ඔපෙරාවක් රසවිඳීම අරඹන්නේ කෙසේ ද?

Share post:

පළමු කාරණාව
ඔපෙරාව පිළිබඳව බිය නොවන්න.

ඔපෙරා පිළිබඳ ඔබේ මානසික ප්‍රතිරූපය සහ හීනමානය ඔබව ඔපෙරාවන් රසවිඳීමට පෙලඹීම සීමා කරයි. වර්තමානයේ ඔපෙරා ඇත්තේ ධනවත් සුදු ජාතිකයින් සඳහා පමණක් යැයි නොසිතන්න. නූතන ලෝකයේ ඔපෙරා කලාව රටවල් 100 ඉක්මවා ජනප්‍රිය වූ කලා අංගයකි. ලෝකයේ ඕනෑම කෙනෙකුට ඔපෙරා රසිකයකු වීමේ නිදහස තිබේ.

අනෙක් කාරණය ලෝකයේ ඕනෑම රටක ඔපෙරා සංගීතය ජනප්‍රිය වී ඇාත්තේ 10% ක් 20% ක් පමණ ය. එතරම් ශ්‍රවණ අභියෝගයක් නැති ජනප්‍රිය සරල සංගීතයට ඉතිරි 80% ක් පමණ ඇදී ගොස් ඇත. එනිසා ඔපෙරා කලාව එතරම් ජනප්‍රිය නොවීම ලංකාවට පමණක්ම ආවේනික නොවේ.
භාෂාවක් ඉගෙන ගැනීමේ දී, ඔබ සවන් දෙන තරමට චතුර ලෙස කතා කිරීමට හැකියාව ලැබේ. ඔපෙරා සංගීතයත් ක්‍රියා කරන්නේ එලෙසිනි. එය දිගින් දිගටම ශ්‍රවණය කිරීමට පුරුදු වූ විට ටික කලකින් ඔබට වඩා රසවත් වන අතර දවසකට මිනිත්තු කීපයක් හෝ එවැනි නිර්මාණයක් රසවිඳීම අවශ්‍යම වේ. මේ මොහොතේ ඔබට එය නීරස නම් ඒ ඔබ එම සංස්කෘතිය ඇසුරු නොකිරීම නිසා ලැබුනු ප්‍රතිඵලයකි. උසස් රසවින්දනය ද යම් තාක් දුරකට පුරුදු පුහුණු කර ගත යුතු කටයුත්තකි. භාවනාවක දී ද ආරම්භයේ දී සිත සමාධි ගත කර ගැනීම අපහසු ය. පුරුදු පුහුණු කල පසු වහා සිත තැන්පත් කර ගත හැකි වනවා සේ ය.

භාෂා ජාති ආගම් කුල භේදයන්ගෙන් තොරව සමස්ථයක් ලෙස පොදු මානවයාගේ කටහඬ ලබා ගත් ජයග්‍රහණ නොවේදැයි ඔපෙරා දිගින් දිගට ශ්‍රවණය කරන විට ඔබට වැටහෙනු ඇත.

ඔපෙරා ශ්‍රවණය පුරුදු වීම ආරම්භ කළ යුතු ආකාරය :
ලෝකයේ වඩාතම ජනාදරයට පත් වූ ඉතාලියානු ඔපෙරා නිර්මාණයන්ගෙන් ආරම්භ කිරීම වඩාත් සුදුසු ය. ජර්මන් සහ ප්‍රංශ ඔපෙරා ආධුනික ඔපෙරා රසිකයෙකුට සංකීර්ණ වැඩි විය හැකිය.

ඔපෙරා ශ්‍රවණය කිරීම ආරම්භ කිරීමට වඩාත්ම සුදුසු නිර්මාණ 5 ක් ලෙස
La bohime,
La traviata
The magic flute
Peter grimes
The barber of seville ඔපෙරා දැක්විය හැකිය.

ඔබට ඔපෙරාවක් සජීවීව නැරඹීමට යාමට අවස්ථාව තිබේ නම් ඒ අවස්ථාව මග නොහරින්න. මක් නිසා ද යත් නිවසක දී පටිගත කිරීමක් සවන් දීම සහ සජීවීව එය දැකීම අතර විශාල පරතරයක් තිබෙන බැවිනි. එය හරියට චායාරූපයක් මාර්ගයෙන් ලෝක ප්‍රකට සුන්දර කාන්තාවක් දැකීම සහ සජීවීව ඇය දැකීම අතර වෙනසට වැඩි නොවේ.

ඔබ ළමයෙකුට චිත්‍රපටයක් පෙන්වන විට citicen cane වැනි සම්භාව්‍ය චිත්‍රපටයක් තොරා ගන්නවාට වඩා ළමා චිත්‍රපටයක් තෝරා ගැනීම උචිතය . ඔපෙරාව සම්බන්ධයෙන් ද එලෙසමයි.
කලාත්මකව පවසන දේ සඳහා නොව උපරිම විනෝදය සඳහා ඔබේ පළමු ඔපෙරා නැරඹීම තෝරා ගන්න.
හොඳ ආරම්භක ඔපෙරාවක් සාපේක්ෂව කෙටි වනු ඇත, ආකර්ශනීය සංගීතය සහ සමහර විට ඔබ හුරුපුරුදු කතාවක් වීම වඩාත් උචිත වේ.

පසු පස ආසනයක සිට සජීවීව ඔපෙරාවක් නරඹනවා නම් හොඳ ඔපෙරා දුරදක්න යුගලයක් ( Opera glass ) ලබා ගත හැකි ය. වර්තමාන ප්‍රමිතිගත ඔපෙරාවක මුල් පෙලේ ආසනයක මිල රු.27000 – 37000 ක් අතර පමණ වේ. කෙසේ හෝ දැරිය කල නොහැකි මිල ඇති ආසනයක් ලබා ගන්නවාට වඩා පසුපස ආසනයක් ආරම්භක ප්‍රේක්ෂකයකුට වඩාත් උචිත වේ. විශාල ප්‍රේක්ෂකාගාරයක් බලාපොරොත්තු වෙමින් රඟහල් නිර්මාණය කර ඇති නිසා උඩුමහලේ වාඩිවීම අඩු වියදම් මෙන් ම පැහැදිලි හඬක් ශ්‍රවණය කිරීමට ද හේතු වේ. ඔබට වඩා හොඳ ආසන සඳහා මුදල් තිබේ නම්, පැත්තෙන් අසුන් ගැනීමෙන් වළකින්න. හොඳම දර්ශනය සහ ශබ්දය ලබා ගැනීම සඳහා පළමු මට්ටමේ ( වාද්‍ය වෘන්ද මට්ටම) මධ්‍යයේ වාඩි වන්න.

ඔබ සජීවීව ඔපෙරාවක් නැරඹීමට යන්නේ නම් එහි කතා සාරය, පෙළ රචනය ආදිය කලින් කියවා සහභාගි වීම වඩාත් උචිත ය. ඔබ ඔපෙරාව නැරඹීමට යන්නේ එම පෙළ රචනය සංගීත නිර්මාණකරුවා කෙසේ සංගීතාත්මයක් බවට පත් කර ඇත්දැයි දැන ගැනීමට ය. කථාවේ සාරය දැනුවත්ව පැමිණීම ඔපෙරාව තේරුම් ගැනීම වඩාත් පහසු කරයි. බොහෝ විට ඔපෙරා රඟහලට පිවිසි පසු ද අත් පත්‍රිකා මඟින් ඔබට කතා සාරය සහ ජවනිකා පිළිබඳ විස්තර ලබා දෙනු ඇත.

ඔපෙරාවේ දෙබස් ගැන බිය නොවන්න. වර්තමානයේ ඔපෙරා ඉදිරිපත් කිරීම් වල දී වේදිකාවට ඉහළින් පෙල රචනය දිස්වනු දක්නට ලැබේ. ( subtitles) . එසේත් නැත්නම් දියුණුම රඟහල් වල ගුවන් යානයක මෙන් ආසනය පිටුපස තිරයක පෙළ රචනය ධාවනය කරනු ලබ යි. ඔපෙරා ප්‍රේක්ෂකයාගේ ප්‍රධාන අවධානය විය යුත්තේ සංගීතය සඳහා මිස වචන වලට නොවේ. එනිසා දෙබස් ගැන එතරම් කලබල නොවන්න. උපසිරසි සහිත චිත්‍රපටයක් නරඹනවාට වඩා සජීවී ඔපෙරාවක් නැරඹීම වෙනස් වන්නේ මෙතැනිනි. සංගීතය තුලින් මතු කෙරෙන භාවමය හැඟීම් අහන්න.අහන්න.අහන්න. කතා සාරය ඔබ පත්‍රිකා මඟින් දැනටමත් කියවා අවසන් බැවිනි.

ඔපෙරාවක් නැරඹීමට යාමේ දී අවම වශයෙන් දර්ශන වේලාවට පැය භාගයක්වත් කලින් යන්න. ( දර්ශන වාරය අතරතුර ඇති වන ශාරීරික අපහසුතා වළක්වා ගැනීමට අවශ්‍ය නම් රඟහලේ විවේකාගාරය භාවිතා කළ හැකි ය.) එයින් දර්ශන වාරය අතරතුර ඔබේ අවධානය වෙනතකට යොමු වීම වලක්වා ගත හැකි ය.

ඔපෙරා ඔබේ ජීවිතයට ප්‍රයෝජනවත් වන්නේ කෙසේද යන්න පිළිබඳව සොයා බලමු.

  1. ඔපෙරා ඔබව සතුටට පත් කරයි :
    ඔපෙරා වලට සවන් දීමෙන් ඩොපමයින් ස්‍රාවය වැඩි කිරීමට උපකාරී වන අතර එය මොළයේ විනෝද මධ්‍යස්ථානය සක්‍රීය කරයි. ඇත්ත වශයෙන්ම, 2013 අධ්‍යයනයකින් හෙළි වූයේ මිනිසුන්ට වඩා හොඳ මනෝභාවයක් ඇති කිරීමට සංගීතයට හැකි බවයි.
  2. ඔපෙරා ඔබේ හදවතට හොඳයි:
    ඉතාලියේ පවියා විශ්ව විද්‍යාලයේ ආචාර්ය ලුසියානෝ බර්නාඩි සහ සගයන් විසින් 2009 දී කරන ලද අධ්‍යයනයකින් නිරෝගී ස්වේච්ඡා සේවකයන්ගෙන් අහඹු ලෙස ශාස්ත්‍රීය සංගීත ගීත පහකට සවන් දෙන ලෙස ඉල්ලා සිටි අතර ඔවුන්ගේ ශරීර ප්‍රතිචාර දක්වන ආකාරය නිරීක්ෂණය කරන ලදී. එහිදී ඔපෙරා වලට සවන් දෙන විට හදවත මන්දගාමී කර රුධිර පීඩනය අඩු කරන බව සොයා ගත් හ. එනම් අප සිත සන්සුන් වන බවයි. අධික රුධිර පීඩනය සහිත රෝගීන්ට වඩාත් සුදුසු විය හැකි යි.
  3. එයට ඔබේ මතකය වැඩි දියුණු කළ හැකිය:
    රෝමයේ සැපියන්සා විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසින් කරන ලද අධ්‍යයනයකට අනුව, ඔපෙරා සංගීතයට සවන් දුන් අය මොළයේ තරංග ක්‍රියාකාරිත්වයේ වැඩි වීමක් පෙන්නුම් කළ අතර එය මතකයට කෙලින්ම සම්බන්ධ වේ..
  4. එය ඔබේ ආතති මට්ටම් අඩු කරයි:
    ඔබට විශේෂයෙන් ආතතියක් දැනෙනවා නම්, සමහර සම්භාව්‍ය නාදවලට සවන් දෙන්න. ශාස්ත්‍රීය සංගීතයට සවන් දුන් ගර්භනී කාන්තාවන්ට ගර්භණී කාලය පුරාම මානසික ආතතිය අඩු බව අධ්‍යයනයකින් හෙළි විය. පර්‍යේෂකයින් කියා සිටින්නේ සම්භාව්‍ය සංගීතයේ ග්‍රහණය මිනිස් හදවතට සමාන වන අතර එමඟින් කාංසාව සහ මානසික අවපීඩනය යන දෙකම ලිහිල් වන බවයි.
  5. එය ඔබේ මොළ ශක්තිය වඩවයි:
    ඒ බව ප්‍රංශ ජාතික පර්යේෂකයන් සොයා ගත්තේ ය. ඒ ශාස්ත්‍රීය සංගීතය වාදනය කරන දේශනයකට සවන් දුන් සිසුන්, අනෙක් සිසුන් හා සසඳන විට පරීක්ෂණයකින් වඩා හොඳ ලකුණු ලබා ගත් බව තහවුරු වීමෙනි.

ඔපෙරා රසවින්දනයට ඔබ ආධුනික නම් මුලින් ඔපෙරා ආරියාස් පමණක් සහිත කෙටි වීඩියෝ පට හෝ ඔපෙරා ආරියා පමණක් සහිත සජීවී ප්‍රසංගයන් නැරඹිය හැකි ය. අනතුරුව දීර්ඝ ඔපෙරා සවන් දීමට හුරු විය හැක. කාලයක් පුරුදු වූ පසු එය ඔබට නැතිවම බැරි සංගීතාංගයක් වනු නොඅනුමානය. එලෙස යෝජනා කල හැකි ලෝක ප්‍රසිද්ධ ගායනා කීපයක් ලෙස

Carmen opera හි habanera ගායනාව
Madam butterfy opera හි o mio babbino caro
Marraige of figaro opera හි figoro figoro ගායනාව ආදිය දැක්විය හැකි ය.

සාගර සුරේෂ් විජේසිංහ

Related articles

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...