජකාරිය බාරගත්තේ මගේ බිරිඳය. ඇය ෂෙල්ටන්ගේ කෑම පාලනය කරයි. කටට රසට නොකා බැරි ඔහු එළවලු තම්බා දුන් විට රව රවා කරබාගෙන කයි. කෙසේ වෙතත් අප නකිවසේදී දෙවරක්ම ඔහුගේ සීනි මට්ටම දැඩිව පහල ගොස් ඔහු සිහිසුන්ව ගියේය.
‘චූලා ඔයයි මිසිසුයි දෙන්නම අමාරුවෙ වැටෙන වැඩක් මේ. අපි දැන් කාලෝ මුණගැහෙන්න යමු.”
කාලෝ ෆොන්සේකා යනු ෂෙල්ටන්ගේ නිබඳ විවේචනයට ලක් වන්නෙකි. එහෙත් දෙදෙනා වෙතම වූවේ අන්‍යොන්‍ය ගරුත්වයකි. ෂෙල්ටන්ගේ පළමු අඩවුවේදීද ඔහු ගොඩගත්තේ කාලෝය. මම අතුල ලියනගේට කතා කළෙමි. අතුල වහා අප නිවසට ආවේය. අපි තිදෙන කාලෝගේ නිවසට ගියෙමු. කාලෝගේ නිවසේ ගෝලයා අප හමුවට ආවේය. ‘මහත්තයා මුණගැහෙන්න අපි ඇවිල්ලා ඉන්නවා කියන්න.’ ඔහු නිවස තුළට ගොස් පණිවුඩය කියූවද කාලෝගේ ලකුණකුදු නැති. ෂෙල්ටන් මදක් වෙලා බලා සිට ගෝලයා කැඳවීය.
‘ගිහිල්ලා ප්‍රොපෙසර්ට ෂෙල්ටන් පයා….”
ඉවර කරන්නට ලැබුනේ නැත. කාලෝ අප හමුවේය. අපි කතාව කීවෙමු.
‘කොහෙද ඉතින් මං ෂෙල්ටන්ව ගොඩ දානවා, ඊට පස්සෙ ෂෙල්ටන් මට පලු යන්න බනිනවනෙ.” කාලෝ සිනහ මුවින් කීවේය.
‘අපි එහෙම තමයි ප්‍රොපෙසර්, විවේචනය කරන්න ඕනැ තැන ඒක කරනවා.’ ඒ ෂෙල්ටන්ය.
‘හොඳ කරන්න නං ටිකක් වියදං යයි.’ කාලෝ අප දෙස බලා කීවේය. අපි කීයක් ගියත් කමක් නෑ කියා කීවෙමු. එවිට කාලෝ කීවේ මෙයයි.
‘විජය කුමාරතුංග ඉස්පිරිතාලෙට යන්න කාර් කුලිය හොයා ගත්තහම ඇති. ඉතිරි ටික මං බලා ගන්නං.’
කාලෝ කී ලෙසටම එය කළේය. රෝහල්ගතව සිටියදී ෂෙල්ටන්ට මා අත තිබූ ජංගමයෙන් සිය මිතුරු ජයලාල් රෝහණ සමග කතා කරන්නට වුවමනා විණි. ඒ කතාව හමාර වූවේ ජයලාල් දුම්රිය තහඩු වල හයිය උරගා බලන්නට ගොස් රෝහල්ගතව අනූ නමයෙන් ගොඩ ඒමෙනි. අපි මාරුවෙන් මාරුවට ෂෙල්ටන් සහ ජයලාල් බලන්නට ගියෙමු.
තෙවන වර අපට ෂෙල්ටන් බේරාගැනීමට නොහැකි විණි. ඉන්පසු ඔහුගේ දිවියෙහි සමීපතමයන් රැකගන්නට අද ඕස්ට්‍රේ ලියාවෙ ඉන්නා නිලන්ත (දයා) මෙන්ම අනුර කේ මා සමග සිටි බව ලියා තැබිය යුතුය. ෂෙල්ටන් මිය යන විට චන්ද්රකුමාර වික්‍රමරත්නගේ කවි ගැන දීර්ඝ විචාරයක් ලියමින් සිටියද ඔහුට එය හමාර කරන්නට නොහැකි විණි. ඒ අතර ඔහුගේ බොහෝ ලිපි වේයන්ගේ විචාරයන්ට ලක් විණි. කෙසේ වෙතත් අත් පිටපත් දෙකක් ඉතිරිව තිබිණි. ඒ ඔහුගේ කාව්‍ය නිර්මාණ දෙක වූ දීප්ති සහ ඇලන් අක්කාය.
අපි මේ දෙක ප්‍රින්ට් කරන්නං. ජවිපේ සහෝදරවරු කිහිප දෙනෙක් ඒ පිටපත් ඉල්ලා ගත්තෝය. ජවිපෙ පෙරටු පිපිරුම ආවේ ඉන්පසුවය. ඒ පිපිරුම හමාර වන විට අත් පිටපත් දෙකම අතුරුදන්ය. කෙසේ හෝ නැතක් වෙහෙස දරා ඇලන් අක්කා සොයා ගන්නට සමත් වීමි. මට ඒ සමග සිහිපත් වූවේ හැටන් නගරයේ සරනා අතර ඔහු ඇලන් අක්කා නම් සැබෑ වීදි ලිය දිවි ගෙවූ ස්ථාන පෙන්වන්නට මා කැටුව ගිය අවස්ථාවන්ය. අවසන මා සොයා ගත් ඇලන් අක්කා සුරැකගෙන සිටිමි. ඉදිරියේදී එය මුද්‍රණය කරමි. මු දු රංජිට එහි පෙරවදන ලියන්නට දෙන අදහසක් ඇති බව වරෙක ඔහුට කීමි. මූ දු ඊට එකඟව සිටියි.
මෑතකදී හැටන් හී ‘ෂර්ලි’ ගේ මිතුරකු වන ඩේවිඩ් මහත්තයාගේ අවසන් කටයුතු සඳහා ගිය අවස්ථාවේදි මට ෂර්ලිගේ සමකාලීන මිතුරකු වන හැටන්හී ජේලර් ෂෙල්ටන් හමුවිණි. හේ ෂර්ලිගේ අතිජාත මිතුරෙකි. ෂර්ලි හැත්තෑ එකේදී අත් අඩංගුවට ගත් විට තම නිල තත්වය පසෙක ලා ඔහු සමග පැදුරක් එලාගෙන තනි රැක්ක මිනිසෙකි. ඔහු ඇතුළු පරණ සමීපතමයෝ අදත් ඔහු ගැන සිහි කරනුයේ ඉමහත් ආදරයක් සහ ගෞරවයකිනි.
ඒ පරම්පරාවට පසුව ෂෙල්ටන්ගේ ඇසුර ලද පිරිස් බොහෝය. මේ සියළුම දෙනා සතුව ඔහු ගැන මතක ගබඩාවන් බොහෝ ඇති බව දනිමි. මා ඔහු ගැන දන්නේ ඉතාම ටිකකි. එහෙයින් ඔහුගේ ඇසුර මෙන්ම දැනුමද ලද අය දැන් ඔහු ගැන ලිවිය යුතුව තිබේ.
ෂෙල්ටන් වරෙක මා සමග හැටන්හී සරනා අතර වතුකරයේ දමිල ජනයා අතර ප්ර චලිත කාමන් කුත්තු නාට්ය සම්ප්ර්දාය ගැන මෙන්ම ඔවුන් අදහන රෝද මුණි නම් යක්ෂයෙකු ගැනද මා හා පැවසීය. ඊයේ වැල්ලවත්තේදී මහාචාර්ය මෞනගුරු කූත්තු ගැන පල කළ අදහස් මට යළි ෂෙල්ටන් සිහි ගැන්වීය.
ලියන්නට ගත්තොත් නිමක් නැති. එහෙත් දැන් ලිවීම නතර කල යුතුය. ෂෙල්ටන් පයාගල සහෝදරයා ඇතැම් වචන අර්ථ දෙකක් දැනවීමට කදිමට භාවිතා කළේය. ඒ අර්ථය අප තෝරා ගත් යුත්තේ ඔහුගේ ස්වරයෙනි. ඔහු එසේ භාවිතා කල එක් යෙදුමක් වූවේ අන්තිම යන්නයි.
‘ඌ අන්තිම එකා’ යන්නේ පලමු අදහස ගන්නට හරියක් නැති එකා යනුය. දෙවන අදහස ‘පට්ටම පට්ට එකා’ යනුයි. ඉදින් මම දෙවෙනි අරුතින් ෂෙල්ටන් ගැන මෙසේ ලියමි.
ෂෙල්ටන් පයාගල යනු අන්තිම මිනිසෙකි.